දිනකට අපේ රට තුළ සාපරාධී ගබ්සාවන් දහසක්‌!

views 2017-03-20 10:43:00 Sinhala_Article_New

ගබ්සාවක්‌ යනු කුමක්‌දැයි පළමුව විමසා බලමු. ගර්භණී වූ ගර්භාෂය තුළ ඇති ගර්භ ද්‍රව්‍ය ඉවත් කිරීම නැතහොත් ඉවත් කිරීමට තැත් කිරීම (Removal/Evacuation) ගබ්සාවක්‌ ලෙස හැඳින්වෙයි. මෙහි දී ගර්භාෂයේ පවතින ගර්භ ද්‍රව්‍ය සම්පූර්ණයෙන් හෝ කොටසක්‌ හෝ ඉවත් කිරීම සිදු කළ හැකිය.

ශ්‍රී ලංකාවේ දණ්‌ඩ නීති සංග්‍රහයේ 303 සිට 307 දක්‌වා වගන්ති වෙන් වී පවතින්නේ ගබ්සාව වෙනුවෙනි. කායික හෝ මානසික ලෙස මවගේ ජීවිතය දැඩිලෙස අනතුරට පත්ව ඇති අවස්‌ථාවක තමාගේ ජීවිතය බේරා ගැනීමේ පරම අරමුණෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරයකුට පහසුකම් ඇති රෝහලක දී ගබ්සාවක්‌ කිරීමට (Therapeutic) ශ්‍රී ලංකාවේ නීතිය ඉඩ සලසා ඇත. මේ හැර අන් සෑම අවස්‌ථාවක්‌ම නීති විරෝධී ලෙස සැලකෙයි.

වෛද්‍ය විද්‍යාත්මකව හා අධිකරණමය කටයුතු සඳහා ගබ්සාව ආකාර දෙකකට අර්ථ දැක්‌වෙන බවද සඳහන් කළ යුතුය. ගර්භයට සති 28 සම්පූර්ණ වීමට පෙර ගර්භ ද්‍රව්‍ය ඉවත් වීම හෝ ඉවත් කිරීම ගබ්සාවක්‌ වන අතර, සති 28 ත්, දින සම්පූර්ණ වීමත් අතර කාලයේ දී ගර්භ ද්‍රව්‍ය ඉවත් වීම නොමේරූ දරු උපතක්‌ (Premature delivery) ලෙස වෛද්‍ය විද්‍යාවේ හැඳින්වෙයි. එහෙත් අධිකරණමය වශයෙන් ගර්භයට දින සම්පූර්ණ වීමට පෙර ඕනෑම අවස්‌ථාවක එය ඉවත් වීම (කාලය බලනොපායි) ගබ්සාවකි.

ගබ්සාව වර්ග දෙකකට බෙදා වෙන් කළ හැකිය.

1) නිතැත් ගබ්සාව (Spontaneous)

කාන්තාවෝ ගැබ් ගන්නා අවස්‌ථාවලින් 15% - 20% අතර ප්‍රමාණයක්‌ ස්‌වාභාවික ලෙස ගබ්සාවීම් වලට ලක්‌වෙති. කලලයේ යම් අසාමාන්‍යතාවක්‌ නිසා හෝ මවගේ යම් අසාමාන්‍යතාවක්‌ නිසා හෝ මෙසේ ස්‌වාභාවික ගබ්සාවන් සිදු වෙයි.

2) ප්‍රේරිත ගබ්සාව (Induced)

යම්කිසි බාහිර මැදිහත්වීමක්‌ නිසා ඇති වූ ගබ්සාවක්‌ මෙසේ හඳුන්වන අතර, මෙය චිකිත්සීය හෝ සාපරාධී ලෙස සිදු කළ හැකිය. මවගේ ජීවිතය බේරා ගැනීමට සිදු කරන ගබ්සාව චිකිත්සීය ගබ්සාව වන අතර, එසේ නොවන සෑම අවස්‌ථාවක්‌ම සාපරාධි ගබ්සාවක්‌ ලෙස හැඳින්වෙයි.

සංසේචනයේ ප්‍රතිඵලයක්‌ ලෙස සැකසුණු දරු කලලය ගර්භාෂයේ බිත්තියට සවි වන අතර, මෙය දරු පිළිසිඳ ගැනීමකි. මෙහි දී කලලයේ ගර්භාෂ බිත්තියට සවි වන කොටසත්, ගර්භාෂ බිත්තියේ ඊට සවි වන ආසන්න ස්‌ථරයත් එක්‌ වී වැදෑමහ හෙවත් කලල බන්ධය නිර්මාණය වෙයි. මව සහ කලලය අතර පෝෂ්‍ය ද්‍රව්‍ය ගමන් ගන්නේ මේ වැදෑමහ ඔස්‌සේය.

ස්‌වාභාවික ගබ්සාවන් වැඩි වශයෙන් සිදු වන්නේ පළමු මාස තුන ඇතුළත දීය. මෙහිදී සිදුවන්නේ ගර්භාෂ බිත්තිය සහ වැදෑමහ අතරට රුධිරය ගලා ඒමයි. මෙහි ප්‍රතිඵලය ලෙස ගර්භාෂ බිත්තිය හා කලල බන්ධය අතර සබඳතාව බිඳවැටෙයි. කලලයේ පෝෂණය බිඳවැටීම නිසා කලලය මියයයි. වහනය වන රුධිරය ගර්භාෂ කුහරය තුළට පතිත වී, යෝනි මාර්ගය හරහා පිටතට ගලායයි. මේ අනුව ගබ්සාවක මූලික ලක්‍ෂණය රුධිර වහනයයි.

කලලයේ වර්ධනය අත්හිටුවූ විට ගර්භාෂ බිත්තිය රටාවකට සංකෝචනය හා ඉහිල්වීම සිදුවෙයි. මෙමඟින් වේදනාවක්‌ ඇතිවන අතර මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස ගැබ්ගෙල විවෘත වී කැට වශයෙන් (Clots) කලලයේ කොටස්‌ ඉවත් වී යයි.

වැදෑමහ හා ගර්භාෂ බිත්තිය අතර සබඳතාව රුධිර ගලනයෙන් බිඳ වැටුණ ද ඇතැම් විට එය කලලයේ පෝෂණයට බලනොපායි. මේ නිසා යෝනි මාර්ගය හරහා සුළු රුධිර වහනයක්‌ සිදු වුව ද එය කලලයේ ඉදිරි වර්ධනයට බාධාවක්‌ නොවෙයි. මෙය තර්ජනීය ගබ්සාව හෙවත් Threatened abortion ලෙස හැඳින්වෙයි. සමහර අවස්‌ථාවන්හි දී මිය යන කලලය ගර්භාෂය තුළම පවතියි. මෙය Missed abortion ලෙස හෙවත් මඟහැරුණු ගබ්සාවකි. මෙය පසුව ස්‌වාභාවික ලෙස ශරීරයට උරා ගැනීම සිදුවෙයි.

කාන්තාවන් ගබ්සාවට ලක්‌වන කාලය අනුව එමඟින් මවට සිදුවන හානිය වෙනස්‌ වන බව පෙනෙයි. සාමාන්‍යයෙන් ගර්භයට සති 8 ත් 12 ත් අතර කාලයේ දී කාන්තාවන් ගබ්සාවන්ට ලක්‌වන අතර මෙම කාලය වැඩිවත්ම මවක ගබ්සාවක්‌ කරගත හොත් අධික ලෙස රුධිරය වහනය වී මව ද මිය යැමට වැඩි අවස්‌ථාවක්‌ පවතියි.

සංසර්ගය සිදුවී පළමු පැය 48 ඇතුළත ප්‍රොජෙස්‌ටරෝන් අධික ලෙස අඩංගු ඖෂධ ලබාදී ගබ්සාවක්‌ සිදු කිරීමට ඉඩ සලසන අතර, මේ ක්‍රමය ද අසාර්ථක වන අවස්‌ථා පවතියි. සාමාන්‍යයෙන් කලලය වර්ධනය ආරම්භ වන්නේ සංසේචනයෙන් දින දහයක්‌ ගත වූ පසුවය. කලලය හොඳින් හඳුනාගත හැක්‌කේ සති නවයක්‌ ගතවූ පසුවය. මේ නිසා අනාරක්‍ෂිත ලිංගික එක්‌වීම් වලට ලක්‌වන්නන්, තමන්ට දරුවකු පිළිසිඳගෙන ඇති බව දැනගන්නේ සති කිහිපයක්‌ ගතවූ පසුවය. වෛද්‍යවරුන් හමුවට පැමිණෙන කාන්තාවන් තමන් ගැබ්ගෙන ඇති බව සරල මුත්‍රා පරීක්‍ෂණයෙන් (HCG test) දැනගත් විට ඔවුන්ගේ ඉහ මොළ රත්වන්නේ එබැවිනි.

සාපරාධී ගබ්සාව.

මේ ලිපියේ මුඛ්‍ය අරමුණ සාපරාධී ගබ්සාවක්‌ ගැන විමසීම නිසා දැන් ඒ පිළිබඳව අවධානය යොමු කරමු.

ශ්‍රී ලංකාවේ ගර්භණී මවුවරුන් වැඩි ම ප්‍රමාණයකට මරණය හෝ රෝගාබාධ ළඟා කරන සුලබ අවස්‌ථාවක්‌ ලෙස සාපරාධී ගබ්සාව හඳුන්වා දිය හැකිය. අවිවාහක තරුණියන්, මැද පෙරදිග විදේශ රැකියාවන්ට යොමු වූ විවාහක හෝ අවිවාහක තරුණියන්, ඇඟලුම් කර්මාන්තශාලා ආශ්‍රිත රැකියාවල නියුක්‌ත වූවන් වැඩි වශයෙන් මෙසේ ගබ්සාවන්ට යොමුවන බව පෙනෙයි. පෞද්ගලික උපකාරක පංතිවලට තරුණියන් වැඩි වශයෙන් නැඹුරු වීමත් සමඟ, මෙරට කාන්තාවන්ට බලපෑ දැඩි නීතිරීති ලිහිල් වීමද මෙයට තවත් හේතුවකි. මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස නාගරික පරිසරයේ සුරංගනා ලෝකවල අතරමං වන තරුණියන් අනියම්, අනවශ්‍ය ගැබ් ගැනීම් වලට ලක්‌වීම ඉහළ ගොස්‌ ඇත.

කෙසේ වුවද මීට මාස කිහිපයකට පෙර පවුල් සෞඛ්‍ය කාර්යංශය (FHB) නිකුත් කළ පුවත්පත් නිවේදනයක දක්‌වා තිබුණේ විවාහක තරුණියන් ද වැඩි වශයෙන් ගබ්සාවලට යොමු වන බවයි. ශ්‍රී ලංකාව තුළ සිදුවන සාපරාධී ගබ්සා වැඩිම ප්‍රමාණයක්‌ කර ගැනීමට නීත්‍යනුකූලව විවාහක අඹු සැමියන් පැමිණෙන බව හෙළි වී ඇත. ලිපිය ආරම්භයේ දී සඳහන් කෙරුණේ ද එවැනි නිදසුනකි.

ස්‌ථාවර පවුල් පසුබිමක්‌ නොවීම, ආර්ථික ගැටලු, දරුවා රැක බලාගැනීමට කෙනෙකු නැතිවීම, මව රැකියාවක්‌ කළ යුතු වීම, මව විදේශගත වීමට හෝ උසස්‌ අධ්‍යාපනය හැදෑරීමට නියමිතව සිටීම වැනි හේතු මෙහිදී අඹු සැමියන් විසින් ගෙනහැර පානු ලබයි. වරක්‌ ගබ්සාවක්‌ කරවා ගැනීමට තම ලේලිය රැගෙන එනු ලැබුවේ නැන්දම්මා විසිනි. මේ ඉන්න දරුවන් බලාගන්නේ මම, මට ඔච්චර පණ නැහැ දරුවෝ දෙන්නෙක්‌ බලාගන්න. අනේ ඩොක්‌ටර් දුවගේ දරුවා නැති කරලා දෙන්න. ලෙස ඇය ඉල්ලා සිටියාය.

තවත් දරුවකු හදා වඩා, රැකබලා ගැනීමට සූදානම් නොමැති (Unplanned pregnancy) අවස්‌ථා වලදී මෙසේ විවාහක යුවළ සාපරාධී ගබ්සාවන්ට යොමු වන බව මේ අනුව පෙනීයයි.

මාස්‌ ශුද්ධිය වරක්‌ සිදු නොවුණ කාන්තාවක වෛද්‍යවරයකු හමුවට පැමිණි පසුව ඇය ගර්භණී දැයි ස්‌ථිර වශයෙන්ම දැනගැනීමට මුත්‍රා පරීක්‍ෂණය (HCG test) අනිවාර්යයෙන් ම සිදු කළ යුතුය. එසේ සිදු නොකර ඇයට ප්‍රතිකාර කිරීම, ගර්භ කොටස්‌ ඉවත් කිරීමට කටයුතු කිරීම, නීති විරෝධී ලෙස සැලකෙයි.

සාපරාධී ගබ්සාවක දී සිදු කරනු ලබන්නේ ගර්භාෂයෙහි බිත්තිය සහ කලලය අතර පවතින සබඳතාව බිඳ වැටෙන ආකාරයට රුධිරය වහනයක්‌ සිදුවීමට ක්‍රියාකිරීමය. මේ සඳහා තියුණු හෝ මොට ආයුධ යොදා ගැනෙයි. කොණ්‌ඩා කටු, කතුරු කටු, රේන්ද ගොතන කටු, කූඩවල නණ ආදිය මෙයට නිදසුන්ය. මීට අමතරව යකඩ කැතීටර්, එන්නත් උපකරණ ආදිය ද යොදාගැනෙයි.

ශල්‍යාගාරයක්‌ තුළ අතිශය ජීවාණුහරිත තත්ත්ව යටතේ ගබ්සාවක්‌ කිරීමට වඩා සාපරාධී ගබ්සාවක සිදු කරන ස්‌ථාන මාළු වෙළෙඳසලක්‌ මෙන් අපිරිසිදු විය හැකිය.

ඇතැම් අවස්‌ථාවලදී රබර් කැතීටර් මාර්ගයෙන්, ගර්භාෂය තුළට සබන් වතුර, වෙනත් විෂ රසායන වර්ග ඇතුළු කිරීම ද සිදු කෙරෙයි. මීට අමතරව එරඬු නටු (Caster stem) ගර්භාෂයට ඇතුළු කිරීම ද සිදු කරයි.

මේ සියල්ලේ අවසාන ප්‍රතිඵලය ගර්භාෂය හරහා රුධිර වහනයක්‌ සිදුවීම, ගර්භාෂය සිදුරු වීම, ගර්භාෂයට උග්‍ර විෂ ඇතුළු වී රෝගියා මියයැම විය හැකිය. ඇතැම් අවස්‌ථාවලදී අධික රුධිරය වහනය නිසා රෝගියා මිය යා හැකිය.

සමහර අවස්‌ථාවලදී උපත් පාලන උපකරණ ඇතුළු කිරීම ද ගබ්සා කිරීමට යොදා ගනියි. ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන මඟින් පවුල් සංවිධාන සායන ලෙස වංචනික ලෙසින් සාපරාධී ගබ්සා මධ්‍යස්‌ථාන පවත්වාගෙන යනු ලැබේ. මෙවැනි ස්‌ථාන දිවයිනේ ප්‍රධාන නගර රැසක, ප්‍රසිද්ධ දැන්වීම් සමඟ දැකගත හැකිය. එහෙත් මෙවැනි ස්‌ථාන වැටලීමක්‌ මේ දක්‌වා සිදුකර නොමැත.

සාපාරාධී ගබ්සාවන් සිදු කරන්නෝ

වැඩි වශයෙන්ම සාපරාධී ගබ්සාවන් සිදු කරන්නන් අතර වෛද්‍ය ක්‌ෂේත්‍රයට කුමන හෝ සම්බන්ධයක්‌ පවතින පුද්ගලයන්, වින්නඹු මාතාවන්, කනිෂ්ඨ සෞඛ්‍ය සේවකයන්, විශ්‍රාම ලත් හෙදියන්, ඇතැම් ආයුර්වේද වෛද්‍යවරුන් ප්‍රධානය. මීට අමතරව සහකාර හා ලියාපදිංචි වෛද්‍යවරුන් ද (AMP/RMP) හොර රහසේ සාපරාධී ගබ්සාවන් සිදුකරන අවස්‌ථා වාර්තා වෙයි.

රජයේ ලියාපදිංචි වෛද්‍යවරුන් සමඟ සේවය කරන ඖෂධවේදීන් හෝ µdමසි හිමියන් ද සමහර සාපරාධී ගබ්සාවන්ට හවුල්ය. මීට අමතරව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි ඉතාම සුළු බටහිර වෛද්‍යවරුන් පිරිසක්‌ ද මේ පාපතර ක්‍රියාවන්ට හවුල්ය.

වෛද්‍ය ක්‌ෂේත්‍රයට කිසිදු සම්බන්ධයක්‌ නොමැති, රැකියා වියුක්‌තියෙන් පෙළෙන පිරිස්‌ ද, අමතර ආදායම් මාර්ගයක්‌ ලෙස සාපරාධී ගබ්සාව තෝරාගෙන ඇත. ඇතැම් ත්‍රිරෝද රථ හිමියන් ද මෙයට නිදසුනකි. දිවයිනේ ඉතා ප්‍රසිද්ධ සාපරාධී ගබ්සා මධ්‍යස්‌ථාන පවතින අතර, නගරයට ගොස්‌ ත්‍රිරෝද රථ හිමියකුට එවැනි ස්‌ථානයකට ගෙනයන ලෙස පැවසූ විට ආයාසයකින් තොරව එහි ළඟාවිය හැකිය. මෙහිදී ත්‍රීරෝද හිමියාට ද සංතෝෂමක්‌ ලැබෙයි.

ගබ්සාවන් සිදුකරවා ගැනීමට ගොස්‌ එය වැරදුණු පසුව සියලු දෙනාටම පැමිණීමට සිදුවන්නේ රජයේ රෝහල්වලටය. බබෙක්‌ හම්බවෙන්න හිටියා. දැන් හවස ඉඳලා ලේ යනවා. ලෙස මෙය ස්‌වාභාවික ආකාරයට සිදුවූ බව පවසමින් බොහෝදෙනා පැමිණිය ද රෝග ඉතිහාසය, රෝගියාව පරීක්‍ෂාව ආදියෙන් තොරතුරු හෙළිවෙයි.

සාපරාධී ගබ්සාවක්‌ තමාම සිදුකර ගන්නා කාන්තාවන් ද හමුවෙයි. වැසිකිළිය තුළට ගොස්‌ ගබ්සාවක්‌ සිදුකර ගැනීමට තැත්කළ කාන්තාවක්‌ වරක්‌ අධික රුධිර වහනයෙන් එහිම මියගොස්‌ සිටියාය.

සාපරාධී ගබ්සාව හා වෛද්‍ය ආචාර ධර්ම

සාපරාධී ගබ්සාවකට ලක්‌වූ කාන්තාවක්‌ වෛද්‍යවරයකු හමුවට පැමිණි විට, ඒ සම්බන්ධව කටයුතු කිරීමේ වගකීම එම වෛද්‍ය නිලධාරියාට පැවරෙයි. තමා විසින්ම ගබ්සාවක්‌ සිදුකර ගන්නා ලද කාන්තාවන් පැමිණි විට ඇය මරණාසන්නව නොසිටී නම්, ඒ සම්බන්ධව පොලීසියට නොදැන්වීම වටිනා බව විශේෂඥ වෛද්‍ය මතයයි. මක්‌නිසා ද යත් වෛද්‍යවරයාට අදාළ රෝගියා හෙළි කරන තොරතුරු අන් අයට ප්‍රකාශ නොකිරීමට වෛද්‍යවරයා සදාචාරාත්මකව (Eඑයසජි) බැඳී ඇති බැවිනි.

වෙනත් අයකු විසින් ගබ්සාවක්‌ සිදුකරනු ලැබ ඇතිවිට එය දැනුම් දීම සිදු කළ යුතුය. මෙය අදාළ කාන්තාවගේ අවසරය ඇතිව සිදුකිරීම වැදගත් වන අතර, සමාජ මෙහෙවරක්‌ ලෙස කාන්තාවගේ අවසරය නොමැතිව වුවද පොලීසියට දැනුම්දිය හැකිය. එහෙත් ඇතැම් වෛද්‍යවරුන්ගේ මතය කාන්තාව අකැමැති නම් මෙයද හෙළි නොකළ යුතු බවයි.

තමාගේ කැමැත්ත ඇතිව හෝ නැතිව ගබ්සාවක්‌ සිදුකළ අවස්‌ථාවක දී මෙයට විරුද්ධව නීතිමය කටයුතු සිදුකිරීමට පවතින ප්‍රධාන බාධාවක්‌ වන්නේ අදාළ කාන්තාව පැමිණිල්ලේ සාක්‍ෂිකාරියක්‌ වීමට දක්‌වන අකැමැත්තයි. මේනිසා සාපරාධී ගබ්සා සම්බන්ධ නඩු විභාග අතරමඟදී නතර කර දැමීමට සිදු වෙයි.

දැනට ශ්‍රී ලංකාවේ කැබිනට්‌ මණ්‌ඩලයේ සාමාජිකයකු වන නීති විශාරද මහාචාර්ය ජී. ඇල්. පීරිස්‌ තමාගේ -ඔෙµන්සස්‌ අන්ඩර් ද ක්‍රිමිනල් කෝඩ් නම් ග්‍රන්ථයේ සඳහන් කරන අන්දමට 303 වගන්තිය ඔප්පු කිරීම සඳහා ගබ්සාවක්‌ සිදුවන ආකාරයේ බලපෑමක්‌ කාන්තාවන්ට කර ඇති බවත් එය කර ඇත්තේ මවගේ ජීවිතය බේරා ගැනීමේ දස්‌භාවයෙන් නොවන බවත් ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශවයට සිදු වෙයි.

ජපානය, සිංගප්පූරුව, තායිවානය යන රටවල ගබ්සාව නීතියෙන් තහනම් වන අතර, හොංකොං. දකුණු කොරියාව, තායිලන්තය, බ්‍රිතාන්‍යය වැනි රටවල මවගේ ජීවිතය බේරාගැනීමේ අදහසින් ගබ්සාවන් සිදු කළ හැකිය.

සාපරාධී ගබ්සාවේ ආදීනව

සාපරාධී ගබ්සාවේ ආදීනව ආකාර කිහිපයකට බෙදා දැක්‌විය හැකිය.

1) ගබ්සාව සිදු කළ වහාම සිදුවන අතුරු ආබාධ.

ගබ්සාව සිදු කරන අතරතුරදී හෝ ගබ්සාව සිදුකළ වහාම අතුරු ආබාධ ඇති විය හැකිය. ගබ්සාව සිදු කිරීමට යොදා ගන්නා උපකරණ හරහා ශරීරය තුළට වාතය ඇතුළු වී, රුධිර නාළ අවහිර වීම (Air embolism) සබන් වතුර හිරවීම, මෙයට නිදසුනකි.

උපකරණ ඇතුළු කිරීම හරහා ගර්භාෂය සිදුරු වීම, පෙනහලු හැකිළී යැම හා අධික ලෙස රුධිර වහනය සිදුවිය හැකිය. මෙවැනි අවස්‌ථාවලදී රෝහල්ගත කරන රෝගියා අධික ලෙස සුදුමැලි ස්‌වරූපයක්‌ පෙන්වයි.

විවිධ උපකරණ ගැබ්ගෙලට ඇතුළු කිරීම හරහා ඒ අසල පවතින ස්‌නායු පද්ධති අක්‍රිය වීම මරණයට හේතු වෙයි.

2) පැය කිහිපයකට පසු හෝ දින කිහිපයකට පසුව.

රුධිර පද්ධතියට විෂබීජ එකතු වීම සුලබ අතුරු ආබාධයකි. එය Seචිසි ලෙස හැඳින්වෙයි. රෝහල්ගත වන බොහෝ රෝගීන්ට මෙසේ උණ, ඇඟපත වේදනාව, සුදුමැලි ස්‌වභාවය පවතියි. මේ තත්ත්වය උග්‍ර වූ විට රුධිර පීඩනය අඩු වී යයි. අවසානයේ මරණය වැළඳ ගැනීමට සිදුවෙයි. අක්‌මාව, හෘදය, වකුගඩු, ප්ලීහාව වැනි ඉන්ද්‍රියන්වල පරිවෘත්තිය අඩාළ වීම මෙයට හේතුවයි.

3) සති ගණනක්‌ පසුවී ඇති වන අතුරු ආබාධ.

ශරීරයට විෂ එකතු වීම, පෙනහලු අක්‍රියවීම, හෘද අකර්මණ්‍යතා මෙයට නිදසුන්ය. මීට අමතරව යළි දරු පිළිසිඳ ගැනීමක්‌ සිදුනොවීම, අංග විකල දරුවන් බිහිවීම, මානසික ආතතිය, සමාජ අපහරණය වැනි ආබාධ ද නොසලකා හැරිය නොහැකිය.

ගබ්සාව නීතිගත කිරීම හා සාපරාධී ගබ්සාවන් වළක්‌වා ගැනීම.

මවු කුස සිටින කලලයට ද උපන් මිනිසකුට පවතින මානව අයිතිවාසිකම් පවතින බවට දැනට සමාජ මතවාදයක්‌ ගොඩනැඟී ඇති අතර, ඒ වෙනුවෙන් බොහෝ රටවල නීති රීති ද සැකසී ඇත. ගැබ්ගැනීම කාන්තාවකගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධ අයිතිවාසිකමක්‌ ලෙස බොහෝ රටවල් නොසලකන අතර. එහෙයන් නූපන් කලල රූප සංහාරය සාපරාධී ලෙස සැලකෙයි.

අවිවාහක කාන්තාවන්. අනියම් ඇසුරකින් හෝ බලහත්කාරයෙන් හෝ දූෂණයට ලක්‌වී දරු පිළිසිඳ ගැනීමක්‌ සිදුවුවහොත් එවැනි අවස්‌ථාවලදී ගබ්සාවට ඉඩදී එම තරුණියගේ අනාගතය බේරා ගන්නවාද? සැලසුම් නොකළ ගැබ් ගැනීමකින් මවත් බේරා දී පවුලේ ප්‍රශ්න ඇතිවීම වළක්‌වා ගැනීමට ක්‍රියා කරනවාද? යන්න තවමත් විවාදිත ගැටලුවකි. මීට අමතරව ඉපදීමට සිටින දරුවා බොහෝ අංග විකලතාවලින් පෙළෙන බව දැනගත් විට ඔහු ගබ්සා කරවා ගැනීමට මාපියන්ට අයිතියක්‌ පවතී ද? මේ සියල්ල තවමත් සමාජය හමුවේ විවෘත අභියෝගයන්ය.

සාපරාධී ගබ්සාවන් වළක්‌වා ගැනීමට ක්‍රියා කිරීම, ගබ්සාව නීතිගත කිරීමට වඩා වැදගත් බව පෙනීයයි. රටේ තරුණ තරුණියන් අතර සෞඛ්‍ය අධ්‍යාපනය ප්‍රචලිත කළ යුතුය. කෙතරම් මුද්‍රිත හා විද්යුත් මාධ්‍ය පැවතිය ද ලිංගික අධ්‍යාපනය ලබා දීම තවමත් සීමා සහිත වී ඇත. ඇතැම් උසස්‌ පෙළ සිසුන්, ගුරුවරුන් මෙන්ම සරසවි සිසුන් වැනි උගත් සමාජ කොටස්‌ ද මේ ගැන නිසි වැටහීමකින් කටයුතු නොකරන බව පෙනේ. පහසු උපත් පාලන ක්‍රම ගැන ජනතාව තවදුරටත් දැනුවත් කළ යුතුය. සාපරාධී ගබ්සාකරුවන්ට එරෙහිව නීතිය දැඩිලෙස ක්‍රියාත්මක වියයුතුය.

වසරකට ගබ්සාවන් 35000 ක්‌ යනු සුළු සංඛ්‍යාවක්‌ නොවෙයි. සෞඛ්‍ය බලධාරීන් වහා අවදි වියයුතු කාලයයි මේ.

සතියේ ලග්න පලාපල