සංහිඳියා විදුලි වැටකි වන අලි ටික ගම් නොවදිති

views 2017-11-14 10:40:00 Sinhala_Article_New

* වන අලින්ගේ ගැහැට විඳි ගම්මාන රැසකට පිළිසරණක්
* විදුලිය වැට ගහන්නේ වන අලින්ගේ සෘතු චලනයට බාධාවක් නොවන ආකාරයටයි
* අලින් යන පාර අලින්ට. ගමේ ගෙවල් සහ ස්ථීර බෝග වගා වටකර අලි වැට

ශ්‍රී ලාංකේය ජන සමාජයේ බහුලව සාකච්ජා කෙරෙන වන අලි - මිනිස් ගැටුම කතා බහකට විනා ඉන් ඔබ්බට ගිය විසඳුමක් වන්නේ කවදාදැයි වන අලි ගැහැටට මුහුණ දෙන ජනතාව සැමදා බලා සිටිති. වර්තමානයේ ඔබ - අප මුහුණ දී සිටින පිළිතුරක් අවැසි ගැටලුවක් බවට මේ ගැටුම පත් වී හමාරය. අප රටේ මිනිසුන් බිලියන 02 කට වැඩි සංඛ්‍යාවක් සමඟ වන අලි ඇත්තු 6000 කට ආසන්න සංඛ්‍යාවක් වෙති. මෙම ගැටුමට මැදි වීමෙන් වාර්ෂිකව වන අලි 200 කට ආසන්න ප්‍රමාණයක් සහ මිනිස්සු 65 – 70 ත් අතර සංඛ්‍යාවක් මිය යති. මේ වෙද්දී පාර්ශව දෙකම පසු වන්නේ ගැටුමේ බරපතළම අවදියේය. මේ සියල්ලටම විසඳුම වන්නේ වන සතාටත් මිනිසාටත් හිමි භුමිය සමෝසමව නැණවත්ව පරිහරණය සදහා නිසි වැඩ පිළිවෙළකට අවතීර්ණ වීමය.

දකුණු ආසියාවේ ඉහළම ජෛව විවිධත්වයකින් අනූන රටක් වශයෙන් ප්‍රකට අප රටේව්‍යාප්ත භූමි වපසරිය සංඛ්‍යාත්මකව හතරැස් කිලෝමීටර් 65,500ක් පමණ වේ. රටේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 118 ක් සෘජුවම වනඅලි - මිනිස් ගැටුමට මුහුණ දෙයි. දිස්ත්‍රික්ක වශයෙන් ගත් කල නාගරික තදාසන්න කොළඹ, ගම්පහ සහ කළුතර වැනි දිස්ත්‍රික්ක හැරුණු කල සෙසු දිස්ත්‍රික්ක ආශ්‍රිත ප්‍රදේශ වනඅලි - මිනිස් ගැටුමට මුහුණ දෙමින් සිටී. කලාප වශයෙන් ගත් කල උතුරු, නැගෙනහිර, සබරගමුව, දකුණු සහ වයඹ යන කලාපයන්ය. මින් වයඹ කලාපයේ වන අලි - මිනිස් ගැටලුවේ ක්‍රමික වර්ධනයක් පෙන්නුම් කරයි.

සංවර්ධන කටයුතු උදෙසා විශාල වශයෙන් එළි පෙහෙළි වූ වනාන්තර ප්‍රදේශ හා ස්වාභාවික වනවැස්ම හීන කරමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත සංවර්ධන ක්‍රියාකාරකම්, යුද්ධයෙන් පසුව විශාල වශයෙන් සිදු වූ නැවත පදිංචි කිරීම්, අවිධිමත් ඉඩම් පරිහරණය ආදිය පිළිබඳ අප මෙහිදී අවධානය යොමු කළ යුතුව ඇත. මන්ද යත් ඉහත සඳහන් බොහෝ මානව ක්‍රියාකාරකම් සඳහා භාවිතයට ගැනිමට සිදුව ඇත්තේ වන සතුන්ගේ නිජ බිම් වන වනාන්තර ප්‍රදේශය. එවැනි වාතාවරණයක් හමුවේ සෙසු වන සතුන් නිහඬවම වැනසී ගියත් ඇඟපතින් හයි හත්තියෙන් දැවැන්ත වන අලි - ඇතුන් ට සිදු වී ඇත්තේ නිහඩවම තමන්ට එරෙහිව තම නිජ බිම් ඩැහැ ගැනිමට එරෙහිව අරගල කිරිමටයි.

මේ මාතෘ භූමියේ ජීවත් වීමේ අයිතියක් අප හා සම අයිතියක් වනසතුන්ට ද ඇත. එකී ජන්ම අයිතිය අහෝසි කරන කල වන සත්තු මිනිසුන්ට එරෙහිව ගැටුමකට පෙලඹෙති. කෙසේවුව වනඅලි - මිනිස් ගැටුම මේ වෙද්දී ජාතික ප්‍රශ්නයක් බවට පත් වී හමාරය. ගල්ගමුව, ඇහැටුවැව, මීගලෑව වනඅලි - මිනිස් ගැටුමට වැඩි වශයෙන් මුහුණ දෙන ප්‍රදේශ ලෙස හැඳින්විය හැකිය. එකි ගැටලුව යම් තාක් දුරකට හෝ සමනය කර ගැනීමෙලා මේ වන විටදීත් ක්‍රියාත්මක විදුලි වැට ඉදි කිරීමේ නවමු වැඩ පිළිවෙළ සාර්ථක වී ඇති බවට ගැටුමට මුහුණ දෙන ප්‍රදේශ වාසීන් පවසනුයේ කෘතඥතාපූර්වකවය.

වෑගෙදර ගම්මානයේ පදිංචිකරුවෙකි. ඔවුන් පදිංචි ගම්මානයේ ජනතාව දීර්ඝ කාලයක සිට අලි මිනිස් ගැටුමට මුහුණ දී සිටිති.

“2016 අවුරුද්දේ ජනවාරි පළමුවැනිදා අපේ ගමේ අනිත් අයත් එකතු වෙලා ගල්ගමුව - මොරගොල්ලාගම ප්‍රධාන මාර්ගය දෙමටෑව හංදියෙන් අවහිර කරමින් මහා උද්ඝෝෂණයක් සංවිධානය කළා. අපි ඉල්ලුවේ අපට නිදහසේ ගොවිතැනක් බතක් කරගෙන මරණ බයක් නැතිව දරු මල්ලොත් එක්ක ජීවත් වෙන්න මේ අලි උවදුරට විසඳුමක් දෙන්න කියලයි. මොකද මීට අවුරුදු 20කට කලින් මේ තරම් අලි ගම් වැදුණේ නෑ. දරුණු වුණේවත් මිනිසුන් මැරුවේවත් නෑ. පසුව අලි ප්‍රශ්නේ එන්න එන්නම වැඩි වුණා. වෑගෙදර ගමේ පවුල් 80ක් පමණ පදිංචි වෙලා හිටියා. අලි ගම් වදින්න මිනිස්සු මරන්න වුණාම දුක් මහන්සියෙන් ගොඩනඟා ගත් ගෙවල් දාලා හැමෝම ගම අත ඇරලා ගියා. අන්තිමට ඉතිරි වුණේ පවුල් 14 යි. ස්ථීර රැකියා කරපු අය 35ක් විතර උන්නා. පස්සේ හැමෝම ගම අතඇරලා නගරයට සේන්දු වුණා. අවසානේදි හරි මේ ආකාරයෙන් හෝ ගැටලුවට විසඳුමක් නොලැබුණානම් මේ වෙන කොට වෑගෙදර කියන්නේ කැලෑවට යට වුණු ගමක්.

“උද්ඝෝෂණයදා අපි හමුවෙන්න පැමිණි රජයේ වගකිවයුතු නිලධාරීන් එදා අපට උද්ඝෝෂණය නවත්වන්න අලි ප්‍රශ්නයට අපි විසඳුමක් දෙන්නම් කියා කිව්වා. අපි කිව්වා තාවකාලික පැලැස්තර නම් අපට එපා කියලා. දෙන විසඳුමක් ස්ථීරසාර වෙන්නත් ඕනෑ. ඒ වගේම කට වචනෙට බෑ. ලිඛිත වෙන්නත් ඕනෑ කියලා. ඒ වගේම ඒ වෙනකොටත් අලි ගැටලුව උග්‍රව පැවතුණු ඒරියාව කියන ගම විදුලිය වැටකින් වට කරලයි තිබුණේ. ඉතින් අපිත් ඉල්ලුවේ ආන්න ඒ වගේ වෑගෙදරත් විදුලිය වැටකින් වට කරන්නයි කියලයි. අපේ ඉල්ලීමට ඇහුම්කන් දුන් වනජිවී නිලධාරී මහත්වරුන් ඒරියාව වැට හදන්න යොදා ගත්තු ක්‍රමවේදයටත් වඩා හොඳ ක්‍රමවේදයටත් වඩා ක්‍රමයකින් අපේ විදුලිය වැට හදා දීපු එක ගැන ස්තුති කරන්න වචන මදි. අපි අද බයක් හැකක් නැතිව ජිවත් වෙනවා. අවුරුදු දහයකට මෙහා ගොවිතැනක් බතක් කළේ නෑ. ඒත් අද ගොවිතැන් බත් කරගෙන වෙළහෙළදාම් කරගෙන ඵලදාව ගෙට අරගෙන අලිත් එක්ක සංහිඳියාවෙන් ජිවත් වෙනවා. ගම අත් ඇරලා ගියපු අයත් ආයෙත් අපේ ගමට ඒවී” අලින්ගෙන් අතොරක් නැතිව බැට කෑ ජයසේන ගොවි මහතා සැනසුම් සුසුමක් හෙළුවේ බොහෝ කාලයකට පසුවය.

ඒ ගොවි මහතා කී පරිදි ගැමියන් අලින්් සමඟ සංහිදියාවෙන් ජීවත් වන අන්දම දැකීමටත් ඒ කතාවේ ඇත්ත නැත්ත දැන ගැනීමටත් පසුගිය දිනක ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෑගෙදර ගමත්, වෑගෙදර ගම වටා ඉදි කළ විදුලිය වැටේ ක්‍රමවේදයම භාවිතයට ගනිමින් ගල්ගමුව සහ ඇහැටුවැව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ විදුලිය වැට ස්ථාපිත කර තිබූ ගම් කිහිපයක්ම සොයා ගියෙමු.

එහිදී මේ ගම්මුන් අතීතයට සාපේක්ෂව වර්තමානයේදී වන අලින් ගැන බයක් හැකක් නැතිව ගොවිතැන් බතින් සරුසාරව ජිවත් වන ආකාරය අපට දැක ගත හැකි විය.

මේ කාර්යයේ නියමුවකු වන ගල්ගමුව වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයේ වනසත්ව නියාමක වසන්ත අතපත්තු මහතා මේ ගමනට අපට මඟ පෙන්වීය.

“මුලින්ම කියන්න ඕනි මේ සංකල්පය ඇති වුණු ආකාරය. ජයසේන ගොවි මහත්තයා තමයි 2016 වසරේ උද්ඝෝෂණයක් සංවිධානය කරලා ගමට විදුලිය වැටක් ඕනැයි කයලා කිව්වේ. එයාලා යෝජනා කළේ ඒරියාව වගේ තමන්ගේ ගම වට කරලා විදුලිය වැට ඉදි කරන්නයි කියලා. නමුත් අපි මේ ප්‍රදේශ ආශ්‍රිතව කාලාන්තරයක් තිස්සේ රාජකාරි සිදු කරලා ලබපු අත්දැකිමුත් ප්‍රයෝජනයට අරගෙන තමයි මේ අලුත් විදුලිය වැට සංකල්පය නිර්මාණය කළේ. මේ සැලසුම් සකස් කිරිමේදී සහ කාර්යය නිසි පරිදි නිමා වන තුරු තම ක්ෂේත්‍ර දැනුම ලබා දෙමින්, අදාළ ප්‍රතිපාදන නිදහස් කරමින් අවශ්‍ය උපකරණ නිසි වෙලාවට ලබා දෙමින් නිරන්තර අධීක්ෂණයෙන් වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීනුත් පූර්ණ ශ්‍රම දායකත්වයෙන් ග්‍රාමීය ප්‍රජාවත් බොහෝ මහන්සි වුණා.

අපි වෑගෙදර විදුලිය වැට සහ ගල්ගමුව හා ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේත් ස්ථාපිත කළ සෙසු විදුලිය වැටවලුත් හැදුවේ වන අලින්ගේ සෘතු චලනයට බාධාවක් නොවන ආකාරයටයි. කහල්ල පල්ලකැලේ වනජීවී රක්ෂිතය ආශ්‍රිත අලින්ගේ කාලෙන් කාලෙට ගමන් රටාව වෙන්නේ හේන්වළගම, බිංපොකුණ, 05 කණුව, මඩදොඹේ, වැගෙදර, මහගල්ගමුව, පාලු කඩවල, 05 කණුව බොරලුවළ, නාකොලගනේ, ඒරියාව, අතරගොල්ල, අඹකොළවැව, මැඩියාව, අත්තනපොල, හුණුගල්ලෑව, කැලේගම, ඉහළගම, මොර ගස් වැව ප්‍රදේශයි.

“මේ ප්‍රදේශ ඔස්සේ වන අලි 150 – 200 ත් අතර සංඛ්‍යාවක් සංචරණය වෙනවා. ඒ යන - එන ගමනේදී මෙතෙක් සිදු වුණේ වන අලි මංකඩ දෙපස සහ භුමියේ බව බෝග කා දමමින් මිනිසුන් සමඟ ගැටෙමින් මරා ගනිමින් සිදු වුණු ගැටුමක්. ඒ නිසා වෑගෙදර ගැමියන් උද්ඝෝෂණයේදී ඉල්ලුව අන්දමට ගම වට කිරීමක් කළා නම් වෙන්නේ අලින්ගේ සංචරණ ගමන් රටා මාර්ග අවහිර විමයි. එවිට වෙන්නේ කොසේ හෝ විදුලිය වැට පෙරළා දමමින් තමන්ගේ සුපුරුදු මාර්ග භාවිතයට ගැනීමට වන අලින් පෙලඹීමයි. ඒක අපිට කොහෙත්ම නවත්වන්න බැරි වෙනවා. එහෙම එන ගමනෙදි ගොවිතැන් දේපළ විතරක් නෙමේ ජීවිතත් සමෝ- සමව විනාශ වෙන්න පුළුවන්.

“ඒගැනත් හිතලා තමයි වන අලින් යන පාර අලින්ට විවෘත කරමින් ගමේ ගෙවල් සහ ස්ථීර බෝග වගා ආවරණය වන විදිහේ සැලැස්මක් අනුව විදුලිය වැට ගහන්න අපි යෝජනා කළේ.

“ඉස්සෙල්ලාම වෑගෙදරට ක්‍රියාත්මක කළා. වැඩේ සාර්ථකයි. ඒ අනුව පියවරෙන් පියවර ගම්මාන රාශියකට මේ ක්‍රමය හඳුන්වලා දෙන්න අපිට හැකි වුණා. අලි - මිනිස් සංහිඳියා විදුලිය වැට සංකල්පය ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෑගෙදර, අතුකෝරළගම, දෙමට වැව, පහළ කොක්වැව, බුල්නෑව, ඉහළ ගම, කියන ගම්වලට හඳුන්වා දුන්නා.

“මහවැව විදුලිය වැට මේ වෙද්දි වැඩ පටන් අරගෙනයි තියෙන්නේ. ඇහැටු වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අත්තනපොළ - දික්යාය, හදපන්දෙණිගම මිහිදුපුර නිවාස 20, නාකොළගනේ - ආඩිගම - කිරිබත්පෑලැස්ස, කැලේගම - කොතලවැටිය - හෙනේගෙදර, මඩදෙණිගම - උඩ කොටුව, හුණුගල්ලෑව - මහ මේරුව, අලුත් වැව කියන ගම්මාන ආශ්‍රිතව අලි - මිනිස් සංහිඳියා විදුලිය වැට ක්‍රියාත්මකයි. ඉහළ ඇබෝගම, මහ ඇබෝගම කියන ප්‍රදේශ ආවරණය කරන විදුලිය වැටවල් මේ වෙන කොට ඉදි කෙරෙමින් පවතිනවා.”

ගැටලුව වැඩි ප්‍රදේශ ආවරණය කරමින් මෙම විදුලිය වැටවල් ස්ථාපිත කරීම සිදු කර ඇත. කුරූණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව සහ ඇහැටු වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙක ආවරණය වන පරිදි ගොඩ නඟා ඇති විදුලිය වැටවල් සෙසු විදුලිය වැටවල් ඉදි කිරීමේ සැලසුම් වලට හාත්පසින්ම වෙනස් වූ විශේෂ වූ ක්‍රමවේදයකට අනුව සැලසුම් කර ඇත. එම සැලසුම් සම්පාදනය තුළින් මින් පෙර දී ගල්ගමුව ආශ්‍රිතව පැවැති වන අලි මිනිස් ගැටුම යම්තාක් දුරකට අඩුවෙමින් ඇති බවට ගල්ගමුව ආශ්‍රිත වාර්ෂික අලි මිනිස් වාර්තා සාක්ෂි දරයි. මේ විදුලිය වැට ක්‍රියාත්මක විමට සමගාමීව ප්‍රදේශවාසීන් පෙර පරිදි අලිවෙඩි ලබා ගැනීමට උත්සුක වීමක් පෙන්නුම් නොකරන බව ද වසන්ත අතපත්තු මහතා පවසයි. වාර්ෂිකව පෙර වසරවල වාර්තා වූ අලි මරණ සහ මිනිස් මරණවල අඩු වීමක්ද මේ වන විටදී දැක ගත හැකිය.

වන අලි තමන්ගේ පුරුදු පාරේ කෑම සහ ජලය සොයා සංක්‍රමණය කරති. මිනිස්සුත් එදිනෙදා ගොවිතැනක් බතක් කර ගෙන ජිවත් වෙති. දෙපාර්ශ්වය ගැටුමකට මුල නොපුරති. ඉදින් මින් උගත යුතු පාඩම වන්නේ නැණවත් ඉඩම් පරිහරණය තුළින් අලි - මිනිස් ගැටුමට සාර්ථක විසඳුමක් සොයා ගත හැකි බවය.

​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල