නායක කාරකාදීන් අහක බලද්දී
නරකාදියටම වැටෙන පිටකොටුව

views 2017-09-11 11:50:00 Sinhala_Article_New

හතු පිපෙන ගානට පිටකොටුවේ වෙළෙඳාම් තට්‌ටු වැඩි වේ...
වෙළෙන්දන් පාරිභෝගියන්ව ගසාගෙන කන විට පොලිසිය අහක බලයි...
පාවෙන වෙළෙඳපොළ කුඩුකාරයන්ගේ තිප්පොලක්‌...
පේව්මන්ට්‌ දිගට කුණු දිය බේරේ....

මුළු රටම අවුල් ජාලාවකි. දේශපාලන, ආර්ථික සහ සමාජ ක්‍ෂේත්‍රයන් සියල්ලම අඩපණය. පසුගිය කාලයේ වැඩබිමක්‌ ලෙස තිබූ රට දැන් මුඩුබිමක්‌ බවට පත්ව ඇත. හැඩට තිබුණු කොළඹ නගරය නැවතත් අවීචි මහා නරකාදියක්‌ බවට පත්වෙමින් තිබේ.

තැන, තැන කුණු ගොඩවල්ය. කුණු වතුරවලින් කාණු පිරී ගොස්‌ය. කෑම කඩවල ඉඳුල් දිය පේව්මන්ටුව දිගේ දෝරේ ගලන්නේය. ඒ මතින් වහනය වන දුගඳට නාස්‌ කුහර පමණක්‌ නොව ඉහ මොළද රත් වේ. නාසය අත්ලෙන් මිරිකාගෙන හෝ දුගඳ දරාගත්තද, පිටකොටුවට සිදුව ඇති විපත්තිය දකින විට හදවත කකියවන්නේය.

පදිකයෙන් විසි වෙච්ච වෙළෙඳ ලෑල්ල නැවතත් පිටකොටුව විදී දිගට වැටි ඇත. පළමුවැනි, දෙවැනි, තෙවැනි, සිව් වැනි සියලුම හරස්‌ මාර්ගවල අඩකටත් වඩා දෙපස වෙළෙඳ තට්‌ටුවලින් ඇහිරිලාය. පාර මැද මිනිස්‌සු ගමන් කරති. වාහන ගමන් කිරීමට ඉඩ මදිව පාර ජෑම් වෙලාය. වෙළෙඳුන්ගේ කෑගැසීමට සහ 'ට්‍රැපික්‌' එකේ රූටන වාහනවල නලා ශබ්දයත් සමඟ විදී එකම ගාලගෝට්‌ටියකි. පිටකොටුව ප්‍රධාන මාර්ගය ඕල්කට්‌ මාවත දෙපස විසිතුරු ගඩොලින් හැඩ වූ පේව්මන්ට එක දිගටත් තැන, තැන බඩු පොදිය. ඕල්කට්‌ මාවතේ 120 බස්‌ නතර කරන ස්‌ථානයේ පේව්මන්ට්‌ එක දිගට අනවසර පාවහන් වෙළෙඳසල් පෙළකි. පිටකොටුව බෝධිය අසල රෙදිපිළි වෙළෙඳ කුටි පෙළකි. පිටකොටුව ප්‍රධාන බස්‌ නැවතුම්පළ ඇතුළේ අනවසර ඉදිකිරීම් රාශියකි. බැස්‌ටියන් මාවතේ බස්‌ නැවතුම්පොළ පිවිසුමේ නැවතත් පළතුරු තට්‌ටුය. පිටකොටුව දුම්රියපොළ ඉදිරිපිට තහඩුවලින් ඉදිකළ අනවසර වෙළෙඳසල් කිහිපයකි. දවසින්, දවස හතු පිපෙන ගානට පිටකොටුවේ වෙළෙඳ තට්‌ටු වැඩි වෙමින් තිබේ.

''පහුගිය කාලේ කොච්චර පිළිවෙළකට තිබුණද... නිදහසේ පාරේ බැහැලා යන්න තිබුණා... ආයෙත් පිටකොටුව පරණ තැනටම වැටිලා...'' පිටකොටුවෙ වීදී දිගේ ඇවිද යන මගීන් එසේ කියනවා අපේ කනට ඇසුණු වාර අනන්තය. ඇතැම් මගීහු දෙස්‌ දෙවොල් දෙති. දොස්‌ කියති. මගීන් පමණක්‌ නොව පිටකොටුවේ වෙළෙඳුන් ද ආණ්‌ඩුවට දොස්‌ කියති.

''හතු පිපෙනවා වගේ පුංචි, පුංචි වෙළෙඳ කුටි ගහනවා. බහුතරය මුස්‌ලිම් මිනිස්‌සු. කාගෙන් අවසර අරගෙනද, කවුරු අවසර දීලා ද කියලා දෙයියො තමයි දන්නේ. ප්‍රශ්න කළොත් අර ඇමැතිතුමාගේ, මේ සභාපතිතුමාගේ කියනවා. නැති නම් ඇමැතිවරුන්ගේ අත්සන සහිත ලිපි පෙන්වනවා. අපිත් අසරණයි, නිලධාරිනුත් අසරණයි. මොන ජාතිකාරයන් කඩ දැම්මත් අපිට ප්‍රශ්නයක්‌ නෑ. දැනටත් පිටකොටුවේ සිංහල ව්‍යාපාරිකයෝ සුළුතරය බවට පත් වෙලා ඉවරයි. ඒක අපේ ජාතියේ නොහැකියාව. ඒවා ගැන කතා කළොත් ඇඬෙනවා. අපි කියන්නේ ඕනෑම දේකට පිළිවෙළක්‌ තියෙන්න ඕනා...''

එක්‌ වෙළෙන්දෙකුගේ කතාව අහවර වූයේ තව කිහිපදෙනකුගේ අඩු වැඩියත් සමඟය. ඔවුන්ට ඇවැසි පිටකොටුව හැඩට තබාගැනීමටය. අපේ මේ වෑයමද පිකොටකොටුවේ වෙළෙඳුන්ගේ බඩට ගැසීමවත් ජාතිවාදය ඇවිස්‌සීමවත් නොවේ, මෙරට අගනගරය වන කොළඹ ලස්‌සනට, පිළිවෙළට තබාගැනීමට බලධාරීන් සහ නිලධාරීන් දැනුවත් කිරීමය.

''ඊයේ පෙරේදා තට්‌ටු දාගත්ත පුංචි කොල්ලො නහයට අහන්නෙ නෑ. පොඩ්ඩ එහා, මෙහා වුණ ගමන් මිනිස්‌සුන්ට ගහන්න පනිනවා. පාරිභෝගිකයෝ භාණ්‌ඩවල අඩුපාඩුවක්‌ පෙන්නුවොත් මහා හයියෙන් සත්තම දානවා. සමහර වෙලාවට ගහනවා. පාරිභෝගිකයෝ පොලිසියට ගියත් වැඩක්‌ නෑ. පොලිස්‌ නිලධාරිනුත් ඒ වෙළෙන්දන්ට සපෝට්‌. පිටකොටුවේ පොලිස්‌ නිලධාරීන් විතර හම්බ කරන නිලධාරීන් වෙන කොහෙවත් නැතුව ඇති. දවස ගානෙ පොලිස්‌ නිලධාරීන්ගේ සාක්‌කුවලට සල්ලි වැටෙනවා. පරිසරය ආරක්‍ෂා කරන්න ඉන්න පොලිස්‌ නිලධාරීන්ට මාසෙකට රුපියල් ලක්‍ෂයක්‌, එහමාරක්‌ එකතු වෙනවා. ඒ නිසා වෙළෙන්දෝ පාරිභෝගිකයන්ව මරාගෙන කෑවත් පොලිස්‌ නිලධාරීන් නොදැක්‌කා වගේ ඉන්නවා. පව් අසරණ පාරිභෝගිකයෝ. ඒ කාලේ පිටකොටුවට එන පාරිභෝගිකයන්ට හොඳ ආරක්‍ෂාවක්‌ තිබුණා. වෙළෙන්දෝ පාරිභෝගියන්ට වංචා කරන්න බයක්‌ තිබුණා. අද වෙළෙන්දන්ගේ එහෙම බයක්‌ නෑ. මේ මෑතක මල්වත්ත පාරේ සෝනි බිල්ඩින් එකේ පිහි ඇනුමක්‌ ගියා. පිහි පහර කෑ දෙන්නෙක්‌ අදටත් ඉස්‌පිරිතාලේ. ඒත් පිහියෙන් ඇනපු උන් තවමත් නිදැල්ලේ. ඒ මදිවට දැන් කොළඹ 'කුඩු' වැහි වැහැලා. ඕල්සේල් කුඩු බිස්‌නස්‌ වෙනවා. ඉස්‌සරත් පිටකොටුවේ කුඩු බිස්‌නස්‌ වුණා. ඒත් අද වගේ මහා පරිමාණයෙන් වුණේ. නෑ. පාතාලය පැටව් ගහනවා. අරයගේ ගෝලයෝ... මෙයාගේ ගෝලයෝ... කියාගෙන ඇවිත් කප්පම් එකතු කරනවා. පහුගිය ආණ්‌ඩුව කාලේ හොර, මැරකම්, කප්පම් ගැනීම් පාලනය වෙලා තිබුණේ. ඒ නිසා තමයි අපිත් 'වෙනස්‌ වන කොළඹට' ආදරය කළේ...'

මේ හැම වෙළෙන්දෙක්‌ම පාරෙ දූවිලි කන්නේ නැතුව එක තැනකට වේලා පාඩුවේ බිස්‌නස්‌ කරගෙන යන්න කැමැතියි. පහුගිය රජය කාලේ පදික වෙළෙඳුන්ට අලුතින් කඩ දෙනවා කිව්වම අපි බොහෝම කැමැත්තෙන් හිටියේ. ඒත් එක හරියට වුණේ නෑ. ස්‌ථාන තුනක කඩ සාප්පු සංකීර්ණ තුනක්‌ ඉදිකරලා වෙළෙඳසල් බෙදලා දුන්නා. ඒත් පිටකොටුවේ ලියාපදිංචි පදික වෙළෙඳුන් දෙදහස්‌ පන්සීයෙන් දාහකටවත් වෙළෙඳ කුටි ලැබුණේ නෑ. ඒ කඩ සාප්පුවල කඩ ගත්තේ නාගරික මන්ත්‍රීවරු, ඒ අයගේ ගෝල බාලයෝ. අන්තිමේ පදිකයෙන් විසි වෙච්ච අය නැවතත් වීදි දිගට බඩු දාන්න පටන්ගෙන. පාවෙන වෙළෙඳපොළට මිනිස්‌සු යන්නේ නැති නිසා එතැන වෙළෙඳාම් කරපු අයත් පේව්මන්ට්‌ එකේ බඩු දාන්න පටන්ගෙන. ආයෙමත් කොළඹ අර තිබුණු පිළිවෙළ නැති වෙලා. නගරය ලස්‌සනට තියෙනවා නම්, හැඩ බලන්න හරි මිනිස්‌සු එනවා. විදේශීය සංචාරකයෝ එනවා. දැන් මිනිස්‌සු කොළඹ ඇවිදින්නෙ නාහය වහගෙන...''

සුපිරි තැනක, සුපිරි විදිහට ව්‍යාපාර කරගෙන යැමට ඕනෑම කෙනෙකු කැමැතිය. එහෙත් මේ වන විට කොළඹ හැඩ කරන සැලසුම් සියල්ල බේරේ ගිලී මඩ යට ගැසී හමාරය. පාවෙන වෙළෙඳපොළ ඉදිරිපිට බේරේ පොකුණේ අපේ දෑස්‌ ද ගිලිනි. පොකුණේ වතුර අමුතුම කොළ පැහැයකින් දිළිසෙති. ජල කඳ මතු පිට තනිකරම තෙල් තට්‌ටුවකි. නැවතත් බේරේ කුණු වෙලාය. බේරේ වැවේ ඉදිරි කොටස එනම් පාවෙන වෙළෙඳපොළට ඉදිරිපස කොටස තවමත් පොකුණක්‌ සේ දිස්‌ වුව ද, වෙළෙඳපොළට පිටුපස කොටස වල් වැදී කුණු වලක්‌ බවට පත් වෙලාය. වෙළෙඳපොළ හැඩ කළ තුරුපත් මල් සිඳී වියළී ගොස්‌ය. අරලිය යාය වියළී පරඬැල් වී ගොස්‌ය. විසිතුරු මලින් බර වී සුවඳ දුන් පාවෙන වෙළෙඳපොළත් දැන් පිළී ගඳය. බංකුවකට බර දී, බේරේ කුණු දිය මත දෑස්‌ ගිල්වාගෙන සිටින රෙදි ව්‍යාපාරිකයකු අසල අපි නතර වීමු. ඔහු සමඟ කතාබහ කරන අතරේ තවත් වෙළෙඳුන් කිහිපදෙනෙක්‌ම කතාවට හූමිටි තැබූහ. මේ ඔවුන්ගේ පොදු හඬය.

''ඉස්‌සර මෙතැන රෑට ලයිට්‌ දාලා දිව්‍යලෝකයක්‌ වගෙයි. අපි රෑටත් බිස්‌නස්‌ කළා. මිනිස්‌සුත් ආවා. දැන් රෑට කළුවර ගුහාවක්‌. සමහර විදුලි කණුවල ලයිට්‌ පිච්චිලා. වෙළෙඳ සංකීර්ණය පිටුපස කඩවල ලයිට්‌ වැටෙන්නේ නෑ. ඒ මදිවට වෙළෙඳපොළ ඉදිරිපිට බස්‌ පාක්‌ කරනවා. එතකොට කඩ ඇරලා තිබුණත් බස්‌ටෑන්ඩ් එකේ ඉන්න අයට පෙන්නේ නෑ. ඒ මදිවට වෙළෙඳපොළ ඉදිරිපිට, බස්‌ටෑන්ඩ් එක පිටුපස ටකරන් මඩු පේළියක්‌ ගහලා. ඒකෙන් තවත් වෙළෙඳපොළ ඇහිරිලා. දැන් වෙළෙඳපොළ බලන්නවත් මිනිස්‌සු එන්නේ නෑ. මැස්‌සෝ ඇහිරෙනවා. සමහර වෙලාවට අමු සොහොන් පිට්‌ටනියක්‌ වගෙයි...''

''මෙතැනට මිනිස්‌සු අද්ද ගන්න ක්‍රම තියෙනවා. ඒවා ක්‍රියාත්මක කරන්නේ නෑ. කොටුව ස්‌ටේෂන් එකේ ඉඳලා වෙළෙඳපොළ හරහා යන්න පාරක්‌ හැදුවා, ඒක ක්‍රියාත්මක වුණේ නෑ. ප්‍රධාන මාර්ගයේ බෝ ගහ ළඟ ඉඳලා වෙළෙඳපොළට එන්න පාරක්‌ හැදුවා. ඒකෙ වැඩ අතරමඟ නතර වුණා. වැව මැදින් ගුවන් පාළමක්‌ දාන්න සැලසුම් කරලා තිබුණා දැන් ඒක ගැන කතා නෑ. ඉතිං කොහොමද මිනිස්‌සු ගෙන්න ගන්නේ. දැන් මෙතැනට එන්නේ ලව් කරන කපල් විතරයි. වෙළෙඳපොළේ පිටුපස බංකුවකට වුණහම උපරිම නිදහස. ඕන දෙයක්‌ කරගන්න පුළුවන්. මොකද ඒ පැත්තේ එක වෙළෙඳ කුටියකවත් දොරවල් ඇරෙන්නේ නෑ. දවල්ට කපල්. රෑට ගණිකාවන්ගේ, කුඩුකාරයන්ගේ තිප්පලක්‌. කාගෙන්වත් ප්‍රශ්න නෑ. වෙළෙඳපොළ ආරක්‍ෂාවට ඉන්න අයත් ඇහැක්‌ ඇරලා බලන්නේ නෑ. හදිසිකාරයෝ එනවා, යනවා. හරියට ලොඡ් වගෙයි. ඊට හපනA පාවෙන වෙළෙඳ කුටි රෑට හරියට ගුබ්බෑයම් වගෙයි. පහුගිය කාලේ ආමි ඒකේ කොල්ලො ඉන්නකොට මෙතැනට හොඳ ආරක්‍ෂාවක්‌ තිබුණා. බොහෝම ලස්‌සනට නඩත්තු කටයුතු කළා. ආමි එකේ අය ගියා විතරයි මේක ඉවරම වුණා. මේ කිසිම කඩේකට ටොයිලට්‌ එකක්‌ නෑ. හදිසියකට දුවන්නේ විශ්‍රාමශාලාවට. දැන් ඒකත් හවස හය වෙනකොට වාහනවා. දැන් ඉතිං මුත්‍රා බරක්‌ හැදුනහම ෂේප් එකේ වැවට අල්ලනවා. නැති නම් කඩ පිටිපස්‌සට අල්ලනවා. කරන්න දෙයක්‌ නෑ. මුත්‍රා තද කරගෙන මැරෙන්න බෑනේ...' විටෙක ඔවුන්ගේ හඬ උස්‌ය. විටෙක අසරණය. ඔවුන් අද අසරණව සිටින්නේ වේළෙන වෙළෙඳපොළක ව්‍යාපාර කිරීමේ පාපයටය.

රටක අගනුවර යනු එරට විනය, පෞරුෂය, සංස්‌කෘතිය රූපවත්වන ස්‌ථානයයි. පසුගිය කාලය පුරා අතිශය වෙහෙස මහන්සියෙන් සහ කැපවීමෙන් රටක්‌ වශයෙන් අපි කොළඹ නගරය එකී ගුණාංගවලින් ස්‌වයංපෝෂිත කර ගත්තෙමු. කොළඹ සෑම දිය පහරක්‌ම ප්‍රතිසංස්‌කරණය කර, ඒ අවට හරිතවන් අසිරිමත් පරිසර පද්ධතීන් බවට පත් කෙරිණි. පෞරාණික ගොඩනැඟිලි ඒ ආකාරයෙන්ම නැවත ප්‍රතිසංස්‌කරණය කරමින් සුපිරි වෙළෙඳ සංකීර්ණ බවට පත් කෙරිණි. මං මාවත් පුළුල් කර කාපට්‌ අතුරමින්, මග දෙපස පාට ගඩොලින් හැඩ කෙරිණි. පිටකොටුව අපායක්‌ කළ මාළු කඩේ ඉවත් කර ඒ මත සුපිරි වෙළෙඳ සංකීර්ණයක්‌ ඉදිකෙරිණි. කොළඹ වීදි දිගේ අරියාදුවට ඉනි හිටෙව්වා සේ ඉදිකර තිබූ පෙට්‌ටි කඩ ඉවත් කෙරිණි. කන්කරච්චලේට තිත තබා පදික වෙළෙඳාම එක්‌තැන් කෙරිණි. බස්‌තියම දිගේ හොර රහසේ ගැලූ බේරේ වැව මතු කර සුන්දර පොකුණක්‌ බවට පත් කෙරිණි. පොකුණ මත සුපිරි හෝටලයක්‌, පාවෙන වෙළෙඳසල් සහ සුපිරි කඩ සාප්පු සංකීර්ණයක්‌ නිර්මාණය කෙරිණි. කොළඹ දහජරාව බේරෙණු බේරේ හංස බෝට්‌ටු පැද යා හැකි තරමට ජල කඳ පිරිසිදු විය. බස්‌තියම් මාවතේ කඩ පිල් දිගේ නාස්‌ පුඩු තද කරගෙන අඩියට දෙකට පැන ගිය මිනිස්‌සු පාවෙන වෙළෙඳපොළේ සිරි අසිරිය විඳින්නට බේරේ වැවේ ඉස්‌මත්තට පැමිණියහ. පදික ලෑල්ල අතුරුදන් වූ පේව්මන්ට්‌ එක දිගේ මගීහු නිදහසේ ඇවිද ගියහ. මග දෙපස වෛවර්ණ ගඩොලින් හැඩ විණි. විසිතුරු ගහකොළවලින් හරිතවත් විය. පිළිවෙළ එක විය. අපිළිවෙළට සමාවක්‌ නැති විය. ඒ ක්‍රියාවලිය තුළ කිසිදු දේශපාලනයක්‌ නැත. ගෞරවනීය ක්‍රියාදාමයකි. එහි ප්‍රතිඵලයක්‌ ලෙස ලෝකයේ සීග්‍රයෙන් දියුණු වන සංචාරක නගරය කොළඹ බව ජාත්‍යන්තර ඇගයීමට පවා බඳුන් විය. මාස්‌ටර් කාඩ් ආයතනය මගින් සිදු කරන ලද සමීක්‍ෂණයක්‌ මගින් එසේ ඇගයුමට ලක්‌ වූ කොළඹ පසුගිය වසර හයක සංවර්ධන දත්ත සැලකිල්ලට ගෙන තිබිණි. එකී ජයග්‍රහණයට විශේෂ හේතුව වී ඇත්තේ කොළඹ නගරය පුරා ඉඳිවී තිබෙන තට්‌ටු ගොඩනැඟිලි හෝ කොන්ක්‍රීට්‌ පුරවරය නොවේ. උද්‍යාන අලංකරණය, සුපිරිසිදු බව, නිදහස්‌ වටපිටාව, පුළුල් දර්ශන තල ගොඩනැගීම සහ කොළඹ නගරය තුළ සහ ඒ ආශ්‍රීත ඇළ වේලි සංවර්ධනය කිරීමය. එහි ගෞරවය මෛත්‍රී පාලනයටවත්, රාජපක්‍ෂ ආණ්‌ඩුවටවත් නොව, සමස්‌ත රටටමය. එහෙත් දැන් එම ගෞරවය මහ මඟ දූෂණය කර අවසානය. ජාතියක්‌ වශයෙන් තවමත් අප පරිණාමයෙන් නොදියුණු ගෝත්‍රිකයන් බව ලොවට පසක්‌ කර දී හමාරය. ජාතියේ කුහකත්වය ලෝකයා ඉදිරියේ නිරුවත් කර හමාරය.

​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල