මේ වසරකට 50000 ක්‌ මැරෙන ජලභීතිකා කාලයයි

views 2017-05-12 10:26:00 Sinhala_Article_New

වෛරසය සාමාන්‍ය
සම හරහා ඇතුළු වන්නේ නැත
මතුපිට සුව වුවත් වෛරසය
ශරීරය තුළ ක්‍රියාත්මක විය හැක.

සුනඛයන් සම්බන්ධව මිනිස්‌ ප්‍රජාවගේ පවතින්නේ දැඩි ලෙන්ගතු බැඳීමකි. පරිණාමික ගමන් මඟ මුළුල්ලේ මිනිසාගේ සමීපතම සිව්පා මිතුරා ලෙස ගමන් ගත්තේ ද මේ සුනඛයන්මය. මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස ලොව පුරා බොහෝ නිවෙස්‌වල සුරතලයට ඇති කරන ප්‍රධාන සත්වයා බවට පත්ව ඇත්තේ ද සුනඛයන්ය. එහෙත් සුනඛයන් අතරින් මිනිසා වෙත බෝවෙන මාරාන්තික ජල භීතිකා රෝගය නිසා සුනඛයන් ඇතිදැඩි කිරීමට පෙර වරක්‌ දෙවරක්‌ නොව කිහිපවරක්‌ම සිතීමට කාලය පැමිණ තිබේ.

ජල භීතිකා රෝගය නිසා ඇතිවන බැරෑරුම් ස්‌වභාවය වන සත්‍ය සිදුවීම් දෙකකින් මේ ලිපිය ආරම්භ කිරීමට අදහස්‌ කරමි. ගාල්ල ප්‍රදේශයේ එක්‌තරා හිමිනමක්‌ තම විහාරස්‌ථානය ඉදිරිපිටින් ගමන් කරන දුම්රිය මාර්ගය අසල තුවාල වී වැටී සිටි කුඩා බලු පැටවකු සිත උපන් අනුකම්පාව නිසා තම විහාරස්‌ථානය තුළට කැඳවාගෙන ආහ. සත්ත්වයාගේ තුවාලවලට හිමිනම අතින්ම ප්‍රතිකාර කළ සේක. ටික කලක්‌ ගතවූ පසුව අදාළ හිමිනම හදිසියේ අසාධ්‍යව රෝහල් ගතකළ අතර වාට්‌ටුවට ඇතුල්කොට දින දෙකක්‌ ඇතුළත අපවත් වූහ. පශ්චාත් මරණ පරීක්‌ෂණයේදී අනාවරණය වූයේ මෙම ස්‌වාමින් වහන්සේට ජලභීතිකා රෝගය වැළඳී තිබූ බවයි. ස්‌වාමින් වහන්සේගෙන් ප්‍රතිකාර ලැබූ බලු පැටියාගේ තුවාල වල තිබී ජලභීතිකා රෝග වෛරසය ස්‌වාමීන් වහන්සේගේ ශරීරය තුළට ඇතුළත් වී ඇත.

ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක්‌ අසල්වැසි නිවසක සුනඛයකු විසින් සපාකන ලදී. එම නිවසේ තවත් සුනඛයන් කිහිපදෙනකු සිටි අතර සපා කෑමෙන් ලද තුවාල සුළු සීරීම් තුවාල වූ නිසා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල් ගත වූ මෙම කාන්තාවට ජලභීතිකා එන්නත ලබා නොදුන් අතර ඉදිරි දින 28 ක කාලය සපාකන ලද සත්ත්වයා නිරීක්‌ෂණයට උපදෙස්‌ දෙන ලදී. මෙම කාන්තාව අසල්වැසි නිවැසියන්ගෙන් සපා කන ලද සුනඛයා සම්බන්ධව නිතර විමසූ අතර ඔවුන් පවසා තිබෙන්නේ සත්ත්වයා හොඳින් සිටින බවයි. එහෙත් මාස දෙක තුනක්‌ ගතවූ තැන මෙම කාන්තාව හදිසියේ අසනීප වී ජලභීතිකා රෝග ලක්‌ෂණ පෙන්වා මිය ගියාය. මෙහිදී සිදුව තිබුණේ අදාළ කාන්තාව සපාකන ලද බලු පැටියා මුල් කාලයේදීම මියගොස්‌ ඇති නමුත් අසල්වැසියන් ඒ බව නොපවසා නිවසේ සිටින අනෙක්‌ බලු පැටවුන් පෙන්වා සිටීමයි. මේ නිසා අදාළ කාන්තාව ලද වැරදි තොරතුරු මත සපාකන ලද සත්වයා දින 28 කට වඩා වැඩි කාලයක්‌ නිරෝගීව සිටින බව වෛද්‍යවරුන්ට පැවසූ හෙයින් අවසානයේ ඇයට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය. මේ කතා දෙකෙන්ම පෙනෙනුයේ ජලභීතිකා රෝගය නොසිතන මොහොතක ක්‍රියාත්මක වී අපට මරණය ගෙනෙන බවයි.

ජලභීතිකා වෛද්‍ය විද්‍යාව තුළ (Rabies) නමින් හඳුන්වන අතර මෙහි ලතින් අර්ථය වන්නේ 'මෝඩකම' (Madness) යන්නයි. මෙය වෛරස රෝග ආසාදනයකි. මෙහි භයානක තත්ත්වය මොළයේ අභ්‍යන්තර පටක කොටස්‌වලට (Acute encephalitis) හෙවත් අභ්‍යන්තර පටක කොටස්‌ ආසාදනය ඇතිකිරීමයි. මෙය සත්ත්වයන්ගෙන් තවත් සත්වයන් අතරට බෝවන රෝගී තත්ත්වයක්‌ නිසා (Zoonotic) රෝගයක්‌ ලෙස හැඳින්වෙයි. ජලභීතිකා රෝගයෙන් පෙළෙන සත්ත්වයකු තවත් සත්වයකු සපා කෑමේ ප්‍රතිඵලයක්‌ ලෙස රෝගය පැතිර යයි. ජලභීතිකා රෝගය වැළඳුන පසුව මරණය අනිවාර්යයෙන්ම උරුම වන නිසා රෝගය ඇතිවීම වළක්‌වා ගැනීම ඉතා වැදගත් වේ. මෙම රෝගය මධ්‍ය ස්‌නායු පද්ධතියේ මොළයට සෘජුව බලපායි.

ජලභීතිකාව යන නම ඇසෙත්ම මහත් භීතිකාවක්‌ ඇතිවීම වැළැක්‌විය නොහැකි ය. ප්‍රචණ්‌ඩත්වය යන අර්ථය දෙන ලතින් තේරුමින් මෙය Rabie ලෙස ඉංගී්‍රසි භාෂාවෙන් හැඳින් වෙයි.

ජලභීතිකාව රේබීස්‌ (Rabies) නම් වයිරසය මගින් ඇති වෙයි. ලංකාව තුළ මේ රෝගයේ වාහකයන් ලෙස වනාන්තර තුළ වන මුගටියන් ක්‍රියා කරන අතර වෙනත් රටවල මෙහි ලා වවුල් විශේෂ ක්‍රියා කරයි. මේ සතුන්ගේ සපා කෑමෙන් රෝගය දඩාවතේ යන බල්ලන්ට බෝවෙයි. ගැඹුරට වන තුවාලය ඔස්‌සේ වයිරසය ශරීරයට ඇතුළු වෙයි. මීට අමතරව සීරුණු තුවාල, අපගේ ශරීරයේ ශ්ලේෂ්මල පටල (විශේෂයෙන් ඇස, උගුර අවට පටල) ආදී ප්‍රදේශ වයිරසය සහිත කෙළවලින් ලෙව කෑමෙන් ද රෝගය ඇති වෙයි.

මේ වයිරසය සාමාන්‍ය සම හරහා ඇතුළු වන්නේ නැත. රෝගකාරක වයිරසය ශරීරයට ඇතුළු වූ පසුව පළමුව එම ස්‌ථානයේ දී වයිරසය ගුණනය වෙයි. ඉන් අනතුරුව එය ආසන්නයේ පවතින චාලක ස්‌නායුවලට හෝ සංවේදක ස්‌නායු අන්තවලට ඇතුළු වන අතර මෙසේ ඇතුළු වූ වයිරසය ස්‌නායු වල අක්‌සනය දිගේ මධ්‍ය ස්‌නායු පද්ධතියට ඇතුළු වේ. එහි දී ස්‌නායු තුළ ඉතා විශාල වශයෙන් ගුණනය වන මේ වයිරස හේතුවෙන් සිදුවන්නේ මානසික තත්ත්වය වියවුල් වීම සහ මොළයේ ක්‍රියා අඩපන වීමයි. ස්‌නායු අතර වන උපාගම අතරින් වයිරසය මධ්‍ය ස්‌නායු පද්ධතියේ සිට විවිධ ස්‌නායු ඔස්‌සේ ගමන් කරමින් ඒවායේ ක්‍රියා අකර්මණ්‍ය කරයි.

මේ ස්‌නායු ඔස්‌සේ ගමන් කරන වයිරස කංකාල පේශි, හෘද පේශී, සහ අධිවෘක්‌ක ම-ජාවට බලපායි. මේ කාලය වන විට ෙ€ට ග්‍රන්ථිවලද ජලභීතිකාව වයිරසය ගුණනය වන අතර එය රෝගය තවත් කෙනකුට පැතිර යැමට ඉවහල් වෙයි. වයිරසය ශරීරගත වූ පසුව රෝග ලක්‍ෂණ ඇති වීමට ගත වන කාලය සපා කෑමට ලක්‌ වූ ස්‌ථානය අනුව වෙනස්‌ වේ. හිස, බෙල්ල , මුහුණ, අත සහ ඇඟිලි, ලිංගාශ්‍රිත ප්‍රදේශ, මුහුණේ ශ්ලේෂ්මල පටලවල හා සපාකෑම් වැඩි ගණනක්‌ (දත් පහරවල් දෙකකට වඩා වැඩියෙන්) පවතින විට එය වඩාත් අනතුරුදායක අවස්‌ථා ලෙස සැලකේ. සපා කෑමට ලක්‌ වූ ස්‌ථානයේ ස්‌නායු සංඛ්‍යාව, ඇතුළු වූ වයිරස සංඛ්‍යාව සහ මධ්‍ය ස්‌නායු පද්ධතියට සපා කන ලද ස්‌ථානයේ සිට පවතින දුර අනුව රෝග ලක්‌ෂණ පහළ වීමට ගත වන කාලය වෙනස්‌ වෙයි. හිස, ගෙල, මුහුණ, ප්‍රදේශයේ සපා කෑමක්‌ සිදුවන විට සතියකට අඩු කාලයක දී රෝග ලක්‌ෂණ ඇති වෙයි. පාදය වැනි දුරස්‌ථ ප්‍රදේශයක සපා කෑමක්‌ සිදු වූ විට ඇතැම් රෝග ලක්‌ෂණ ඇති වීමට වසරක්‌ පමණ කාලයක්‌ ගත විය හැකිය.

අපේ ඇතැම් දෙනා මෙවැනි සපා කෑම් සිදු වූ විට එහි තුවාලයට පමණක්‌ ප්‍රතිකාර කොට, තුවාලය හොඳ වූ පසුව ඒ ගැන නොසලකති. නිසි පරිදි එන්නත් ලබා නොගෙන සිටින්නන් තුළ ජලභීතිකාව වසර ගණනාවකින් පසුව මතු වන්නේ මේ නිසාය. කුඩා ළමයින්ට රෝග ලක්‍ෂණ ඉක්‌මණින් පහළ වෙයි. ජලභීතිකාවේ දී රෝග ලක්‍ෂණ ඇති වන්නේ කෙසේ දැයි මඳක්‌ විමසා බලමු. ආරම්භයේ උණ, සීතල ගතිය, හිසේ කැක්‌කුම, වෙහෙස ගතිය දැනීම, ආහාර අරුචිය, මාංශපේශී වේදනාව හා ආලෝකයට මුහුණ දීමට අපහසු වීම ආදී ලක්‍ෂණ ඇතිවෙයි. මේ රෝග ලක්‍ෂණ බොහෝ විට වෙනත් ශරීර පද්ධතියක (ශ්වසන, ආහාර මාර්ග හෝ මානසික) රෝග ලක්‍ෂණ පෙන්වන නිසා එය නොසලකා හැරෙයි.

ඉන් අනතුරුව ක්‍රමානුකූලව රෝග ලක්‌ෂණ වැඩිවීම සිදුවෙයි. මානසික අවපීඩනය, නින්ද නො යැම, ව්‍යග්‍රතාව  අවුල් සහගත බව, ඇඟපත හිරි වැටීම, වේදනාව හා බිය වීම වැනි ලක්‌ෂණ පහළ වෙයි. මේ තත්ත්වයෙන් අනතුරුව ජලභීතිකාව ආකාර දෙකකට වර්ග කළ හැකිය.

1. ප්‍රවේගකාරී ජලභීතිකාව (Furious Rabies)

2. නිද්‍රශීලී ජලභීතිකාව (Dumb Rabies)

1. මෙය වඩාත් සුලභ ආකාරයකි. ස්‌වයං සාධක ස්‌නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය වෙනස්‌ වීම නිසා ෙ€ටය ස්‍රාවය වීම වැඩී වීම, කිරි ස්‍රාවය, අධික ලෙස දහදිය දැමීම, රුධිර පීඩනය වෙනස්‌ වීම, මුත්‍රා පිටවීම වැඩිවීම සහ මොළයේ ආසාදන ආදිය ඇති වෙයි. මේ රෝග ලක්‍ෂණ සහිත පුද්ගලයෝ වතුර බීමට උත්සාහ කළත් උගුරේ මාංශ පේශිවල ක්‍රියාකාරිත්වය අකර්මණ්‍ය වීම නිසා එයට අකැමැති වෙති.

ජලය හෝ වෙන යමක්‌ පානය හෝ ගිලීම ප්‍රතික්‍ෂේප කරති. ශ්වසන පද්ධතියේ මාංශ පේශිවල ද ක්‍රියාකාරිත්වය අකර්මණ්‍ය වන අතර, බෙල්ලේ මාංශ පේශී ගැස්‌ම නිසා බෙල්ල පිටුපසට නැවෙයි. අවසානයේ සිහිය නැතිවීම, අධික ලෙස උණ ඇති වීම, අපස්‌මාරය වැනි ලක්‍ෂණ පහළ වීමත් හෘද ක්‍රියාකාරිත්වය බිඳ වැටීමත් සිදු වී මරණයට පත් වෙයි.

2. මෙහි දී ප්‍රධාන වශයෙන් ම සුෂුම්නාවට බලපාන අතර සපා කන ලද කොටසේ මාංශපේශීන් අඩපණ වීමක්‌ සිදුවෙයි. සංවේදක යාන්ත්‍රණයන් ද අක්‍රීය වෙයි. සපා කෑ ස්‌ථානයේ හිරිවැටීමක්‌ ඇති වන අතර උගුරේ මාංශපේශි අක්‍රීය වී මරණය සිදුවේ.

ජලභීතිකාව රෝගය වැළඳුණු මිනිසුන් ඉහත රෝග ලක්‍ෂණ පෙන්වන අතර රෝගය සහිත බල්ලන් හා බළලුන් හඳුනා ගැනීම ඉතා වැදගත් වෙයි. මෙහිදී ද ආකාර දෙකක සතුන් දැකිය හැකිය. සමහර සතුන් ආවේගශීලීව හැසිරෙන අතර ඇතැම් සත්තු නිද්‍රශීලී චර්මයක්‌ පෙන්නුම් කරති. ප්‍රවේගකාරී හැසිරීමක්‌ දක්‌වන බල්ලෝ කිසිදු හේතුවක්‌ රහිතව කඩා පැන බිරීමට සහ සපා කෑමට උත්සාහ කරති. අරමුණක්‌ නොමැතිව ඒ මේ අත ඉබාගාතේ දිවයති. උගේ කටහඬ වෙනස්‌ වෙයි.

අධික ලෙස කෙළ ස්‍රාවය සිදුවන අතර පසුව සිහි විකල්භාවයටත් මරණයටත් ලක්‌ වෙයි. මෙහි අනෙක්‌ ආකාරයේ දී බල්ලෝ ඉතා අලස බවක්‌ නිද්‍රdශීලීත්වයක්‌ දක්‌වති. හැකි පමණ අනෙක්‌ සතුන් ගෙන් ඈත් වී සිටීමට උත්සාහ ගනිති. දින තුනක්‌ වැනි කාලයක්‌ ඇතුළත මරණයට පත්වෙයි.

කිසියම් බල්ලෙකුගේ සපා කෑමට ලක්‌ වූ විට පළමුව ප්‍රථමාධාර ලෙස එම ස්‌ථානය හොඳින් සබන් සහ ජලයෙන් කිහිප වතාවක්‌ සේදීම කළ යුතුය. මෙහිදී මධ්‍යසාර, අයඩින් වැනි විෂබීජ නාශක ද භාවිත කළ හැකිය. ඉන් අනතුරුව රෝහලක්‌ වෙත ගොස්‌ අදාළ තුවාලය මාරාන්තික ද යන නිගමනය මත වෙන වෙනම එන්නත් ලබා ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතුය.

මතුපිට තුවාල සුව වූවත්, ශරීරය තුළ වයිරසය ක්‍රියාකාරී විය හැකි බැවින් එය මර්දනයට එන්නත් ලබා ගැනීම මේ නිසා වැදගත් වෙයි. සපා කන ලද බල්ලාට ජලභීතිකාව ඇතැයි සැක කරන සෑම විටම බල්ලා මරා උගේ හිස අදාළ රෝහලට බාර දෙන ලෙසත් ඉන් අනතුරුව හිස කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනට (MRI) එවන ලෙසත් උපදෙස්‌ දී ඇත.

ජලභීතිකාව දරන සතුන්ගේ මොළයේ විශේෂ කළු පැහැ ප්‍රදේශයක්‌ සොයා ගැනීම හෝ ප්‍රතිදේහජනක පරික්‍ෂා ක්‍රම මෙහි දී අනුගමනය කරනු ලැබේ. දැනට ලංකාව තුළ ජලභීතිකාවට එරෙහිව එන්නත් වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක වන අතර ගෘහස්‌ථ සුනඛයන් එන්නත් කිරීම මෙහි එක්‌ අදියරකි. බල්ලකු සපා කන ලද විට ප්‍රතිදේහ හෝ ප්‍රතිදේහජනක එන්නත් කිරීම දැනට බොහෝ රෝහල් වල ක්‍රියාත්මක වන අතර මෙහි දී විවිධ සාම්පල වර්ග හා ප්‍රමාණ සොයාගැනීම සිදු වෙයි. ජලභීතිකාව රෝගය වැළඳුණු පසුව එයට ප්‍රතිකාර නොමැත.

සපාකන ලද ස්‌ථානයේ සිට පර්යන්ත ස්‌නායු ඔස්‌සේ මධ්‍ය ස්‌නායු පද්ධතියට රෝගකාරක වෛරසය පැතිර යයි. රෝග කාරක වෛරසය මිනිසා තුළට ඇතුළු වූ පසුව රෝග ලක්‌ෂණ ඇති වීමට සමහර විට මාස ගණනාවක්‌ ගත වි හැක. මෙහිදී සපාකන ලද ස්‌ථානයේ සිට මධ්‍ය ස්‌නායු පද්ධතියට පවතින දුර අනුව රෝග ලක්‌ෂණ ඇතිවීමට ගතවන කාලය වෙනස්‌ වේ. නිදසුනක්‌ වශයෙන් මුහුණේ හෝ අතේ ඇඟිලි සපාකන ලද විට පාදයක්‌ සපාකෑමට වඩා වේගයෙන් රෝග ලක්‌ෂණ ඇතිවේ. රෝග කාරක වෛරසයට මධ්‍ය ස්‌නායු පද්ධතියට ඇතුළු වූ පසුව රෝග ලක්‌ෂණ ඇතිවන අතර මෙහිදී රෝගියාගේ ජීවිතය බේරා ගැනීම කළ නොහැකිය.

ජලභීතිකා රෝගයේ ආරම්භක රෝග ලක්‌ෂණ ලෙස ඇඟපත විඩාව, උණ, හිසරදය ඇතිවන අතර ඉන්පසුව තමාට පාලනය කරගත නොහැකි අන්දමේ අතපය ගැස්‌ම, චලනය ඇතිවේ. මානසික අවපීඩනය ඇතිවේ. ස්‌නායු අඩපණ වීම නිසා උගුරේ මාංශපේශි අක්‍රීය වීමෙන් උගුරෙන් පහළට කිසිවක්‌ ගමන් නොකිරීම සිදුවේ. මේ නිසා ජලය පානය අපහසු වේ. සාමාන්‍ය ව්‍යවහාරයේ ජලය දුටු විට බියක්‌ ඇතිවන බව පවසන්නේ මේ නිසාය. පසුව රෝගියා අඩපණ තත්ත්වයට පත්වී කෝමා (Coma) ස්‌වභාවයට අවතීර්ණ වේ. ජලභීතිකා රෝගයෙන් රෝගියා මිය යැමට බලපාන ප්‍රධාන හේතුව ස්‌වසනය අවහිර වීමය. සුනඛයන් ජලභීතිකාව රෝගය ඇති කරන ප්‍රධාන රෝග වාහකයක්‌ ලෙස ක්‍රියා කරන අතර ලොව පුරා මෙය මෙය ප්‍රතිශතයක්‌ ලෙස 97% ප්‍රමාණයකි.

අප්‍රිකානු හා ආසියානු රටවල ජලභීතිකා රෝගයට ගොදුරු වීමෙන් වාර්ෂිකව මියයන ප්‍රමාණය 55,000 කට අධික ප්‍රමාණයකි. උණුසුම් රුධිරය සහිත සත්වයන් තුළ රෝගියා ප්‍රධාන වශයෙන් වැඩි වර්ධනය වන අතර වවුලන්, වඳුරන්, නරියන්, ගවයන්, වෘකයන් හා මුගටියන් ආදී සත්ත්වයින් මගින්ද රෝගය පැතිර යයි. ගොවිපළ ඇතිකරන සත්ත්වයන්, වළසුන් ආදී සතුන් මගින් ද රෝගය පැතිර යයි. එසේ වුවත් ගෘහස්‌ථව හැසිරෙන සාමාන්‍ය ලේනුන්, ඌරන්, මීයන් හා හාවන් මගින් රෝගය පැතිර යැමක්‌ හෝ මිනිසාට රෝගය බෝවීමක්‌ සිදු නොවේ.

ජලභීතිකා රෝග වෛරසය ශරීරගතවී සති දෙකත් දොළහත් අතර කාලයේදී රෝග ලක්‌ෂණ ඇතිවන නමුත් සමහර අවස්‌ථාවලදී රෝග ලක්‌ෂණ ඇතිවීම වසර දෙකක්‌ තරම් දීර්ඝ කාලයක්‌ ගතවන අවස්‌ථා ද ඇත. ආරම්භයේදී පෙර සඳහන් කළ පරිදි ඇඟපත වේදනාව, හිසරදය රෝග ලක්‌ෂණ ලෙස ඇතිවන අතර ඉන්පසුව අතපය පණ නැතිවීම ඇතිවේ. මොළයේ ක්‍රියාකාරිත්වය වියවුල් වීම අවසන් අදියරයි. බිය, නින්ද නොයැම, මානසික වියවුල් ස්‌වරූපය, අසාමාන්‍ය චර්යා රටා දිස්‌වේ. කතා කිරීමට නොහැකි වීම, කෙළ ගිලීමට අපහසු වීම ඇතිවේ. මේ නිසා සෙම මුඛයෙන් ඉවතට පැමිණීමත් ජලයට බිය වීම හෙවත් (Hydrophobia) රෝග ලක්‌ෂණ ඇති වේ.

පළමු රෝග ලක්‌ෂණය ඇතිවී දින දෙකත් දහයත් අතර කාලයේදී මරණය අනිවාර්යෙන්ම උරුම වේ. ජලභීතිකා වෛරසය දිගින් නැනෝමීටර 180 ක්‌ පමණ වන අතර RNA) වර්ගයට අයත්ය. ආවරණ කොපුවක්‌ රහිත වෛරසයකි. මේ නිසා දේහයට ඇතුළුවන වෛරසය ඉතා ඉක්‌මනින් මධ්‍ය ස්‌නායු පද්ධතිය වෙත (Neurotropic) ගමන් කරයි.

ඉන්පසුව අනෙක්‌ අවයව වෙතට ගමන් කරන අතර වෛරසය ඒකරාශී වීම ෙ€ට ග්‍රන්ථි ආශ්‍රිතව සිදුවේ. මේ අනතුරුදායක ස්‌වභාවය වන්නේ සපාකෑම තුළින් වැඩිම වෛරස්‌ ප්‍රමාණයක්‌ ෙ€ටය සමග අපේ ශරීරයට ඇතුළු වීමයි.

රෝගී තත්ත්වය නීර්ණය කරගැනීමට (PCR) හෙවත් බහු අවයව නිපදවීමේ තාක්‌ෂණය, වෛරස මාධ්‍යයේ වගා කිරීම (Culture) සහ මරණයට පත්වූ සත්වයාගේ හෝ මියගිය පුද්ගලයාගේ හිසේ මොළය අන්වීක්‌ෂීය පරීක්‌ෂාවට ලක්‌කිරීම සිදුකරයි.

ජලභීතිකා රෝගයට සමාන රෝග ලක්‌ෂණ පෙන්වන තවත් රෝගී අවස්‌ථා කීපයක්‌ම පවතින බව මතකයේ තබාගත යුතුය. (Herpeies) පැපොල, පෝලියෝ ආදී රෝගී අවස්‌ථා නිදසුන්ය.

යම් පුද්ගලයකු ජලභීතිකා රෝගයෙන් පෙළෙන සත්ත්වයකු විසින් සපාකන ලදැයි සැකකරන අවස්‌ථාවකදී විශේෂ එන්නත් වැඩපිළිවෙළක්‌ දැනට ක්‍රියාත්මක වන අතර මෙය (Post exposure Prophylaxis) ලෙස හඳුන්වයි. මෙම වැඩපිළිවෙළේ ආරම්භය 1885 වර්ෂයේදී ලුවී පාශ්චර් විසින් අරඹන ලදීS. සපාකන ලද සත්ත්වයාගේ ස්‌වභාවය, සපාකන ලද ස්‌ථානය ආදිය මත පදනම්ව මෙම එන්නත් ලබාදීම සිදුවේ. එබැවින් සුනඛයෙකු සපාකන ලද විගස ඒ සම්බන්ධව කලබල නොවී සත්ත්වයා පිළිබඳව විමසිලිමත් වීම වැදගත්ය.

කෙසේ වුවත් ලංකාවේ විවිධ රෝහල්වල ජලභීතිකා රෝගය වළක්‌වා ගැනීමේ එන්නත ලබාදීම සම්බන්ධයෙන් විවිධ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන අතර මේ නිසා සුනඛයෙකු සපාකන ලද පුද්ගලයන් තීරණයක්‌ ගත නොහැකිව අසරණ වන අවස්‌ථා පවතී. මේ තත්ත්වය වළක්‌වා ගැනීමට බලධාරීන් මැදිහත් වී සැමටම පිළිගත හැකි පොදු ප්‍රතිපත්තියක්‌ සකස්‌ කිරීමත් සියලුම වෛද්‍ය නිලධාරීන් රෝගය පාලනය සම්බන්ධයෙන් විද්‍යාත්මක දැනුවත් කිරීමක්‌ සිදු කිරීමත් වැදගත් වේ.

වෛද්‍ය ජී. ජී. චමල් සංජීව
නියෝජ්‍ය දිස්‌ත්‍රික්‌ සෞඛ්‍ය සේවා අධ්‍යක්‌ෂ, හම්බන්තොට

සතියේ ලග්න පලාපල