හික්‌කඩුවට මොකද වෙන්නේ?

views 2017-08-16 11:46:00 Sinhala_Article_New

හික්‌කඩුවේදී අප දකින බොහෝ මසුන් එම කොරල් පරයට ළඟාවී ඇත්තේ මහ මුහුදේ කිලෝමීටර දහස්‌ ගණනක්‌ පාවී ඒමෙන් පසුව විය හැක. මෙම මසුන්ගේ පැවැත්ම හුදෙක්‌ම කොරල් මත රඳා පවතී. එනම් කොරල්, සත්ව රාජධානියේ කොටසක්‌ ලෙස සැලකිය හැක. සත්ව රාජධානියේ කොටසක්‌ බවට පත්වන මෙම කොරල් විශේෂ වර්ධනය වීම සඳහා සමහරවිට අවුරුදු දහස්‌ ගණනක්‌ ගතවිය හැකිය. එබැවින් අප කොරල්පරයට අද සිදු කරන හානිය මකා ගැනීමට අවුරුදු දහස්‌ ගණනක්‌ ගතවිය හැක.

හික්‌කඩුව ජාතික උද්‍යානය

ශ්‍රී ලංකාවේ ප්‍රථම සාගරික ජාතික උද්‍යානය වන්නේ හෙක්‌ටයාර 102 කින් සමන්විත හික්‌කඩුව ජාතික උද්‍යානයයි. ගොඩබිම පවත්නා ජාතික උද්‍යානයක්‌ මෙන් මායිම් පැහැදිලිව දිස්‌වූයේ නැති වුවද බෝයාවල් යොදාගෙන මායිම් ලකුණු කරගත හැකිවනු ඇත. වනජීවීන් ලෙස කොරල්වල වටිනාකම හඳුනා ගත් වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව විසින් කොරල්වල ආරක්‌ෂාව උදෙසා 1979 වර්ෂයේ මැයි 18 වැනි දින හික්‌කඩුව කොරල්පර ප්‍රදේශය, හික්‌කඩුව අභයභූමිය ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබීය. දිය නෑම, කොරල්පර නිරීක්‌ෂණය, වීදුරු පතුල් බෝට්‌ටු ධාවනය හා කිමිදීම ආදී විනෝදාස්‌වාදී කටයුතු නිරන්තරයෙන් සිදුවීමත්, එම ක්‍රියාකාරකම්වලින් කොරල් පරිසර පද්ධතියට සිදුවන හානි අවම කිරීමේ අරමුණින් මෙම අභය භූමිය, 1988 වර්ෂයේ අගෝස්‌තු 14 දින ස්‌වභාව රක්‌ෂිතයක්‌ ලෙස ප්‍රකාශයට පත් කර ඇත. එමඟින් හික්‌කඩුව කොරල්පරවල සංරක්‌ෂණ තත්ත්වය ඉහළ නංවා කොරල්වල ආරක්‌ෂාවට වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව උත්සාහ කර ඇත.

මේ අතර 1998 වර්ෂයේදී කොරල්පර එල්නිනෝ (El Nino) ආචරණය වැනි කාලගුණික විපර්යාසයන්ට ගොදුරුවීය. කොරල්පර බොහොමයක්‌ අවර්ණ විය. කොරල්පර මිය යනු ලැබීය. සංචාරකයන් වැඩි වශයෙන් හික්‌කඩුවට ඇදී ඒමත් සමඟ කොරල්පරවල විනාශය තවදුරටත් උග්‍ර අතට හැරිණි. එහෙයින් සංරක්‌ෂණ තත්ත්වය තව දුරටත් ඉහළ නංවමින් 2002 වර්ෂයේ සැප්තැම්බර් මස 19 දින හික්‌කඩුව, ජාතික උද්‍යානයක්‌ ලෙස ප්‍රකාශයට පත් කරණු ලැබීය. ඒ අනුව වනජීවී සංරක්‌ෂණ අධ්‍යක්‌ෂ ජනරාල් හෝ ඔහු විසින් බලය පවරනු ලබන නිලධාරියකු විසින් නිකුත් කරණු ලැබූ බලපත්‍රයක්‌ නොමැතිව හික්‌කඩුව ජාතික උද්‍යානයට ඇතුළුවීම නීති විරෝධී කටයුත්තක්‌ වනු ඇත. එසේ ඇතුළුවිය හැක්‌කේ ද හුදෙක්‌ වනජීවීන් නිරීක්‌ෂණය හා පර්යේෂණ කටයුතු වෙනුවෙන් පමණි.

ශ්‍රී ලංකාවේ කොරල්පර

ශ්‍රී ලංකාවේ භූමි ප්‍රදේශය වර්ග කිලෝමීටර 65,610 ක්‌ වුවද ශ්‍රී ලංකාව හිමිකම්පාන සාගරික ප්‍රදේශය වර්ග කිලෝමීටර් 230,000 කි. මහාද්වීපික තටාකයේ ප්‍රමාණය වර්ග කිලෝමීටර් 31,000 ක්‌ වන අතර මධ්‍යන්‍ය ගැඹුර මීටර 66 ක්‌ වනු ඇත. නිරක්‌ෂයේ සිට අක්‌ෂාංශ 30 ක්‌ උතුරටත් අක්‌ෂාංශ 30 ක්‌ දකුණටත් අතර කලාපයේ කොරල්පර වර්ධනය වේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ ද කොරල්පර දක්‌නට හැකිය. ලෝකයේ පවතින වැඩි ඵලදායීතාවයක්‌ ඇති පරිසර පද්ධතියක්‌ ලෙස කොරල් පර හැඳින්විය හැක. ශ්‍රී ලංකාවේ කොරල්පර ව්‍යාප්තිය සලකන කල්හි, ඒවායේ ව්‍යාප්තිය අම්බලංගොඩ-මාතර, තංගල්ල-රැකව, මහා රාවණ-කුඩා රාවණ, මඩකලපුව-පාසිකුඩා-කල්කුඩා, ත්‍රිකුණාමලයේ නිලාවේලි-කුච්චවේලි, පේදුරුතුඩුව-ඩෙල්ප්ට්‌, මන්නාරම-කල්පිටිය යන වෙරළ තීරයන්හි ප්‍රමුඛව දැකගත හැකිවනු ඇත.

ලෝකයේ හිරිගල් පර/කොරල් පර ඒවායේ පිහිටීම අනුව, ගැටි කොරල්පර, බාධක පර හා අතෝල පර ආදී වශයෙන් කොටස්‌ 03 කට බෙදා වෙන් කළ හැක. ගැටි කොරල්පර (Fringing Reef) වෙරළට ඉතා ආසන්නයේ නොගැඹුරු සාගර ප්‍රදේශයන්හි පිහිටා ඇත. ගැටි කොරල්පරවල ව්‍යාප්තිය ශ්‍රී ලංකාවේ වැඩිවශයෙන්ම ඇත්තේ ගැටි පරයන් වන අතර ඒවා හික්‌කඩුව ජාතික උද්‍යානයේදී දක්‌නට ලැබේ. සාමාන්‍යයෙන් බාධක පරයක්‌ (Barrier Reef) ගොඩබිමට ඉතා ඈතින් පිහිටා ඇත. වෙරළ හා පරය අතර කලාපයේ ගැඹුරු හා පළල කලපුවක්‌ බිහිවී ඇත. එම කොටසේ ද කොරල් වර්ධනය වන අතර එය ඇතුළත පරය (Inner Reef) නමින් හැඳින්වේ. ලෝකයේ විශාලතම බාධක පරය ඕස්‌ටේ්‍රලියාවේ පිහිටා ඇති අතර, එය මහා බාධක පරය (Great Barrier Reef) නමින් හැඳින්වේ. ශ්‍රී ලංකාවේ මන්නාරම ආශ්‍රිතව වාන්කලෙයි හා වැලිපර අභය භූමිය බාධක පර සඳහා කදිම උදාහරණවේ. අතොල පර (Atolls) මහාද්වීපවලින් ඉතා ඈත පිහිටා ඇත. මේවා හිරිගල් දූපත්/කොරල් දූපත් ලෙසද හැඳින්වේ. කොරල් පර රවුමක ආකාරයට නිර්මාණයවේ. මෙම රවුම මැද ඉතා ගැඹුරු කලපුවක්‌ දක්‌නට ලැබේ. අතොල පරවලින් කුඩා දූපත් නිර්මාණයවේ. අතොල කොරල් පර ශ්‍රී ලංකාවේ දක්‌නට නොලැබෙන අතර මාලදිවයින් දූපත් කදිම උදාහරණයක්‌වේ.

ශ්‍රී ලංකාවේ කොරල්පර බොහොමයක්‌ම පිහිටා ඇත්තේ වෙරළේ සිට කිලෝමීටර 40 ක්‌ පමණ දුරින් වන අතර මත්ස්‍ය නිෂ්පාදනයට විශාල දායකත්වයක්‌ ද එම පරවලින් සැලසේ. අනෙක්‌ අතට කොරල් මීටර 50 ක්‌ පමණ දක්‌වා ගැඹුරු මුහුදේ දක්‌නට ලැබේ. මෙරට පවත්නා කොරල් ආවරණයෙන් සජීවීභාවය 10%ක්‌ පමණවේ.

කොරල්පරයක්‌ යනු කුමක්‌ද?

කොරල්පරයක්‌ ආරම්භ වන්නේ ඉතා කුඩා පොලිප් ජීවියකුගෙනි (බුහුබාවා). මෙම කුඩා ජීවියා සාගර ජලයේ පාවෙමින් සිට ඉතා තද මතුපිටක්‌ (ගල් තට්‌ටුවක්‌) හමුවූ විට එහි පදිංචිවේ. මෙම බුහුබාවා දෙමව්පිය (Parent) කොරල් ජීවියා ලෙස හැඳින්වේ. මෙම ජීවියා ඉක්‌මනින් තම සැකිල්ල නිර්මාණය කිරීම ආරම්භ කරයි. කුඩා බුහුබාවන් දෙමවුපිය බුහුබාවාට බද්ධ වෙමින් වර්ධනය වේ. අවසාන වශයෙන් ඉතා විශාල ප්‍රමාණයක්‌ වූ බුහුබාවා ඝනාවාස (Colony) ඇතිවේ. ඇතැම් විට බුහුබාවාගේ බීජාණු ජලයේ පාවෙමින් ගොස්‌ තවත් කුඩා බුහුබාවාන් හෝ කොරල්පර නිර්මාණය කෙරේ. බුහුබාවා මියගිය ද බුහුබාවාගේ සැකිල්ල ඉතිරිවේ. එම සැකිල්ල මත වෙනත් ජීවින්ට ද වර්ධනය විය හැක. අවුරුදු ගණනාවක්‌ ගිය කල එය කොරල්පරයකි. බුහුබාවා සාගර ජල ප්‍රවාහ මඟින් රැගෙන එන ඉතා කුඩා ඇල්ගී වර්ග ආහාරයට ගනී. එමෙන්ම කුඩා සතුන්ද අල්ලා ගනී.

ඉතාම වැදගත් ආහාර ගැනීමේ ක්‍රමය වන්නේ තම ශරීරයේ පටක තුළ පවතින ඇල්ගී මඟින් නිෂ්පාදනය කරන ආහාර ලබා ගැනීමයි. ඇල්ගාව සූර්යා ලෝකය යොදා ගෙන ප්‍රභාසංස්‌ලේෂණය සිදුකරයි. බුහුබාවා එම ආහාරවලින් (පිෂ්ටය) කොටසක්‌ ලබා ගනී. ඇල්ගාවට අවැසි ආරක්‌ෂාව බුහුබාවා ශ්‍රාවය කරන සැකිල්ලෙන් සැලසේ. මෙම සම්බන්ධතාවය සහජීවනයකි- සහජීවී සංගමයකි (Symbiosis).

කොරල් වර්ග

කොරල්වල ස්‌වභාවය අනුව හා පෙනුම අනුව තද ස්‌ථරයක වර්ධනය වෙමින් පිටතින් සැකිල්ලක්‌ නිර්මාණය කරන කොරල්, දෘඪ කොරල් (Stony coral/hard coral) ලෙසත් සැකිල්ලක්‌ නිර්මාණය නොකරන කොරල්, මෘදු කොරල් (Soft Coral) ලෙසද හැඳින්වේ. දෘඪ කොරල්, ඇඟිලි හැඩැති (Finger coral), මොළය හැඩැති (Brain coral), හතු වැනි (Mushroom
coral), ටියුබ් හැඩැති (Tube coral), ගෝන අං හැඩැති (Stag horn coral), හා ගෝවා කොළ (Cabbage coral) හැඩැති ආදී වශයෙන් අප පරිසරයේ දක්‌නට ලැබෙන ද්‍රව්‍ය හා ශරීරාංගවල පෙනුම සැලකිල්ලට ගෙන නම් කිරීමකට ලක්‌ කෙරේ. මෘදු කොරල්, රළ පහරවදිනවිට ඉතා පහසුවෙන් රළත් සමඟ පැද්දෙන අතර මේවා ද ඒවායේ හැඩයන් අනුව නම් කෙරේ. නිදසුන් ලෙස මුහුදු අවාන (Fan coral), පඳුරු සහිත කොරල්, මුහුදු පිහාටු (Sea Feather coral) ආදී වශයෙන් දැක්‌විය හැක. මෙම කොරල් ශ්‍රී ලංකාව ආශ්‍රිතව බහුලව දක්‌නට නොලැබෙන අතර කැරිබියන් ප්‍රදේශවල බහුලව දක්‌නට ලැබේ.

ස්‌වභාවික කොරල් විනාශය

කොරල්පර විනාශයට ස්‌වභාවික මෙන්ම මනුෂ්‍ය ක්‍රියාකාරකම් ද හේතුවේ. 1978 දී ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ ඔස්‌සේ හමා ගිය දරුණු කුණාටුව නිසා එම වෙරළ තීරයේ සමහර ස්‌ථානවල තිබූ කොරල්පරවලට හානි සිදුවිය. ත්‍රිකුණාමලය හා මඩකලපුව ආශ්‍රිතව ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළේත් මන්නාරම ප්‍රදේශයේත් තාරකා මසුන් (Star fish) හේතුවෙන් කොරල්පර විනාශයක්‌ දැකගත හැකිය. මෙම ජීවීන් විසින් කොරල්පරවල වෙසෙන බුහුබාවන් උරා බීමෙන් කොරල් පර විනාශයට පත් කෙරේ.

ශ්‍රී ලංකාවේ හික්‌කඩුව ජාතික උද්‍යානයේ කිලෝමීටරක්‌ පමණ ඈතට කොරල්පර පිහිටා ඇත. එම කොරල්පර උතික්‌ෂිප්ත වීමෙන් එනම් ගොඩබිම යම් කාලයකදී උස්‌වීමෙන් හෝ මුහුදු මට්‌ටම පහළ යැමෙන් විනාශයට ලක්‌වී ඇත. එහිදී කොරල්පර විනාශවන්නේ කොරල්පර වර්ධනයට අවැසි පරිසරාත්මක සාධක වෙනස්‌ වීමෙනි. ලෝක දේශගුණික විපර්යාස හේතුවෙන් සාගර දියවැල් උණුසුම්වීමක්‌ සිදුවේ. මෙම තත්ත්වය පැසිපික්‌ සාගරය ආශ්‍රිතව දැක ගත හැකිය. ඒ හේතුවෙන් කොරල්පර අවපැහැ ගැන්වීමත් කොරල් පර මිය යාමත් සිදුවේ.

මානව ක්‍රියාකාරකම් හා විනාශය

හික්‌කඩුව වෙරළ තීරය, බොහෝ විට සංචාරක ගමනාත්තයකි. වාර්ෂිකව හික්‌කඩුව වෙරළ තීරයට පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයන් සංඛ්‍යාව ලක්‌ෂ ගණනකි. දිය නෑම, කිමිදීම හා වීදුරු පතුල් බෝට්‌ටුවල නැඟී කොරල් නැරඹීම, සංචාරක ක්‍රියාකාරකම් අතර ප්‍රමුඛවේ. පරිසර හිතකාමීන් විසින් සටහන් කරන පරිදි, වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවේ පාලනයකින් තොරව හුදෙක්‌ මුදල් ඉපැයීමේ පරමාර්ථයෙන් හා ඔවුන් විසින් සිදුකෙරෙන විනාශකාරී ක්‍රියාකාරකම් පිළිබඳ අවබෝධයකින් තොරව බෝට්‌ටුකරුවන් විසින් කොරල්පරවලට දැඩි හානි සිදු කෙරේ. කොරල් පෙන්වීමේදී කොරල් මත බෝට්‌ටු නතර කිරීමෙන් හා පරවල වදින ලෙස ඔවුන් විසින් බෝට්‌ටු ධාවනය කෙරේ. තවත් විටෙක පරයකට නැංගුරම්ලා බෝට්‌ටු නතර කෙරේ. සංචාරකයන් වැඩි වශයෙන් ඇදී එන කාලසීමාවේදී (Season) දිනකට බෝට්‌ටු වාර 100 ක්‌ පමණ ක්‍රියාත්මක වන අතර එම කාලසීමාවේදී හා රජයේ නිවාඩු දිනවලදී කොරල්පර සැලකිය යුතු ලෙස විනාශයට ලක්‌වේ. ඇතැම් විටෙක සංචාරකයෝ කොරල්පර මත ඇවිදිති- සංචාරයේ ස්‌මාරකයක්‌ ලෙස කොරල්පර කොටසක්‌ කඩා ගනිති.

ඇතැම් දිනවල හික්‌කඩුව මුහුදේ අශූචි හමුවේ. හික්‌කඩුව ආශ්‍රිත හෝටල්වලින් අශූචි මුහුදට යෑවීමක්‌ නිසා මෙය සිදුවී නොහැකිද? ඝන අපද්‍රව්‍ය හා දියරමය අපද්‍රව්‍ය මුහුදට මුසු කිරීමක්‌ විය හැකි නොවේද? වෙරළ තීරයේ කැළි කසළ මුහුදට එකතුවීමක්‌ද සුලබව දැකිය හැක. වීදුරු පතුල් බෝට්‌ටුවලින් හා හික්‌කඩුව ධීවර වරායෙන් නිරන්තරයෙන් භූමිතෙල් ඇතුළු ඉන්ධන හා ලිහිසි ද්‍රව්‍යයන් මුහුදු ජලයට මුසුවීමක්‌ද සිදුවේ.

කොරල් විශේෂ

ශ්‍රී ලංකාවේදී දෘඩ කොරල් විශේෂ 183 ක්‌ පමණ හමුවන අතර ඔවුන් ගණ 68 කට පමණ අයත්වේ. කොරල් අයත් වන කුල අතර Acroporidae" Faviidae"
Poritidaeyd Pocilloporidae යන කුල ප්‍රමුඛය. ජාතික ජලජ සම්පත් නියෝජිතායතනය (NARA) විසින් සිදු කරණු ලැබූ පර්යේෂණයන් අනුව කොරල් හා කොරල් ආශ්‍රිතව වෙසෙන විශේෂ 400 ක්‌ පමණ හඳුනා ගෙන ඇත. කොරල් පර ආශ්‍රිත සමනල මත්ස්‍ය (Butterfly fish) විශේෂ 35 ක්‌ පමණද ශ්‍රී ලංකාවෙන් වාර්තාවේ. තවද කොරල් ආශ්‍රිතව පොකිරිස්‌සන්, ඉස්‌සන්. කකුළුවන්, මුහුදු තෘණ හා ඇල්ගී වර්ග, ඩොල්පින්වරුන්, තල්මසුන්, මෝරුන් හා කැස්‌බෑවුන්ද වාර්තාවේ. මුහුදු අශ්වයා, කොළ කිච්චා, මුතු ගිරවා, රුවල් කාරයා, කහ ඉරි නාම්බා, මඩුවා, කටු පේත්තයා, නිල් ගිරවා, පොල් අත්තා, නිල් පනාවා, දාර පේත්තයා, අම්බර දඬු ගිරවා, ගිනි මහා හා මිනිමුතු මෝරා යන මසුන් සුලබය. තවද කොරල් ආශ්‍රිත පරිසර පද්ධතියේ උකුසු හොට කැස්‌බෑවාද (Hawksbill turtle) බොහෝ විට හමුවේ.

කොරල් පරවල වැදගත්කම

කොරල් පර විවිධ මත්ස්‍ය වර්ගයන්, ඉස්‌සන්, පොකිරිස්‌සන් ඇතුළු විවිධ ජලජ ජීවීන්ට ආහාර සහ වාසස්‌ථාන සපයන පරිසර පද්ධතියකි. එසේම මසුන් ඇතුළු ජීවීන්ගේ බෝවන ස්‌ථානයකි. සාගරයට අවැසි ආහාර දාම ක්‍රියාත්මකවේ. කොරල්පර සමුද්‍ර ඛාදනය අඩු කරන බාධකයකි. කොරල්පර ආශ්‍රිත පරිසර පද්ධතිය මසුන් ඇල්ලීමට සුදුසු ප්‍රදේශයක්‌ ලෙස ද වැදගත් වේ. සෞන්දර්ය වඩවන ප්‍රදේශයන් ලෙස ක්‍රියා කරන කොරල්පර සංචාරක කර්මාන්තයට වැදගත් වන අතර එමඟින් විදේශ විනිමය උපයා ගැනීමට හැකිවනු ඇත. අනාගත පර්යේෂණයන්ට හා ජලජ ජීවී සමීක්‌ෂණයන්ට ද කොරල්පර වැදගත් පරිසර පද්ධතියකි.

කොරල් පර ආරක්‌ෂාව

පර්යේෂණයන්ට අනුව හික්‌කඩුවේ කොරල් ආවරණය, වාර්ෂිකව සැලකිය යුතු ලෙස අඩුවීමේ ප්‍රවණතාවයකට ලක්‌වී ඇත. එයට මූලික හේතුව වන්නේ බෝට්‌ටු නැංගුරම්ලෑම බවට හඳුනාගෙන ඇත. කොරල් පරවල ආරක්‌ෂාව සඳහා මේ වන විට වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව විසින් කොරල්පර 20 කට වඩා වැඩි ගණනක්‌ රක්‌ෂිත ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කර ඇත. හික්‌කඩුව ජාතික උද්‍යානය, පරෙවි දූපත ජාතික උද්‍යානය හා වැලිපර අභය භූමිය කදිම නිදසුන්වේ.

ශ්‍රී ලංකාවේ මුහුදු කලාප කළමනාකරණ සැලසුම්, වෙරළ සංරක්‌ෂණ පනත, ජාතික පාරිසරික පනත, ධීවර ආඥා පනත හා වනසත්ව හා වෘක්‌ෂලතා ආරක්‌ෂක ආඥා පනත යන පනත් මඟින් වෙරළ කලාපයත් එහි වනජීවී සම්පතක්‌ වන කොරල් හා මත්ස්‍යයන් සංරක්‌ෂණයටත් අවැසි නීති රෙගුලාසි හා මාර්ගෝපදේශ ලබාදීමක්‌ සිදුකෙරේ.

ඩිස්‌කෝ දැල්, කොරල්පර ආශ්‍රිතව වෙසෙන මසුන් හා පොකිරිස්‌සන් ඇල්ලීමට භාවිතාවේ. මේ මඟින් පර ආශ්‍රිත මුහුදු පැළෑටි සහ කොරල් කැඩී විනාශවීමක්‌ සිදුවේ. ඇතැම් මත්ස්‍ය දැල් පත්ල සූරාගෙන යා හැකි දැල්වේ. මේ මඟින් කොරල්පර කැඩීයැමත් මුහුදු පැලෑටි හා මත්ස්‍යයන් විනාශ වීමත් සිදුවේ. මොක්‌සි දැල් භාවිතයේදී ඒවා කොරල්පරයක්‌ වැසෙන සේ එලා යකඩ කූරකින් කොරල් කඩා මසුන් දැලට පටලවනු ලැබේ. විශේෂයෙන්ම පිටරට යෑවීම සඳහා අලංකාර මසුන් ඇල්ලීමට මෙම ක්‍රමය භාවිතා කරයි.

ඩයිනමයිට්‌ භාවිතා කර මසුන් ඇල්ලීම විනාශකාරී ක්‍රියාවකි. එමඟින් ලොකු කුඩා සියලු ජීවීහු විනාශ වෙති. ඩයිනමයිට්‌ භාවිතය නිසා ඇතිවන කම්පනය මඟින් කොරල්පරද දෙදරා ගොස්‌ එහි ස්‌ථාවරත්වයට හානි පැමිණේ. පාරම්පරිකව ගොඩනැඟිලි කර්මාන්තයට අවශ්‍ය කෙරෙන හුණු ලබාගැනීමට කොරල්පර කැඩීම සිදුකෙරේ. අකුරල ප්‍රදේශයේ කොරල්පරය විනාශ වී ඇත්තේ මේ හේතුවෙනි. වසරකට ටොන් 18000 ක්‌ පමණ වන හුණු ලබා ගනුයේ කොරල් විනාශයෙනි. වනාන්තර එළි පෙහෙළි කිරීමත් සමඟ රොන් මඩ ගංඟා හරහා කොරල්පර වෙත ගලා එයි. ඒවා තැන්පත් වී කොරල්පර විනාශවේ.

හික්‌කඩුවේ ධීවර වරාය පිහිටුවීම හා ජල බාධක (ආඑeර ඉරුaන) ඉදිකිරීම හේතුවෙන් හික්‌කඩුව කොරල්පර ආශ්‍රිතව වැලි තැන්පත් වීමක්‌ සිදුවේ. එය අඩි ගණනකි. ස්‌වභාවිකව උතුරු දෙසට ඇදී යායුතු වැලි මෙලෙස තැන්පත් වීමක්‌ සිදුවී ඇත. 2004 සුනාමියත් සමඟ මෙරට කොරල්පරවලට ස්‌වාභාවිකව මරු පහරක්‌ වැදිණි. එනම් කොරල්පර කැඩී බිඳී යාමක්‌ සිදුවූ අතර වැඩිවශයෙන් කොරල්පර සඟවමින් වැලි තැන්පත් විය.

කොරල්පර සංරක්‌ෂණය

ලෝකයේ පවතින සෑම මුහුදකම කොරල්පර වර්ධනය වන්නේ නැත. කොරල්පර වර්ධනයට සුදුසු විශේෂිත පරිසර පද්ධතියක්‌ ඇති සාගරවල පමණක්‌ කොරල්පර වර්ධනයවේ. එනම් සාගර ජලයේ උෂ්ණත්වය සෙන්ටිගේ්‍රඩ් අංශක 20-30 අතර පරාසයක වීම, සාගර ජලයේ ලවණතාවය කොටස්‌ දහසට පංගු 30-35 අතර නොවෙනස්‌ව පැවතීම, සුර්යාලෝකය හොඳින් සාගර පත්ලට ලැබීම හා සාගර පත්ල බුහුබාවන්ට පදිංචිවීමට සුදුසු පරිසරයක්‌ වීම යන මූලික ගුණාංග බලපානු ඇත. මිනිස්‌ ක්‍රියාකාරකම් හා ස්‌වභාවික හේතූන් මඟින් මෙකී පරිසර තත්ත්වයන් වෙනස්‌ කෙරෙන අතර එමඟින් කොරල්පර විනාශයට ලක්‌වනු ඇත.

හික්‌කඩුව කොරල්පර පරිසර පද්ධතියේ තිරසාරභාවය නැවත ළඟා කර ගැනීමට අවම වශයෙන් එහි 30%-40% ප්‍රමාණයකින් වත් එම කොරල්පර පරිසර පද්ධතිය මුල් තත්ත්වයට පත්විය යුතුය. ඒ සඳහා අප ක්‍රියාත්මක විය යුතුය. කොරල්පර ආරක්‌ෂාවට හෝ ඒවායේ සංරක්‌ෂණයට මෙරට පවත්නා නීති රීති හා අණ පනත් ප්‍රමාණවත්ය. සිදුවී ඇත්තේ ඒවා ක්‍රියාත්මක නොකිරීම හා ඵලදායී ලෙස ක්‍රියාත්මක නොකිරීමයි.

සංචාරක කර්මාන්තය මෙරට ආර්ථික සංවර්ධනයට සැලකිය යුතු දායකත්වයක්‌ සලසයි. හික්‌කඩුව ජාතික උද්‍යානයේද සංචාරක කටයුතු ක්‍රියාත්මක විය යුතුය. එම සංචාරක කටයුතු තිරසාර විය යුතුය. කොරල්පර අනාගතය වෙනුවෙන් ආරක්‌ෂා වුවහොත් පමණක්‌ හෙට දිනයේ ද සංචාරක කටයුතු ක්‍රියාත්මක කළ හැකි වනු ඇත. වනසත්ව හා වෘක්‌ෂලතා ආරක්‌ෂක පනත යටතේ වනජීවීන් වන කොරල්පර ආරක්‌ෂාවට අවැසි නීති සකසා ඇත. දෙපාර්තමේන්තුවේ පාලනයෙන් ගිලිහී ගිය වීදුරු පතුල් බෝට්‌ටු ධාවනය මේ වන විට වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවේ අනුදැනුම යටතේ සිදුවේ. එහෙත් වීදුරු පතුල් බෝට්‌ටු මඟින් කොරල්පර වෙත කෙරෙන හානිය වැළැක්‌විය යුතුය.

සංචාරකයන් දැනුවත් කිරීම අනිවාර්ය වනු ඇත. හොර රහසේ සංචාරක හෝටල් වෙතින් නිකුත් කෙරෙන අප ජලය හා ඝන අප ද්‍රව්‍ය සාගර ජලයට මුසුකිරීම වැළැක්‌විය යුතුය. දැනටමත් කොරල් මත තැන්පත් වී ඇති අපද්‍රව්‍ය හා වැලි ඉවත් කිරීමේ ක්‍රමවේදයක්‌ සැකසිය යුතුය. හික්‌කඩුව ධීවර වරාය ඉවත් කිරීම කළ හැකි නොවුවත් එමඟින් සිදුවන බලපෑම අවම කිරීමේ ක්‍රමවේදයන් සැකසීම වැදගත්ය. 2004 වර්ෂයේදී මෙරට ඇතිවූ සුනාමියට පෙරාතුව, හික්‌කඩුව ජාතික උද්‍යානයේ කලාපනයක්‌ පැවතිණි. දිය නෑම, කිමිදීම, පර්යේෂණ හා බෝට්‌ටු ධාවන ප්‍රදේශය වශයෙන් හික්‌කඩුව ජාතික උද්‍යානය කලාපනයකට යටත්කර එහි සංරක්‌ෂණ කටයුතු නැවත පනගැන්වීම කාලීන අවශ්‍යතාවයකි. අනවසර ධීවර කටයුතු හා පන්න ක්‍රමවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුය.

කොරල් නැවත වගා කිරීමද කොරල්පර නැවත ගොඩනැංවීමට ආධාරයකි. එහෙත් පරිසර තත්ත්වයන් යහපත් වන්නේ නම් ස්‌වාභාවිකව කොරල්පර නැවැත ලියලෙන බවට විද්‍යඥයන්ගේ මතයකි. කොරල්පර සංරක්‌ෂණය, පරිසර සංරක්‌ෂණයේ ඉතා වැදගත් අංශයකි. කොරල් පර ආශ්‍රිතව සිදු කෙරෙන පර්යේෂණ ප්‍රමාණවත් නොවනු ඇත. මෙම වැදගත් පරිසර පද්ධතිය හා ස්‌වභාවික සම්පත් සංරක්‌ෂණයට වැඩි වශයෙන් පර්යේෂණ සිදු කළ යුතු වන්නේය.

ඔබට වදනක්‌

පොතක මෙසේ සඳහන් විය( -මිනිසාට ආර්ථික වශයෙන් ඉමහත් ප්‍රයෝජනයක්‌ ලබා දෙන්නාවූ කොරල්පර ආශ්‍රිත මුහුදු ප්‍රදේශ එක්‌ අතකින් මිනිසාට සෞන්දර්යය ලබා දීමෙන් මානසික තෘප්තියක්‌ ලබා දෙන අතරම මුහුදු ජීවීන් රාශියකට රැකවරණය සැලසීමෙන් මනා පරිසර සබඳතාවක්‌ ද අත්කර දෙයි. එබැවින් මෙම සම්පත මනාව පරිහරණය නොකළහොත් අප සතු මහඟු සම්පතක්‌ අහිමිවීමක්‌ සිදුවිය හැක. ඒ අනුව හික්‌කඩුව රැකීමට අප උත්සුක නොවුවහොත් එය තවත් පොදු සුසාන භූමියක්‌ වනු නොඅනුමානයි.

'රකින්නට නම් අපේ ලෝකය රැකිය යුතුවෙමු සත්ත්ව ලෝකය'

2017 ඔක්‌තෝම්බර් 19-21 තෙදින පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයීය දෙවැනි අන්තර් ශික්‌ෂක කළමනාකරණ පර්යේෂක සමුළුව (ෂCඵR 2017) නිමිති කරගෙන පළ කරණු ලැබීය.

මහාචාර්ය වසන්ත රත්නායක
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කළමනාකරණ
අධ්‍යයන පීඨයේ පීඨාධිපති (හිටපු නියෝජ්‍ය වනජීවි සංරක්‌ෂණ අධ්‍යක්‌ෂ)

Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල