ඇත් ගාලේ ඇස්වහට තොවිලයක්

views 2017-10-13 10:44:00 Sinhala_Article_New

පනාමුරේ අැත් ගාල තැනීමට මුල් වූයේ ‘නලියන දිය බුබුලේ’ පිහිටීමය. එහි දියබොන්නට එන අලි ඇතුන් වට කර අල්ලා හීලෑ කිරීම සඳහා අක්කර පහක- හයක පමණ කොටසක්ද, මුරණ්ඩු අලින් සඳහා ඇත් ගාල තුළම අක්කර බාගයක පමණ වෙනම සිර ගෙයක් ද වෙන් කර වැට කඩුලු ගැසිනි. ඊට පෙර කුරුණෑගල, තුන් කෝරලය ආදි තැන්වල බැඳණු ඇත්ගාල්වලින් ලද තොරතුරු මෙයට පාදක වන්නට ඇත. මඩුවන්වෙල නිලමේ පළමුවරට ඇත්ගාලක් ඇරැඹුවේ 1989දීය. එය 1950 දක්වා පැවැතිනි. ඇත් ගාල පවත්වන සමයට එය නැරඹීමට එන රදළ පන්තියට වෙනම තාවකාලික බංගලා තනන අතර ඒවායින් සොල්දර සහිත බංගලාවේ කොටසක් ලෙස අඩි 30ක් පමණ උසැති පත්තිරිප්පුව අලි ඇල්ලීමේ වික්‍රමය සඳහා නැරැඹුම් මධ්‍යස්ථානය විය. අලි වැට ඉදි කෙරුණේ පාංශුදේහධාරී පුරුෂයන් අතින් ගෙනෙන ලද විශාල ගස් කඳන් ආධාරයෙන් අැතෙකුටවත් සෙලවීමට නොහැකි අයුරිනි.

අලි අල්ලන සුබ මොහොත උදා වූ පසු මඩුවන්වෙල වලව්වේ සිට පිරිස පිටත් වන්නේ දින ගණනක් කැලේ සිටීමට අවශ්‍ය ආම්පන්න සියල්ල රැගෙනය. ඒ සඳහා දඩමස් වියලා, අඩුම කුඩුම සකසා දීම මෙන්ම පළමු දිනයේ බත් ගෙඩි බැඳ දීම බවලතුන්ගේ වගකීමය.

කෝන්කටුව කන්දේ සිට මුල් ඇඬියාවල දක්වා පාරක් කපා හමාරය‍. සෑම අඩි තිහක් ගානේම ගිනි මැල දෙකක් අටවා පුරුෂයෝ දෙදෙනෙක් බැගින් මුරට සිටිති. ගිනි මැලය නිවීමට නොදී බලා ගැනීම අත්‍යවශ්‍යම කරුණකි. ඒ සමඟම හැකි තාක් කෑ මොර දිය යුතුය. අලි රංචුව නම් බිය අඩුය. එහෙත් තනියා විශ්වාස නැත. රෑට නින්දක් නැත. දහවල නිවනක් නැත. කෙසේ හෝ නලියන බුබුලට හතර වටෙන් එන අලින් මේ පාරට දක්කා ගත යුතුය. කඳු වැටි දෙකින් වට වූ බිමේ අලින්ගේ පිපාසය සන්සිඳවීමට ඇති එකම මඟ මේ කිවුල් රසැති දිය පහරයි. පනාමුරය දෙසට අලි ඇදෙත්-ඇදෙත්ම මුරකරුවන් සිටිය යුතු දුරද අඩු වෙයි. එහෙත් සමහර විට අතට ගත් බත් පත කටට හලා ගන්නට නැත. ඉදෙන බත් හැලිය ගොක් කොළ මල්ලේ ඔබාගෙන අලි රංචුව කුලප්පු වන්නට කලින් දුවන අවස්ථාද නැතුවා නොවේ. බත් ටික කන්නට බැරි කමක්ද නැත. එහෙත් ඔත්තු බලන්නන්ගෙන් බේරීම බත් කනවාට වඩා වටින්නේය. එක කෙලවරකට එන වැඩ බලන්නා ගැන ආරංචිය අනෙක් කෙළවරට ලැබෙන්නට ගත වන්නේ ඇසි පිය හෙළන මොහොතකටත් අඩු කාලයකි. පපුව හිස් වනතුරු කෑ ගසමින් දින ගණනක් පුරා කරන මෙහෙයුම නතර වන්නේ අලි තිහ හතළිහක්ම පනාමුර ගාලට කොටු වූ පසුය. ආපසු පැන යන්න දතකන අලින් නිසා තත්ත්වය උග්‍ර වන අවස්ථාද නැතුවා නොවේ. ඒ වන විට මුරට සිටි සියලු දෙනා එකිනෙකාට ළං වී ඇති බැවින් කෑ කෝ ගසා ගිනි මැල දවා අලින් කොටුව තුළට පැන්නීම වගකීමයි.

තිබහට දිය සොයා ඉබේ ඇදෙන අලින්ට අමතරව කැලේ පනින අලි කොටුව දෙසට පැන්නීමට මන්ත්‍ර දන්නා පනික්කියන්ගේ රාජකාරියයි. රාත්‍රී කාලයේ ගමන් බිමන් යන අලි ඇතුන් රවටා ගාලට රොක් කර ගැනීමට දිය බුබුල දක්වා වූ රැවුල් වැටවල මෙන්ම ඇත් ගාලේ පොඩි පට්ටම් වී ගිය කැලෑව වෙනුවට කෘත්‍රීමව කැලෑවක් මවා පෑම මීළඟ කර්තව්‍යයි. ගාලට ආසන්න වන අලින් කොටු කර ගන්නා රාත්‍රිය වන විට මුර කරුවන්ට මොර ලී උල් කර දෙන්නේ ගාලෙන් පනින්නට උත්සාහ කළ හොත් අලින්ට අනින්නටය. එදාට පනාමුරේ පේන මානයක ගිනි පත්තු කිරීම තහනම්ය.

මේ වන විට ඇත් ගාලෙන් මෙපිට සැනකෙළි පුරයක් හා සමානය. ඇත් ගාල බැලීමට එන ප්‍රභූන් සඳහා ඉදිවන තාවකාලික නවා තැන්වලට අමතරව සාමාන්‍ය වැසියන්ට සියලු අඩුපාඩු සපයා ගැනීමට අවස්ථාව මෙහිදී සැපයේ. සමහරු විනෝද ක්‍රීඩාවල යෙදෙන අතර තවත් සමහරු මී විත තොල ගාමින් පුවත් නොදැන බමන ගතින් නටත් අයෙක් සුරා මතින් කවිය සිහිවන අයුරින් හැසිරෙති. මේ අතර විවිධ භාණ්ඩ විකුණා ගැනීමට විවිධ පෙදෙස්වලින් ඇදී එන වෙළෙන්දන්ගෙන් පනාමුරය පිරී යයි.

මේ කිසිවක් නොදන්න අලි ඇතුන් කෙනරන් සහ ඇතින්නියන් මෙන්ම පුංචි අලි පැටවුන් නාම්බන් රොත්ත පිටින් ඉරණම් ගමනක යෙදේ. අවසන් රාත්‍රියේ ගාලට කොටු කරද්දී මේ අලින් කුලප්පු වීම නිසා විනෝද වන්නන්ට අකරතැබ්බයන්ට මුහුණ දීමට සිදු වන අවස්ථාද නැත්තේ නොවේ. ඒ නිසා රැකවරණය සහිත ස්ථාන වෙත නරඹන්නන් යොමු කළද කීවා නාහන ගුරුන් දැඩි තුවාල ලබන අවස්ථාද ඇත. එහෙත් ඒ කිසිවකින් ඇත් ගාල වැසෙන්නේ නැත. ඔත්තුකරුවන්ගේ ඇසට අසු වූ අවසන් අලියාත් ගාල තුළට වැදුණු පසු එය තහවුරු කරන්නේ හූවකිනි. එය ඇසෙත්ම ගාලේ දොරටුව දැව කඳන් යොදා වසා දැමේ. ඇතුළු වූ අලින් සංඛ්‍යාව ගණන් කිරීම පැවරී ඇත්තේ පිරිස අතරින් දක්ෂයකුටය. වැඩි වේලාවක් නොගොස් සිය වගකීම ඉෂ්ඨ කිරීමට ඔහු බැඳී සිටියි. කොටු කරගත් අලින්ට කෑම සැපැයීමටද වෙනම පිරිසකි.

තමන්ට වූයේ කුමක්දැයි හරියට තවමත් අලින් දන්නේ නැත. දින ගාණක් තිස්සේ තිබූ පිපාසාව සන්සිඳුවා ගැනීම පමණි උන්ගේ අභිප්‍රාය වන්නේ. එහෙත් දිය බී ආපසු යන්නට තනන විට වැටකඩුලුවලින් එහා යෑමට නොහැකි වන විටය තමන්ට සිදු වී ඇති අකරතැබ්බය අලි ඇතුන් දැන ගන්නේ. එය අවබෝධ වූ වහාම කෝපයෙන් දඟලන අලින් මෙල්ල කිරීම ඊළඟ පියවරයි.

එය එසේ මෙසේ කටයුත්තක් නොවේ. එනිසා අම්මඩුව කුඩා කතරගම දේවාලය, බොල්තුඹේ සමන් දේවාලය, අරුග්ගොඩ දේවාලය සහ ගැටබරු දේවාලය නියෝජනය කරමින් කපු මහත්වරු පැමිණ ශාන්ති කර්මයක් කර අලින් ගස් බැඳීමට සූදානම් වන පිරිසගේ කටයුත්ත සාර්ථක කර ගැනීමට දේවාශීර්වාදය අයැද සිටිති. මෙය ඇත් ගාල් කිරීම නරඹන්නට පැමිණෙන දෙස් විදෙස් පිරිසට ලැබෙන සපරගමු, දකුණු සන්දර්ශන රැගත් අමතර සංස්කෘතික අංගයකි. තොවිලය ඇරැඹෙන්නේ මඩුවන්වෙල රටේ රාළ පළමුව පහන් පැලේ සිල දැල්වීමත් සමඟය. රාත්‍රී කාලය පුරා සිදු කෙරෙන තොවිලය නිමා වන්නේ පහන් වන යාමයේ අලි මෙල්ල කරන්නන්ගේ අත් බාහුවල මැතිරූ නුල් බැඳීමෙන් අනතුරුවය. ඒ පාංශු දේහධාරී පුරුෂයන්ගේ ඇස්වහ, කටවහ මැකීමටය.

මේ අලි මෙල්ල කරන්නේ කලින් වතාවක මෙලෙසම අල්ලා හීලෑ කරගත් අලින් යොදා ගෙනය. උන්ටද තොවිලයේදී මැතිරූ තෙල් හිස ගැල්වීමට ඔවුන් අමතක කරන්නේ නැත. එය ඌරාගේ මාළු උගේ පිටේම තබා කපන්නා වැනි දෛවෝපගත සිදු වීමකි. ඊට වඩා එය ත්‍රාසජනක මෙන්ම ජීවිතයත් මරණයත් අතර ඇති වන බිහිසුණු සටනක් බඳුය. නරඹන්නන් ලොඹු දැහැගැන්වෙන අයුරින් අලි ඇතුන් මෙල්ල කරන්නට ශක්තිමත් පුරුෂයන් හීලෑ අලි පිට නැඟී සූදානම් වන අයුරු පත්තිරිප්පුවට යසට පෙනේ.

හීලෑ අලින් ක්‍රමයෙන් වල් අලින් වෙත දක්කන අතර හීලෑ අලින්ගේ කරේ බැඳි මන්දක්ද ඇත. එහි අනෙක් කෙලවර තොණ්ඩුවකි. හීලෑ අලියාට මුවා වී මදු ගසන්නකුද වල් අලියා වෙත යනු පෙනේ. ඇතැම් වල් අලින් කිසි කරදරයකින් තොරව හීලෑ අලියාගේ යොමු කිරීමට එකඟව විසල් ගසක් අසලට ගිය විට ඌගේ කකුලට මන්ද දමා ලේසියෙන්ම ගසේ ගැට ගැසීමට මදුකරුවන්ට හැකිය. එහෙත් මුරණ්ඩු අලි, හීලෑ අලින්ගේ බහට අවනත නොවේ. උන් තමන්ව රවටන්නට එන මිනිසාගේ අතකොළුවක් වූ තමන්ගේ වරිගේ සතා සමඟ පසුවන්නේ තරහෙනි. තමන් වූ දේම වනේ නිදහසේ සැරිසරන තවත් වරිගයෙකුට කිරීම නුසුදුසු බව වචනයෙන් කියා ගන්නට බැරි වල් අලි කේන්තිය පළ කරන්නේ බිම පහුරු ගා හොඬවැල් අකුලා සටනට අවතීර්ණ වීමෙනි. උන් මෙල්ල කිරීමට හීලෑ අලි දෙතුන්දෙනකු යොදවන්නට වුව සිදුවේ. කොපමණ සටන්කාමී වුවත් අවසානයේ මදුවලින් කකුල් බැඳ ගස්වල පටලවා, අහරක් නැතිව, පිපාසයෙන් පීඩිත වන විට සද්දන්තයින්ගේ වුවද බල බිඳී යටත් වන බව අලි අල්ලන්නෝ දනිති. ඒ නිසා අල්ලා ගස් බැඳි අලින් හාමත් කිරීමට ඔවුහු කටයුතු යොදති. මිනිසුන් සහ වල් අලින් අතර සටනින් මිනිසා සියලු වල් අලින් ගස් බැඳ ජයග්‍රහණය ලබා ගන්නේ හීලෑ අලින්ගේ සහය ඇතිවය. 1889 සිට 1950 දක්වාම පනාමුරේ ඇත් ගාලේ සියලු අලින් මෙසේ මිනිසාට මෙල්ල විය.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල