මැරුණත් ජීවත් වෙන ඩ්‍රයිවර් මල්ලි

views 2017-10-12 10:17:00 Sinhala_Article_New

කීර්ති බණ්ඩාර මාර්ගය පිළිබඳ හොඳට දන්නවා.බස්රථය ප්‍රපාතයට වැටෙන්නට ඉඩ නොදී ඒ මොහොතේ කළ යුතු හොඳම දේ තමයි ඔහු කර ඇත්තේ. මේ වෙලාවේ ඔහු බස්රථයේ සෙසු මගී ජීවිත ගැන සිතුවා මිසක් ඔහුගේ ජීවිතය ගැන සිතන්නට නැතිව ඇති

* නිලමේ මල්ලි මේ පාරේ ගස් ගල් පවා හොඳින් හඳුනනවා. බස් එකේ 'නයිට් පාර්ක්' ගෙදර මිදුලේ

‘ප්‍රපාතටය පෙරළෙන්න ගිය බස්රථය රියැදුරු ගල් ඇන්දක හප්පලා මිනිස් ජීවිත ගණනාවක් ‍බේරා ගෙන. ඒත් රියැදුරු ඇතුළු තව තුන් දෙනෙක් මැරිලා’ ඉකුත් පළ‍වෙනිදා සන්ධ්‍යාවේ ඇසුණු මේ පුවතින් හද සසල වී ගියේය.

පෞද්ගලික වේවා රජයේ වේවා බස් රථ රියදුරන් කෙරෙහි සාමාන්‍ය ජනතාව අතර එතරම්ම පැහැදීමක් නැත. ඒ රියැදුරන් එක්කෝ රේස් යන නිසාය. නැතිනම් මාර්ග නීති පිළිනොපදිමින් ගමන් ගන්නා නිසාය. නැතිනම් කොට කොටා යන බැවිනි. එහෙමත් නැත්නම් පුංචි දේටත් ස්ට්‍රයික් කරන නිසාය. ඇතැම් බස්වල මගීන් ගමන් ගන්නේ ඇඟේ ලේ වතුර කරගෙනය. කොහොම වුවත් උදේ හවස ගමන් වාර හතරක් බණ්ඩාරවෙල සිට කොස්ගමට ආව ගිය ලංගම බස් රථයේ රියැදුරු පිළිබඳ නම් දිනපතා බස් රථයේ ගමන් ගත් මගීන්ට නම් පැවැතියේ පැහැදීමකි. වසර හතක් තිස්සේ ඒ මාර්ගයේ උදේ හවා බස් රථය ධාවනය කළ කීර්ති බණ්ඩාර ඒ මාර්ගයේ ඇති ගස් ගල් පවා හොඳින් හඳුනන්නේය. එනිසා ඔහු වංගුවල ගියේ, පල්ලම් බැස්සේ, කඳු නැංගේ මේ සියලු දේ හඳුනාගෙනය. නමුදු වරදක් වෙන්ට මහා වෙලාවක් ගතවන්නේ නැත.

එදින බණ්ඩාරවෙල සිට කොස්ගොඩ දක්වා එන ගමන සිය ජීවි‍තයේ අවසන් ගමන වේයැයි රියැදුරු බණ්ඩාර කිසිසේත් නොසිතුවේය. ඔහු පමණක් නොව කිසිවෙකුත් නො‍පැතු අයුරින් සිදු වු අනතුරින් කීර්ති බණ්ඩාර ඇතුළු තිදෙනෙකු ගේ ජීවිත අහිමි විය.

“අපිට හිතා ගන්න බැරි වුණා මොකක්ද වෙන්නේ කියලා. බස් රථය බණ්ඩාරවෙල පැත්තේ ඉඳලා ආවේ. අපට දැනුණේ බස් රථයේ තිරිංග අහුවෙන්නේ නැහැ කියලා වගෙයි. අපි හැමෝම බොහෝම කලබල වුණා. ඒ වෙලාවේ අපිට මොකක් වෙයිද කියලා හිතා ගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. එක වරම විශාල ශබ්දයක් ඇහුණා. රියැඳුරු මහත්තයා ඒ දේ නොකළානම් විශාල අනතුරක් වෙන්න තිබුණේ. ඒ කියන්නේ බස් රථය ප්‍රපාතයට වැටෙනවා. එහෙම වුණා නම් බස් රථයේ ගමන් ගත්ත හැමෝගෙම ජීවිත අනතුරේ.” බස් රථයේ ගමන් ගත් මඟියකු පැවසූයේ තමන් අත්විඳි දේය.

ඉකුත් පළමු වැනිදා සවස දවසේ අවසන් ගමන් වාරය වන බණ්ඩාරවෙලින් සවස 4.20ට ගමන් ආරම්භ කරමින් හාල්අටුතැන්න හරහා කොස්ගොඩට එන්නට කිර්ති බණ්ඩාර රථය ධාවනය කළේය. එදින ද බස් රියේ කොන්දොස්තර ලෙස කටයුතු කළේ ඩබ්ලිව්. එම්. රත්නායකය. කෙසේ වෙතත් හපුතලේ බෝගල උඩවිහාරගල ප්‍රදේශයේදී බස් රථයේ තිරිංග ක්‍රයා විරහිත වී ඇත්තේය.

මෙම අනතුර සම්බන්ධයෙන් බණ්ඩාරවෙල ඩිපෝ අධිකාරී පී. එම්. සෝමපාල මහතා පවසන්නේ මෙවැනි කතාවකි.

“කීර්ති බණ්ඩාර මුලින්ම සේවය කළේ උඩහමුල්ල ඩිපෝවේ. ඔහු මීට අවුරුදු හතරකට පෙර තමයි මෙහෙට ආවේ. ඒ ආව දා සිට ඔහු සේවය කරන්නේ මෙමම මාර්ගයේ. උදේ සි සවස් වනතුරු බස් රථය ගමන් වාර හතරක් යනවා. රාත්‍රියට බස් රථය නතර කරන්නේ කීර්ති බණ්ඩාරගේ නිවෙසේ මිදුලේ. ඔහු සැමදාම උදෑසන 5.30ට බණ්ඩාරවෙල බලා එන්න පිටත් වෙනවා. මේ බස් රථයේ ගමන් කිරීමට හුරු වූ පිරිසක් ඉන්නවා. කීර්ති බණ්ඩාර සේවය කළේ වෙනත් බස් රථයක. ඒ බස් රථය මේ දවස්වල අලුත් වැඩියා කරනවා. ඒ නිසා තමයි ඔහු ට වෙනත් බස්රථයක් ලබා දුන්නේ. සිද්ධිය වු දා ඔහු ගමන් ගත්තේ ඒ බස් රථයේ. නමුත් දවස් දොළහකින් මේ බස් රථයේ යම් කාර්මික දෝෂයක් හෝ ආපදා තත්වයක් තියෙනවා කියලා කිසිම පැමිණිල්ලක් වාර්තා වීමක් ඉංජිනේරු අංශයට වාර්තා වී නැහැ. ඕන කෙනෙකුට අපිට ඒ ලිපි ගොනු පෙන්වන්න පුළුවන්. ඒ වගේම තමයි මේ සිද්ධිය සම්බන්ධයෙන් එක් එක් අය විවිධ කතා කියනවා. මේ පාර වංගු බහුල පාරක්. අවුරුදු හතක් තිස්සේ ‍මේ මාර්ගයේ බස් රථය ධාවනය කරන කීර්ති බණ්ඩාර මාර්ගය පිළිබඳ හොඳට දන්නවා. බස්රථය ප්‍රපාතයට වැටෙන්නට ඉඩ නොදී ඒ මොහොතේ කළ යුතු හොඳම දේ තමයි ඔහු කර ඇත්තේ. මේ වෙලාවේ ඔහු බස්රථයේ සෙසු මගී ජීවිත ගැන සිතුවා මිසක් ඔහුගේ ජීවිතය ගැන සිතන්නට නැතිව ඇති.

කිර්ති බණ්ඩාර කියන්නේ බොහෝම හොඳ නිහතමානී වෘත්තිය පළපුරුද්ද ඇති රියැදුරෙක්. දැන් බස් රථයේ කාර්මික දෝෂය කුමක් ද යන්න පිළිබඳ ඉංජිනේරු අංශය පරික්ෂණ පවත්වනවා. කොහොම වුණත් මෙම අනතුරින් කොන්දොස්තරටත් තුවාලයි. ඔහුත් මේ වන විට රෝහල් ගතකරලා. අපට කිර්ති බණ්ඩාර ගැන බොහෝම කනගාටුයි. කීර්ති බණ්ඩාරගේ පවුලේ අය වෙනුවෙන් යම් දෙයක් කිරීමට කටයුතු කරනවා. මීට කලින් මේ ස්ථානයේම අනතුරක් වෙලා තියෙනවා. ඒ මීට අවුරුදු විස්සකට විතර පෙරයි. එදා බස් එක ප්‍රපාතයට පෙරළිලා

දෙන්නෙක් මිය ගිහිල්ලා. ඊට පස්සේ තමයි මේ අනතුර වුණේ.”

නොසිතු මොහොතක සිදු වූ මෙම අනතුරින් බණ්ඩාරවෙල පොලිසියේ සැරයන්වරයකු වන එස්. ඒ .ඩී බණ්ඩාර හා බණ්ඩාරවෙල ඩිපෝවේ පරීක්ෂකවරයකු වූ එස්. එම් සුනිල් කුමාරසිරි යන මහත්වරු මිය ගියහ. කොහොම වුවත් ජීවිත ගණනාවක් බේරා ගැනීමේ අරමුණින් බස්රථය ගල් ඇන්දකට හේත්තු කර ‍ප්‍රපාතයට පෙරැළීමේ අවදානමෙන් බේරා ගත් කිර්ති බණ්ඩාර අවසන් ගමන් ගියේ විරුවෙකු ලෙසිනි.

ඔහු දෙදරු පියෙකි. ඉදින් මේ දරුවන්ට කුමක් වේද? ඔවුන්ගේ අනාගතය බාර ගන්නේ කවුද?

කීර්ති බණ්ඩාර මිය ගියේ බස්රථයේ රේස් යන්නට ගොස් නොවේ.අනතුර වූයේ කාර්මික දෝෂයකින් නම් ඒ කුමක්දැයි යන්නද එසේත් නොමැති නම් ඒ මොහොතේ සිදු වුයේ කුමක්ද යන්න ද සැබැවින්ම දන්නේ කීර්ති බණ්ඩාරම පමණි. නිලමේ මල්ලි ලෙස ගමම ආදරයෙන් හඳුන්වන හිත හොඳ බණ්ඩාර රියැදුරු යළිත් බණ්ඩාරවෙල සිට කොස්ගම‍ට නොඑනු ඇත.

නමදු තම දිවි පුදා ජීවිත ගණනාවක් බේරාගත් ඒ මිනිස් ගුණ සුවඳ හැමදාමත් සමාජය පුරා පවතිනු ඇත.



​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල