බත් පත බෙදාගන්නට මට සිටියේ ඔබ පමණි

views 2017-10-20 11:14:00 Sinhala_Article_New

මිනිසත් බව ලැබිමට තමන් රැස් කළ කුසල් හේතුවන බව බෞද්ධ ඉගැන්වීමේ සඳහන් වේ. ආත්ම ගණනක් පෙරුම්පුරා රැස් කරනලද කුසල් හේතුවෙන් මනුෂ්‍ය ආත්මයක් ලැබුවද පූර්ව ආත්මවල කරන අකුසල් මෙන්ම මේ භවයේදී කරන ලද අකුසල් අනුව තම ජීවිතය ගත කිරීමේ ස්වාභාවය වෙනස්වන බවත් බුදුන් වදාළ දහමේ කියැවේ. මේ භවයේදී අප විසින් කරන ලද හොඳ නරක ක්‍රියාවන් අනුව ඵල විපාක දීම”දිට්ඨ දම්ම වේදනීය කම්ම” ලෙස මනුෂ්‍යන්ට අත්විඳීමට ලැබෙන බවත් බුදුදහමේ ඉගැන්වේ. එයට තරාතිරම හෝ දුගී , දුප්පත් බව භේදයක් නොමැති බවත් අපට සමාජ සංසිද්ධීන් තුළින් දැකගත හැකිය.
ඉහත පූර්වකථනය සඳහන් කිරීමට හේතුවූයේ , නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගය පසෙක නල්ලතන්නියේ පිහිටි ශ්‍රි පාද වන්දනා සමයට පමණක් තාවකාලික වෙළෙඳසලක් ලෙස පවත්වාගෙන යන ස්ථානයක් තම වාසස්ථානයක් ලෙස තෝරාගෙන සිටින දුගී පුද්ගලයකු සම්බන්ධව අප කැමරා කාචයේ සටහන් වූ අපූර්ව දසුනක් නිසාය.
මෙම පුද්ගලයා නිරන්තරව සුනඛයන් සමග ගැවසෙමින්, තම බත්පත සුනඛයන් හා සමග එකට අනුභව කරමින් සුනඛයන් හා සමග එකට නිදාගන්නා අයුරු සුලභ දසුනක් වී ඇත. නල්ලතන්නිය ශ්‍රීපාද මාර්ගයෙන් ශ්‍රීපාදය බලා ගමන් කරන විදේශිකයන්ට ‘සුනඛ මිතුරන්’ සමග දිවි ගෙවන මෙම දුගී පුද්ගලයාගේ දසුන් අපූර්වත්වයක් ගෙන දී තිබේ.ඒ විදේශිකයන් එම දසුන් ඡායාරූප ගත කිරීමට දක්වන දැඩි උනන්දුව  නිසාය.
වයස අවුරුදු 50 ඉක්ම වූ පෙනුමක් ඇති මෙම පුද්ගලයා වැඩි යමක් කතා නොකරන බවත්, ඔහු කුමන ප්‍රදේශයක අයෙකුද කියා නොදන්නා බවත් ප්‍රදේශයේ ජනතාව පවසති. දැනට වසර දෙකට ආසන්න කාලයක් නල්ලතන්නිය - ශ්‍රී පාද මාර්ගයේ තැන් තැන්වල තම වාසස්ථාන ලෙස තෝරාගෙන සිටින මෙම දුගී පුද්ගලයාට ප්‍රදේශයේ පදිංචි ජනතාව ආහාර පාන දීම  සිදු කරති.ඔහුගෙන් කුරා කුහුඹුවකුටවත් හිරහැරයක්  නොමැති බව පවසන ජනතාව මෙම පුද්ගලයා ගෙවමින් සිටින ජීවිතය ගැන ආගම් භේදයකින් හෝ ජාති භේදයකින් තොරව තම දැඩි අනුකම්පාව හා ශෝකය පළ කර සිටිති.
ප්‍රදේශවාසී ජනතාව වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, සෞඛ්‍ය තත්ත්වය පිරිහී ඇති මෙම පුද්ගලයා මානසික රෝහලකට ඇතුළත් කර සුවපත් වීමෙන් අනතුරුව ඥාතීන්ට භාරදීමට වගකිවයුත්තන් කඩිනමින් පියවරක් ගතයුතු බවය.

​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල