යහපත් සෞඛ්‍යයට මානසික රෝග ගැන දැනුවත්වෙමු

views 2017-03-19 10:17:00 Sinhala_Article_New

නොමළ ගෙයකින් අබ මිටක් සොයා යනවාට වඩා නිරෝගී අයකු සොයා යෑම වර්තමානයේ සැබෑම අභියෝගයකි. සූතිකාගාරයේ සිට ආදාහනාගාරය දක්වා ගෙවා දමනා කාල පරාසයේදී අප කොපමණ නම් රෝගවලට ගොදුරු වී ඇද්ද? කෙසේ නමුත් අපි සැවෝම කායිකව රෝගී වෙනවාට වඩා වැඩි වාර ගණනක් මානසිකව රෝගී වී ඇති බව සැබෑවකි. කායිකව රෝගී වූ කල වෛද්‍යවරුන් සොයා ගියත්, මනසින් රෝගීවන අපි ඒ වෙනුවෙන් කුමක් කළ යුතු ද යන්න නොදනිමු. බොහෝ දෙනකු මානසික ව්‍යාකූලතාවන්ට ගොදුරු වීමට හේතු වී තිබෙන්නේ සමාජිය සහ ආර්ථික කරුණු ගණනාවක් මුල්කොට ගෙනය.

මානසික රෝගයකට ගොදුරු වීමට ජානමය හේතූන්, සාමාජීය, ආර්ථික, දේශපාලනික, ආගමික ප‍්‍රශ්න ඊට සෘජු හෝ වක‍්‍රාකාරයෙන් හෝ බලපෑ හැකි වෙයි. වයසට යෑම, රෝග පීඩාදියට ගොදුරු වීම, දරුවන් නොබැලීම හා හුදකලා වීම, ආදී කරුණු මෙවැනි රෝගී තත්ත්වයන්ට ගොදුරු වන්නට සෘජුලෙස බලපායි. මවුපියවරුන් නීතියෙන් වෙන්වීම, මවුවරුන් විදේශගත වීම, විභාග අසමත් වීම, තරගවලින් පරාජය ලැබීම, මත්පැන්, මත්ද්‍රව්‍ය ආදී ඇබ්බැහිවීම්වලට ගොදුරු වීම, ළඟම ඥාති හිතවතුන්ගෙන් දරාගත නොහැකි ආකාරයේ අඩංතේට්ටං, බැණ වැදීම්වලට, පහරදීමට ලක් වීම, ආදර සබඳතා බිඳ වැටීම, ප‍්‍රියයන්ගෙන් වෙන්වීම, අප‍්‍රියයන් හා වාසය කිරීමට සිදු වීම, දිළිඳු බව, බෝනොවන රෝගයන්ගෙන් දිගු කලක් පීඩා විඳීම, විවාහය, රැකියාව බලාපොරොත්තු වන ආකාරයෙන් නොලැබීම ආදී කරුණු එකක් හෝ කිහිපයක් බලපායි.

මානසික රෝග දෙස බැලීමේදී එහි ස්වභාවය අනුව උග‍්‍ර මානසික රෝග, සුළු මානසික රෝග වශයෙන් වර්ග කෙරේ.වර්තමානය වන විට නව යොවුන් වියේ සහ යොවුන් වියේ පසුවන්නන්ගෙන් කාන්සාව, භීතිකාව, ශ‍්‍රස්ථිය සහ මානසික ආතතිය වැනි සුළු මානසික රෝග බහුල ලෙස වාර්තා වීමට පටන්ගෙන තිබේ. මැදිවයසේ පසුවන්නන් අතර බහුලව දක්නට ලැබෙන උග‍්‍ර මානසික රෝග ලෙසට හීනෝන්මාදය, විෂාධය, ඩිප්ප්‍රෙෂන් දැකිය හැකිය. උග‍්‍ර මානසික රෝග අතර බහුලව දක්නට ලැබෙන්නේ විෂාදය රෝගයයි. අප රටේ ජනගහණයෙන් සියයට 3ක් පමණ විෂාදය රෝගයෙන් පෙළෙන බව හඳුනාගෙන ඇති අතර හින්නෝන්මාදයෙන් පෙළෙන්නන් සිටින්නේ සියයට 1 පමණි. කාංසාව, භීතිකාව වැනි රෝග තත්ත්වයෙන් පෙළෙන්නන් බහුලව වාර්තා වෙන අතර, එය ප‍්‍රමාණාත්මකව ගත් කල සියයට 20-30 ප‍්‍රතිශතයක්.

නිරෝගී පුද්ගලයකු යහපත් මානසික මට්ටමෙන් පසුවන බව අප හඳුනාගනු ලබන්නේ පුද්ගලයාගේ ශාරීරික යහපැවැත්ම මානසික යහපැවැත්ම, සමාජීය සහ අධ්‍යාත්මික යන අංශ හතරින්ම උසස් තත්ත්වයක සිටීමෙනි. සාර්ථකව ගැටලූ විසඳීමේ හැකියාව, තීරණ ගැනීමේ හැකියාව, ස්වාධීනව කටයුතු කිරීමේ හැකියාව, ඇති පුද්ගලයකු උසස් මානසික යහපැවැත්මෙන් සිටින්නෙකු ලෙසට හඳුනා ගන්න පුළුවන්. වෛද්‍ය විද්‍යාත්මකව මානසික රෝගියකු යනු මානසික යහපැවැත්මට හානියක් සිදු වූ අයෙකි. එනම් සාමාන්‍ය ආකාරයෙන් සිතීමේ හැකියාව, යමක් තේරුම් ගැනීමේ හැකියාව, හෝ යම් ආකාරයකට හැසිරීමේ වෙනසක් හෝ ඇති අයකු ලෙසට මොවුන් පෙන්වා දිය හැකිය. විශේෂයෙන්ම යම් කිසි පුද්ගලයකුට සන්නිවේදනයේ ප‍්‍රශ්නයක් ඇත්නම්, හිතිීමේ හැකියාවේ බාධාවන් ඇත්නම්, තමන්ට අන් අයට නොදැනෙන ආකාරයේ සිතුවිලි ඇති වන්නේ නම් සාමාන්‍ය පුද්ගලයකුට වඩා වෙනස් හැසිරීමේ රටාවක් ඇති මොවුන් ගැන වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි.

කායික රෝග වාර්තා වීම් අභිභවා මානසික රෝගවලට ගොදුරු වන රෝගීන් වැඩිවන මෙවන් යුගයක මෙවැනි තත්ත්වයන් හඳුනාගත් විගස අදාළ ප්‍රතිකාර සඳහා ඉක්මනින්ම යොමු කලයුතුවේ.