සිල්ලර බඩු වලට කරන වියදම් අඩු කර ගන්න ක්‍රම 8 ක්.

views 2017-09-09 10:42:00 Sinhala_Article_New

 ඔබත් එදිනෙදා කන බොන දේවල් වෙනුවෙන් වැටුපෙන් ඉතාම විශාල කොටසක් වැය කරන කෙනෙක්ද? බොහෝ දෙනෙක් මේ පැමිණිල්ල කරනවා. අද කාලේ ගෙදර දොර වියදම් වන හාල්, තුනපහ, එළවලු, පලතුරු , මස් මාළු වලට සාමාන්‍ය පවුලක් උපයන මුදලින් 60% කට වඩා වැය කරනවා. උපයන්නේ හොඳින් කන්න බොන්න. ඉතින් රසට ගුනට ආහාර පාන ගැනීම, ඔබේ සෞක්‍ය ආරක්ෂාව ගැන සැලකිලිමත් වීම යන කාරනා සම්පූර්ණ කර ගන්නා අතරේ වියදම සැලකිය යුතු ආකාරයකින් අඩු කර ගන්න සරල ක්‍රම කීපයක් ඔබට කියා දෙන්න අපි තීරණය කළා.


1) හැමදේම සුපිරි වෙළඳ සැලෙන් ගන්න එක නවතමු

දන්නෙම නැතිව ඔබේ මුදල් වැය වෙන මාර්ගයක් තමයි හැමදේම සුපිරි වෙළඳ සලෙන් මිලට ගැනීම කියන්නේ. ඔබ කාර්ය බහුල නිසා සුපිරි වෙළඳසල් ඔබ තෝරා ගන්නවා ඇති. නමුත් එහිදී සේවකන්යට, AC එකට, ඇසුරුම් වලට, විදුලි බිලට මේ හැමදේටම මිල එකතු වෙන්නේ ඔබ ගන්න බඩු මල්ලෙන්. ඇතැම් ගුණාත්මක බව ගොඩක් සැලකිය යුතු දේවල් ගන්න සුපිරි වෙළඳසල හොඳයි. නමුත් හාල්, ළූණු, එළවලු, පලතුරු, මස්, මාළු, කරවල, තුනපහ, සබන්, දත් බෙහෙත් වගේ දේවල් වලට වැඩි මිලක් සුපිරි වෙළඳ සලෙන් අය කරනවා. ඒ දේවල් වලට පහසු මිලෙන් යුතු වෙනත් ස්තානයක් සොයා ගැනීම තමයි සුදුසු.
2) බඩු ලිස්ට් එකක් ගෙදරින් ගෙනියන්න

කොහෙට බඩු ගන්න ගියත් යන්න පළමුව අවශ්‍ය දේවල් කොලයක පැහැදිලිව ලියාගෙන යන්න. හිතේ මිම්මට බඩු ගන්න ගිහාම දකින දේ ගන්න සිදු වෙනවා. තව සමහර වෙලාවට ගෙදර තිබෙන දේවලුත් නැවත මිලට ගන්නවා. මාසෙට ඕනේ ප්‍රමාණය ගැන අවබෝධයක් ගෘහණිය වන ඔබට තිබිය යුතුයි. ලිස්ට් එකෙන් පිට දේවල් මිලට ගන්න එපා. අපි ගොඩක් විට සල්ලි නොදැනීම වියදම් කරන්නේ අනවශ්‍ය දේවල් වලටයි.
3) පළමුව තොග කඩේට

ඉස්සෙල්ලම තොග කඩේට යන්න. නැත්නම් විශේෂ ආර්ථික මධ්‍යස්ථානයක් තිබේ නම් එතනට යන්න. ඔබට මෙය හුරු නැතිව ඇති. නමුත් එක දවසක් ගිහාම ඔබට වැටහෙනවා එය ඔබ හිතන තරම් අමාරු වැඩක් නෙවෙයි කියල. ඔබ ගන්න ඕනේ බඩු සහ ප්‍රමාණය ගැන දන්නවා නම් ඉක්මනින් මිලට ගන්නත් පුළුවන්. හාල්, ළූණු, තුනපහ, පරිප්පු, අල, සබන් , දත් බෙහෙත්, සොයා මීට්, නූඩ්ල්ස්, ඉඳි ආප්ප පිටි, පාන්පිටි, ධාන්‍ය වර්ග වගේ දේවල් මිලට ගන්න ඇති ලාභම තැන් තමයි තොග කඩ කියන්නේ.
4) පොළ/ ආර්ථික මධ්‍යස්තානේ/ මාළු ලෑල්ල/ මස් කඩේ

මේ තැන් වල එළවලු, පලතුරු, පලා, මස්, මාළු වල මිල ගණන් ගොඩක් අඩුයි. ඒ වගේම අලුත්ම දේ ලැබෙනවා. ඔබට තෝරා ගන්නත් පුළුවන්. අමතක කරන්න එපා මෙතනින් ඔබේ මුදල් යන්නේ ලොකු ආයතනයකට නෙවෙයි. එදා වේල කන දුප්පත් සුළු වයාපාරිකයෙක්ට. එයින් ඔබ යහපත් ක්‍රියාවකට දායක වෙනවා. ගබඩා, ශීතකරණ, කඩකුලී නැති නිසා තමයි හොඳ අඩු මිලකට ඔබට බඩු ලැබෙන්නේ. සුපිරි වෙළඳ සලක රුපියල් 27 කට අලෙවි වන බිත්තරයක් මෙවැනි තැනක රුපියල් 14 වගේ මිලකට අලෙවි වෙනවා. බලන්න කොතරම් ලාභයක් ඔබට හැම භාණ්ඩයකින්ම අත් කර ගන්න පුලුවන්ද කියල.
5) ගොඩක් එකවර මිලට ගන්න

කාලය ඉතුරු කර ගන්න නම් මාසෙකට ගැනුම් වාර දෙකක් දක්වා පවුලකට සිල්ලර බඩු ගැනීම අඩු කළ හැකියි. එකම දේ ටිකක් ලොකු ශීතකරණයක් තිබීම අත්‍යවශ්‍යයි. සියල්ල නිසි ලෙස ගබඩා කර ගැනීමට. ඔබේ කාලය ඉතුරු වෙනවා. ඒ වගේම ලොකු ප්‍රමාන වලින් ගද්දි එකක මිල අඩුවෙන් ලැබෙන බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ඒ විතරක්ද බොහෝ තොග කඩවල් වල 10 ක් ගත්තොත් 3 ක් නිකම් දෙනවා වගේ සහන තිබෙනවා. එයිනුත් ඔබට ලොකු ඉතිරියක් ලැබෙනවා.
6) බඩු ගන්න යන වාර ගණන අඩු කරන්න

ඔබත් නිතරම බඩු ගන්න කඩේ යනවා නම් ඒ පුරුද්දෙන් වහාම මිදෙන්න. බඩු ගන්න යන යන වතාවට මොකක් හෝ අනවශ්‍ය දෙයක් මිලදී ගන්න එක අපේ ස්වභාවයක්. බොහෝ විට අපි මෙහෙම නිතර මිලට ගන්නේ කන දේවල්. උදාහරනෙකට හිතන්න ඔබ හාල් ගෙන්න යනවා. එවිට කඩේ තිබෙන ලස්සන කෙසෙල් ඇවරියක් දකිනවා. එයට ආස වෙලා ඒකත් අරගෙන එනවා. පහු වෙනිදා පොල් ගන්න යනවා එවිට හරි රස්නෙයි ඔබට හිතෙනවා අයිස් ක්‍රීම් එකක් ගේන්න. මෙන්න මේ විදිහට තමයි නිතරම බඩු ගන්න යද්දී නොදැනීම මුදල් අතින් දිය වෙලා යන්නේ. ඒ නිසා ඉහත කිවුවා වගේ මාසෙකට මිලදී ගැනුම් වාර දෙකකට වගේ බඩු ගැනීම සීමා කරන්න. මේ දේ පහසුයි. එකම දේ සැලසුම් සහගත කල්පනා කරන ගැහැනියක් වෙන්න ඕනේ.
7) පැකට් කර ඇති බඩු සහ කිරන බඩු

හාල්, සීනි, ධාන්‍ය වර්ග වගේ දේවල් පැකට් කර තිබෙද්දී පහසුයි තමයි. නිකමට කිරණ සීනි කිලෝ එකක සහ පැකට්ටුවක මිල සන්සන්ධනය කර බලන්න. ඔබට පෙනේවි රුපියල් 20 ක විතර වෙනසක්. මොකටද වැඩිපුර මුදල් ගෙවන්නේ?
8) බඩු ගන්න තනියම යන්න

පොඩ්ඩයි, මහත්තයි බඩු ගන්න එන එක එතරම් සුබ දෙයක් නෙවෙයි. පොඩ්ඩෝ කියන්නේ ඉතින් දකින දකින දේ ඉල්ලන උදවියනේ. ඒ වගේම සමහර මහත්තුරුත් එහෙමයි. එහෙම අයව හිමින් හලලා ඔබ තනිවම යන එක ඇඟට ගුණයි.



​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල