රහස් බෙහෙත් දන්නා ඇලි මුගටියා

views 2017-09-29 10:23:00 Sinhala_Article_New

අඳු කොළ පමණක් නොව මුගටියාද නයාගේ දෑහැට පෙන්නන්නට බැරිය. පරම හතුරන් නයින්-මුගටින් මෙනැයි කියන්නේද ඒ නිසාය. ජනප්‍රිය සුරතලෙකු නොවුණත් මුගටින් බෙහෝ හුරුබුහුටියැයි හිටපු වනජීවී නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය නන්දන අතපත්තු මහතා පවසන්නේ වයස අවුරුදු දොළහක පමණ කාලයක් තිස්සේ ලද අත්දැකීම්ද ඇසුරු කරගෙනය.

“අපේ අම්මලෑ ගමේදී දවසක් වෙල් යායක අළු පාට බෝල වගයක් යනවා දැකලා මම පස්සෙන් දිව්වා. එතකොට මට අවුරුදු දොළහක් විතර ඇති. පැටව් පස් දෙනෙක් එක්ක මුගටි අම්මෙක් යනවා. ඒ පැටවුන් එහෙ-මෙහෙ යමින් හිටියේ. මම අන්තිමට ගිය පැටියා උස්සගෙන දුවගෙන ආවා. ඒ අම්මාටවත් අනෙක් පැටවුන්ටවත් ඒ ගැන වගක් වුණේ නෑ. අපේ තාත්තා නම් මට බැන්නා අම්මාගෙන් පැටවුන් වෙන් කළා කියලා. ඒත් ඌ හරි සතුටෙන් මා එක්ක සෙල්ලම් කළා. උන් ආසම දේ තමයි පටි කෑල්ලක් වගේ දෙයක් වැනෙනවා නම් ඒකට පනින-එක. මම ඌ තුරුලු කරගෙන නිඳාගන්නවා කියලත් අපේ තාත්තා අනන්ත අප්‍රමාණ වාරයක් බැනලා තියෙනවා. මොකද: ගැමියන් අතර මතයක් තිබෙනවා, පිරිමි ළමයින් එක්ක මුගටින්ට සෙල්ලම් කරන්න දෙන-එක භයානකයි කියලා. ඒත් මේ මුගටි පැටියා නම් අවරුදු ගානක් මා එක්කම හිටියා. මුගටින් කීපදෙනෙක් ඊට පස්සේ මම හැදුවා. සමහර උන් පැනලා ගියා. සමහර උන් කාලයක් ගත වෙලා මැරුණා. සාමාන්‍යයෙන් මුගටියෙකුගේ ආයුෂ අවුරුදු පහ-හයක් වුණාට ගෘහස්ථීකරණය වුණාම අවුරුදු 18ක් ජීවත් වුණු මුගටි සුරතලෙක් ගැන මම අහලා තිබෙනවා. හැබැයි ඉතිං එකම දේ ගෙදර මීයෙක්, කැරපොත්තෙක්, හූනෙක් තියා මැස්සෙක්ටවත් ඉන්න දෙන්නේ නෑ. ඒ වගේම තමයි අල, ලූනු, සීනි, පිටි, එළවුළු, මාළු වගෙ කුස්සියේ තියෙන කිසිම දෙයක් ගැන වගකියන්නත් බෑ. හේතුව: 'මාංසභක්ෂක' කීවට මුගටි සර්වභක්ෂක ලක්ෂණ පෙන්වනවා.”

ළමා කාලයේ ලද ඒ අත්දැකීම අදටත් මුගටින් පිළිබඳ අධ්‍යයනයේදී ඔහුට වැදගත් වී තිබේ...

“ගම්බද සහ නගරයට තදාසන්න පරිසරවලදී වගේම නාගරිකවත් සුලභව මුගටින් දකින්න පුළුවන්. අපේ රටේ සැම තැනම එක නමකින් හැඳින්වූවත් මුන් උප-විශේෂ හතරකට අයිතියි. උතුර, උතුරු-නැ‍ඟෙනහිර සහ මධ්‍යම කඳුකරයේදී වෙන් වෙන් වශයෙන් හඳුනාගන්න පුළුවන් මේ හුරුබුහුටි සතුන් සමේ වර්ණය අනුවත් වෙන් කර හඳුනාගන්න පුළුවන්. පොළොව මට්ටමින් අඟල් හයකට වඩා උස නැති අඩියකට වඩා තරමක් දිගු මුන්ගේ සිරුර පුරා අළු-දුඹුරු පැහැති රෝම පිහිටනවා. වල්ගය සිරුරට සාපේක්ෂව දිගයි. මුල රෝම ගුළියක් වගේත් කෙළවර තුඬක් වගේත් පිහිටනවා. පිරිමි සතා රාත්තල් තුනක් පමණ බර වුණත් ගැහැනු සතා රාත්තලක්වත් බර නෑ. මීයන්, කටුස්සන් වගේම කුඩා සර්පයන්, කුරුලු බිත්තර, බිම හැසිරෙන කුරුල්ලන් මුගටි අහර මෙනු-පත සරු කළත්, සුදුසු ආහාරයක් නැති වුණාම වේ තුඹසකට හොම්බ දමා පිලාවදවලිනුත් යැපෙනවා.

“ගම් තුලානේ පහුරුගගා ඇවිදින ගම් කුකුළන් වගේම කුකුළු කූඩුවල කිකිළියන් මරාදැමීමට මුගටින් බොහෝ සමත්. ප්‍රශ්නේ තියෙන්නේ කුකුළන් මරා කන්න නෙවෙයි මුන් කැමති. බෙල්ල සපා ලේ බොන්නයි. ඒ නිසා කොටුවකට වැදුණොත් වැඩි සතුන් සංඛ්‍යාවක් නිරපරාදේ මරාදමන නිසා මුගටින් කුකුළු ගොවීන්ගේ සතුරෙක්. ඒත් ගොළුබෙල්ලන්ගේ මද කා කටුව ඉතිරි කරන නිසා මුන් කෘෂි ගොවීන්ගේ මිතුරෙක් හැටියටයි සැලකෙන්නේ. ඒ වගේ පුරුදු නිසා අමුතුවෙන් වතුර සොයාගෙන යන්න ඕනෙ නෑ.

“මුගටින්ගේ අභිජනන සමයේ අමුතු රැඟුමක් නෑ. පැටවුන් බිහි වන්නට කොපමණ කාලයක් ගත වනවාද කියලත් නිශ්චිතව කියන්න හැකියාවක් නෑ. මොකද: උන් ගැබ්බර කාලේ අනෙක් සතුන් මෙන් වෙනසක් පෙන්වන්නේ නැති නිසා. ඒත් ජෝඩුව එකට ගමන් කරනවා දකින්න පුළුවන්. පැටවුන් ලැබෙන කාලෙට මව තනිවම හෝ පියාත් සමඟ එකතුව පොළොවේම අවපාතයක් සදාගන්නවා. ඒ කෙළවරක පැටවුන් බිහි කරනවා. තාත්තලා පැටවුන් ගැන සොයන්නවත්, ආරක්ෂාව සපයන්නවත් ඉන්නේ නැහැ. පැටවුන් ඉපදෙන්නේම ඇස් ඇරලා. ඒ නිසා කිරි බොන අතර ඉක්මනින්ම අම්මා පස්සේ වැටී කෑම සොයන්න යනවා.

“මුගටින් වගේමයි හෝතඹුවනුත් හැසිරෙන්නේ. උන්ගේ ශරීර වර්ණය වඩා දුඹුරු පැහැයට හුරු වුණත්, උනුත් මුගටි වර්ගයට අයත් උප-විශේෂයක්. මේ දෙගොල්ලන්ම තරහ ගිය විටත් බිය වුණු විටත් හීන් හඬකින් කෑගහනවා.”

නයි-මුගටි හටන ගැනද වෛද්‍ය අතපත්තුට බොහෝ කතා ඇති සේය...

“නයි-මුගටි හටන ගැන ගැමියන් අතර තිබෙන්නේ එක-එක මත. ඇත්තෙන්ම මුගටියාට නයි විසෙන් බේරී සිටීමේ විශේෂ හැකියාවක් තිබේදැයි සැකයක් විද්‍යාඥයන් අතර පවතිනවා. නොවැළැක්විය හැකි විදිහට දෙන්නා මුණගැසුණොත් මුගටියා රෝම පුම්බාගෙන සිරුර දෙගුණයක් විශාල කර, කඩිසරව එහා-මෙහා පනිමින් නාගයාට පෙලඹවීමක් ඇති කරනවා තමන්ට දෂ්ට කරන්න. එහෙම කීපවරක් කළාම නයි විස අඩු වනවා; නයා හෙම්බත් වනවා. එතකොටම නයාගේ බෙල්ලට පැනලා මුගටියා හපනවා. ඒ ගමන්ම මුගටියා කැලේට දුවලා රහස් කොළ වර්ගයක් කනවා කියලා තමයි ගැමියන්ගේ වගේම සත්ත්ව විද්‍යාඥයන්ගේත් විශ්වාසය.

“තවත් විශ්වාසයක් තමයි මුගටියාට සටන දිනාගන්න බැරි මට්ටමට එනවා නම් ඇළි මුගටියකු පිටේ තියාගෙන සටනට එනවා කියන-එක. නයි විෂවලට ඔරොත්තු දීමේ හැකියාවක් ඇළි මුගටියාට තිබෙනවා කියලයි විශ්වාස කරන්නෙ. ඒ නිසා ඌ පැන පැන නයාව හපනවාලු. විද්‍යාත්මකව ඇළි මුගටින් බිහි වෙන්න පුළුවන්. ඒත් මම නම් කවදාවත් උන් දැකලා නෑ. ඇළි මුගටියා නයා මරපු ගමන් නික කොළ හරි වෙනත් හඳුනා නොගත් කොළයක් හරි කන්න කැලේට දුවනවා කියලත් මතයක් තිබෙනවා.

“අවරුදු දහදාහක් විතර මිනිසුන් සමඟ සම්බන්ධතාවක් ඇති මුගටියා වසර දස ලක්ෂ තිහක කාලයක් තිස්සේ පැවතෙන සතෙක්.”

​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල