පොල් මිල වැඩි වීමේ වරද කාගේ ද?

views 2017-10-03 10:41:00 Sinhala_Article_New

පොල් මේ දවස්වල හැම දෙනාම කතා කරන මාතෘකාවක්. සමහරු කියන්නෙ මේ ආණ්ඩුව එලොව පොල් පෙන්නනවා කියලා. ඒත් පොල් මිලේ ඇත්ත කථාව ඊට වඩා වෙනස්. ඒ ගැන අපි පොල් වගාකිරීමේ මණ්ඩලයේ සභාපති කපිල යකන්දාවල මහතාගෙන් විමසුවෙමු.

පොල් මිල රු. 100/= දක්වා ඉහළ ගිහින් නම් ඒක කළු කඩ මිලක්. මේක නිර්මාණය කරල තියෙන්නෙ කළුකඩ කාරයො මිසක් වෙන කවුරුත් නෙමෙයි. මේ ගැන අපි අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. පාරිභෝගික අධිකාරිය එවැනි කළුකඩකාරයින්ට එරෙහිව ක්‍රියාත්මක වෙනවා.කෙසේ වෙතත් පොල් වගාකිරීමේ මණ්ඩලයේ සභාපති හැටියට මගේ අදහස පොල් වගාකරන ගොවියකු අතට පොල් ගෙඩියක් සදහා රු. 40/=ක් වත් ලැබිය යුතු බවයි. තොග වෙළෙන්දාට, සිල්ලර වෙළෙන්දාට හා ප්‍රවාහන වියදම් සදහා රු. 20ක් අයින් කරත් පොල් ගෙඩියක උපරිම මිල වෙන්නෙ රු. 60/=යි. සාමාන්‍යයෙන් වෙළඳපළේ පොල් ගෙඩියක් රු. 70/=, 75/= ට ඉහළ යාම එතරම් ගැටලුවක් නෙමෙයි. එය කාලගුණික, දේශගුණික බලපෑම් මත සිදුවිය හැකියි. එහෙත් පොල් ගෙඩියක් රු. 100/= ට අලෙවි වෙනවා නම් එය පිළිගත නොහැකියි. මොකද පොල් වෙන්දේසියේ පවා පොල් ගෙඩියක මිල වාර්තා වුයේ රු. 45/= හැටියටයි.

කෙසේ වෙතත් මේ දිනවල පවතින පොල් මිලට හේතු විදිහට පුත්තලම කුරුණෑගල වැනි දිස්ත්‍රික්වලට බලපෑ දිගුකාලීන නියං තත්ත්වය දැක්විය හැකියි. එම කාලයේ පොල් පලදාව සැලකිය යුතු මට්ටමකින් අඩු වුණා. සාමාන්‍යයෙන් වසරකට රටේ පොල් ඵලදාව මිලියන 3000ක් පමණ වෙනවා. මේ වසරේ එය 12%කින් අඩු වුණා.

ඒ වගේම මෑත කාලයේ පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා අපනයන වෙළඳපොලේ නොසිතූ විරූ ඉල්ලුමක් ඇති වුනා. මේ ඉල්ලුමත් නිසා පරිභෝජනයට මුදා හැරෙන පොල් ගෙඩි ප්‍රමාණය අඩුවී කර්මාන්ත සඳහා යොදා ගැනෙන ප්‍රමාණය ඉහළ ගියා. අද පවතින පොල් මිලට හේතුවක්. ඒත් එහි සුභවාදී පැත්ත මිනිස්සු කතා කරන්නේ නෑ. ඒක කනගාටුදායක තත්ත්වයක්.

ඒ වගේම ජනතාවට මේ පොල් මිලට සාර්ථකව මුහුණදිය හැකි ක්‍රියා තියෙනවා. ඔවුන් ඒ සඳහා යොමු විය යුතුයි. එමගින් පාරිභෝගිකයා වගේම පොල් වගාකරුවාත් පොල් කර්මාන්ත කරුවාත් ආරක්ෂා කරගත හැකියි.

සාමාන්‍යයෙන් අපේ රටේ පොල් ගසකින් වරකට ගෙඩි 65ක් පමණ කැඩෙනව. නිවැරැදිව පොහොරයි වතුරයි යොදනවා නම් එම ප්‍රමාණයෙන්120ක් දක්වා වර්ධනය කරගත හැකියි. මෙහිදී ගෘහණියටත් විශේෂ වගකීමක් පැවරෙනවා. ගෘහස්ථ පොල් පරිභෝජනයෙන් 40% ක් පොල් අපතේ යන බව අප කළ සමීක්ෂණ මඟින් හෙළි වුණා. එය අවම කර ගැනීම සඳහා අප කළ යුත්තේ පොල් අතින් මිරිකා කුඩු විසි කිරීම වෙනුවට ඇබරුම් ගලකින් හෝ බ්ලෙන්්ඩරයක් මඟින් පොල් තලපයක් වනසේ අඹරා ගැනීමයි. එහිදී පොල් අපතේ යාම වැළැක්විය හැකියි. ඒ වගේම පොල් මදයේ අඩංගු ඉතා වටිනා තන්තුමය කොටස් අපේ ශරීරයට එක් කරගන්නත් හැකි වෙනවා.

පොල් වගාකිරීමේ මණ්ඩලය හැටියට පොල් වලට ඉතා හොඳ ආර්ථිකමය වටිනාකමක් ලබා දීමට අපි කැපවී සිටිනවා. නව පොල් වගා ව්‍යාපෘතිය හදුන්වා දෙමින් වර්තමාන වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහත‍ෙ අපට ඉතා හොඳ මඟ පෙන්වීමක් ලබා දෙනවා. ඒ වගේම අසාධාරණ ලෙස පොල් මිල ඉහළ නංවා පාරිභෝගිකයා අපහසුතාවට පත් කරන කළුකඩකාරයින්ට එරෙහිව ගත හැකි සියලු ක්‍රියා මාර්ග ගන්නවා.

​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල