සහල්, ධාන්‍යවල ගුල්ලන් මැරීමට මාරාන්තික රසායනිකයක්‌ එය මිනිස්‌ සිරුරට කොහෙත්ම හිතකර නැත

views 2017-03-17 10:53:00 Sinhala_Article_New

හැත්තෑව දශකයට පෙර මෙරට ජීවත් වූ නම ගිය චණ්‌ඩින්ගෙන් වුණත් ගත යුත්තක්‌ තිබිණ. සරදියෙල් ටයිප් එකේ පොඩි විඡේලා, මරදන්කඩවල යකඩයා ලා සමාජය තුළ එක්‌තරා විදියක ලෙජන්ඩ් ද (පුරාවෘතයන්) විය. අප කුඩා කල පොළොන්නරුවේ පොඩි විඡේ සිංදුව අහනකොට පොඩි ත්‍රිල් එකක්‌ ඇඟට දැනුණේ ය. එහෙත් හැත්තෑව දශකයෙන් පසු එළැඹි යුගයේ බිහිවුණු පාතාලයේ ලුම්පන් අපතයන් ගේ චරිතාපදානවල ගත යුත්තක්‌ ඇත්තේම නැත. ආයුධ පෙන්වන්න ගියාම උන් බල්ලන් බළලුන් වගේ මරා දැමුණු පසු සමාජයට පොඩි ත්‍රිල් එකක්‌ දැනුනේ ය. (වැඩේ අවනිතික වුවත්) හැත්තෑව දශකයට පෙර අපේ සමාජයේ හිටියේ ගම්මිරිස්‌ වලට පැපොල් ඇට කලවම් කරපු, මීකිරි වලට එළකිරි කලවම් කරපු, එළකිරි වලට වතුර කලවම් කරපු, කරවල, සීනි වල බර වැඩි කරන්න වතුර ඉහපු, ගුල්ලො ගහපු මුං ඇට ටික අවුවෙ තියලා ගුල්ලන් ඉවත් කොට පෙති කර පෙති මුං ඇට විකුණපු ජාතියේ මුදලාලිලා ය. මේ වැඩ මගෝඩි වැඩ වුණාට මේ ජාතියේ මුදලාලිගේ ජිවිත වල වුව ගත යුත්තක්‌ තිබිණ. ඔවුන්ට හිතක්‌ පපුවක්‌ තිබිණ. ඔවුන් අසල්වාසීන්ගේ ලෙඩට දුකට පිහිට විය. ඔවුන් හොඳ ආදර්ශවත් දරුවන් හැදීය. ඒ ඔක්‌කෝටම වැඩියෙන් ඔවුන් කළ මගෝඩි වැඩ නිසා පාරිභෝගිකයන්ගේ ජීවිත වලට තර්ජනයක්‌ ඇති වූයේ නැත. එහෙත් හැත්තෑව දශකයෙන් පසු එළැඹි වර්තමාන ලාංකීය වෙළෙඳපොළ ඊට පෙර පැවති වෙළෙඳපොළට වඩා ඉඳුරාම වෙනස්‌ එකකි. වර්තමාන ඇතැම් වෙළෙඳුන් සිදු කරන කූට අපරාධ සෘජුවම මනුෂ්‍යයන්ගේ ජීවත් වීමේ අයිතිය සමඟ සම්බන්ධ වී පවතී. විශේෂයෙන්ම මිනිසුන් කන බොන දේවල්, ඇඟේ ඉහේ ගාන දේවල් වලට දැන දැනම වස විස ප්‍රහාර එල්ල කරන මේ ගරිල්ලා මාකට්‌ එකේ බිහිසුණු ස්‌වරූපය පිළිබඳ එළැඹෙන්නට පිළිවන් අවදානම පිළිබඳ සවිඤ්ඤානිකභාවයකින් යුතුවම අප දිගින් දිගටම හෙළිදරවු කර සිටිමු.

අප එකල අනුභව කළ තිරිඟු පිටි වල, හාල් වල, මුං ඇට වල සාමාන්‍යයෙන් ගුල්ලන් (සජීවී) සිටියේ ය. පණු කැදලි තිබිණ. එහෙත් අද වෙළෙඳපොළේ එවැනි බාල සවුත්තු ආහාර දකින්නට නැති තරම් ය. විශේෂයෙන් ආනයනික ආහාර ජීවානුහරණය කිරීම සඳහා දියුණු තාක්‌ෂණික සහ රසායනික ක්‍රම විධි අනුගමනය කිරීමට හැකි වීම ආහාර සුරක්‌ෂිතතාව විෂයෙහිලා රටක්‌ ලෙස අප ලැබූ ජයග්‍රහණයක්‌ ය. සජීවී කෘමීන්ගෙන් ආහාරවලට සිදු වන හානිය වළක්‌වා ගැනීම සඳහා ආහාර තොග පිටින් ගබඩා කර තැබෙන කන්ටේනර් සහ ගබඩාවල සනීපාරක්‌ෂාව, ඒවායේ සිටින කෘමීන්, කෘමි බිත්තර, පිලා අවස්‌ථා, කෘන්තකයින් විනාශ කිරීම සඳහා අනුගමනය කළ රසායනික ක්‍රමයක්‌ වන්නේ එම ආහාර ගබඩා දූමායනය කිරීමයි. මෙකී දූමායන කටයුත්ත සඳහා භාවිත කරනුයේ උග්‍ර විසැති හලා හළ වස වර්ගයන් ය. (නිසි ක්‍රමවේදයට අනුව දූමායනය කළ පසු ආහාරවල සෞඛ්‍යයට අහිතකරභාවයක්‌ ඇති වන්නේ නැත.)

මේ සඳහා භාවිත කරන එක්‌ රසායනික ද්‍රව්‍යයක්‌ වන ඇලුමිනියම් පොස්‌පයිඩ් (Aluminium phosphide) වනාහි ඉතාමත් භයානක විෂ වර්ගයක්‌ වන අතර මේවා පෙති හෝ කුඩු වශයෙන් නිෂ්පාදනය කෙරේ. ඇලුමිනියම් පොස්‌පයිඩ් වලට ජල වාෂ්ප හෝ හයිෙඩ්‍රාක්‌ලෝරික්‌ අම්ලය මිශ්‍ර වීමෙන් පොස්‌පීන් වායුව ජනනය වෙයි. පෝස්‌පීන් වායුව අංශු මාත්‍රයක්‌ ආඝ්‍රාණය කිරීමෙන් හෝ ඇලුමිනියම් පොස්‌පයිඩ් සුළු මාත්‍රාවක්‌ ආමාශගත වීමෙන් මිනිසෙකු තත්පර කිහිපයක දී මරණයට පත් වේ. මේ සඳහා කිසිදු ප්‍රති ඖෂධයක්‌ ද නොමැත. මෙය භයානක සමූල ඝාතන රසායනික අවියක්‌ ලෙස යුද්ධ කටයුතු සඳහා භාවිත කර ඇත. එකල වරායේ නැව්වල ගබඩා දූමායනය කිරීම සඳහා භාවිත කළ මෙම දූමායන රසායනික ද්‍රව්‍යයන් භාවිතය සහ නියාමනය මුළුමනින්ම වරාය සෞඛ්‍ය අංශය මගින් සිදු කෙරී ඇත. මේ සඳහා භාවිත කරන ඇලුමිනියම් පොස්‌පයිඩ් වැනි රසායනික ද්‍රව්‍යයන් මෙරටට ආනයනය සහ භාවිත කිරීම පළිබෝධනාශක පනතින් දැඩි සේ පාලනයට යටත් කර ඇති අතර, ඒවා රතු ලේබල් දරන පළිබෝධනාශක ඝනයට වැටේ. කෙසේ වෙතත් මෙම රසායනික ද්‍රව්‍ය මේ වන විට ආනයනය කිරීම සහ භාවිත කිරීමට පුද්ගලික අංශයේ ආයතන කිහිපයකට ලයිසන් ලබා දී ඇති බව දැනගන්නට ඇති අතර මේවා සම්බන්ධ කටයුතු පළිබෝධනාශක රෙජිස්‌ට්‍රාර්වරයාගේ සෘජු අණසකට සහ අධීක්‌ෂණයට යටත් විය යුතු බව ද පැවසේ.

ඇලුමිනියම් පොස්‌පයිඩ් භාවිත කළ යුතු නිසි ක්‍රමවේදය

මෙම රසායනික ද්‍රව්‍යයන් ආහාර ගබඩා සහ ගුදම් සඳහා යෙදීමේදී අනුගමනය කළ යුතු දැඩි කොන්දේසි සහ ක්‍රියාමාර්ග රාශියක්‌ ඇත. ඇලුමිනියම් පොස්‌පයිඩ් භාවිත කරන්නට අවසර දී ඇත්තේ පෙර කී, ඒ සඳහා බලපත්‍රයක්‌ ලබා ඇති ආයතනවලට පමණක්‌ වන අතර, එම ආයතන තුළ ඒ සඳහා විශේෂ පුහුණුවක්‌ ලත් තාක්‌ෂණික නිලධාරීන් සිටිය යුතුය. මෙම තාක්‌ෂණික නිලධාරියා ඇලුමිනියම් පොස්‌පයිඩ් වලින් යම් ආහාර ගබඩාවක්‌ දූමායනය කිරීමට ප්‍රථමව ඔක්‌සිජන් ටැංකියක්‌ සහිත වායු රෝධක ආරක්‌ෂිත විශේෂ ඇඳුමක්‌ ඇඳගත යුතු වන අතර, ඇලුමිනියම් පොස්‌පයිඩ් පෙති භාජනයකට දමා වායු රෝධක (ආහාර ගබඩා වායු රෝධනය කිරීම සඳහා ඒ සඳහා සකස්‌ කළ විශේෂ වායු රෝධක ආවරණ අදාළ සමාගම් විසින් සැපයීය යුතුය.) ගබඩාව තුළ පසෙකින් තැබිය යුතුය. මෙහිදී නිකුත් වන පොස්‌පීන් වායුව මගින් දූමායනය සිදු වී ගබඩාව තුළ සිටින කෘමීන් සහ කෘන්තකයින් මෙන්ම ආහාර තුළ සිටින කෘමි බිත්තර යනාදිය විනාශ විම සිදු වෙයි. එසේ තැබීමෙන් පසු අදාළ ගබඩාව දින තුනක කාලයක්‌ සම්පූර්ණයෙන් වසා දමා විවෘත කිරීම සම්පූර්ණයෙන් තහනම් බවට දැන්වීම් ප්‍රදර්ශනය කළ යුතුව ඇත. එසේ කිරීමෙන් පසු පෙර කී ආරක්‌ෂිත ඇඳුම් ඇඳ ගත් තාක්‌ෂණික නිලධාරියා විසින් අදාළ ගබඩාව විවෘත කර, තව එක්‌ දිනක්‌ යන තුරු හොදින් වාතනය වීමට සැලැස්‌විය යුතුය. එහිදී පෙර කී රසායනික ද්‍රව්‍ය අඩංගු භාජනය තුළ ඉතිරිව පවතින ශේෂ කුඩු ආරක්‌ෂිතව වළ දැමීම ද අදාළ තාක්‌ෂණික නිලධාරියා විසින්ම කළ යුතුව ඇත. කෙසේ වෙතත් ආහාර මතට ඇලුමිනියම් පොස්‌පයිඩ් යෙදීම සපුරා තහනම් වන අතර, රෝග වැළැක්‌වීමේ සහ රෝග ස්‌පර්ශකයින් වෙන් කර තැබීමේ ආඥා පනතේ විධි විධාන පරිදි ජලය අඩංගු ආහාර ද්‍රව්‍ය දූමායනය කිරීම ද තහනම් වෙයි.

බ්ලැක්‌ මාකට්‌ එකේ අවභාවිත කෙරෙන තහනම් විෂ රසායනික ද්‍රව්‍ය

දූමායනය කිරීමේ නිසි ක්‍රමවේදය එසේ වුවද සපුරා තහනම් කළ ග්ලයිපොසේට්‌, කුරේටර් ආදී කෘමිනාශක බ්ලැක්‌ මාකට්‌ එකේ සුලභව භාවිත වන්නාක්‌ සේම, මේ වන විට ඇලුමිනිම් පොස්‌පයිඩ් නැමති හලාහළ වස ද්‍රව්‍යයද නිසි පාලනයකින් තොරව ආහාර තොග ගබඩාකරුවන් අතර බරපතල ලෙස අවභාවිත කෙරෙන බව දැනගන්නට ඇත. මේ සඳහා පළමු සාක්‌ෂිය හමු වන්නේ කුරුණෑගල ප්‍රදේශයෙනි. ඉබ්බාගමුව මහජන සෞඛ්‍ය පරීක්‌ෂකවරයා වන එච්. ආර්. එස්‌. එස්‌. බණ්‌ඩාර හේරත් මහතාට ලැබුණු ඔත්තුවකට අනුව ක්‍රියාත්මක වූ මහජන සෞඛ්‍ය පරීක්‌ෂක වරු විසින් සිදු කරනු ලබූ වැටලීමකට අනුව ඇලුමිනියම් පොස්‌පයිඩ් නමැති උග්‍ර විෂ රසායනිකය ඒ සඳහා බලපත්‍ර ලැබූ ආයතනයක පුහුණුව ලැබූ නිලධාරියෙකු විසින් සිදු කරනු වෙනුවට ආහාර තොග වෙළෙන්දා ගේ වෙළෙඳසැලේ සේවය කරනු ලබන කම්කරුවෙකු ලවා කෙළින්ම ආහාර මතට කුඹුරට යූරියා ඉසින්නාක්‌ සේ ඉසිනු ලබන බව හෙළි වී ඇත. කෙසේ වෙතත් අදාළ ආහාර ගබඩාව මුද්‍රd තබා රස පරීක්‌ෂකවරයා වෙත යවනු ලැබූ ආහාර සාම්පලවල ඇලුමිනියම් පොස්‌පයිඩ් අඩංගු වන බවට හෙළි වීම නිසාවෙන් ආහාර ටොන් ගණනාවක්‌ අධිකරණ නියෝග මත විනාශ කර ඇත.

දෙවැනි සිදු වීම වාර්තා වන්නේ කලුතර ප්‍රදේශයෙනි. ගැබිනි මවුවරුන්ට බෙදා දීමට සූදානම් කර තිබූ ආහාර තොගයකට යම් විෂ රසායනිකයක්‌ යොදනු ලබන බවට ගර්භණී මවකගෙන් ලද ඔත්තුවකට අනුව ක්‍රියාත්මක වූ කලුතර නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්‌ෂකවරු කණ්‌ඩායමක්‌ සිදු කළ වැටලීමක දී අනාවරණය වී ඇත්තේ පණුවො කාපු කරවල සහ හාල් මැස්‌සන් ඇතුළු ආහාර තොගයකට ඇලුමිනියම් පොස්‌පයිඩ් භාවිත කර ඇති බව ය. මෙහිදී යම් ප්‍රමාණයකට නිසි ක්‍රමවේදය අනුගමනය කර ඇතත් ගැටලුව වන්නේ මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු පණුවන් සහ කෘමීන් හානි කළ ආහාර මෙසේ විෂ රසායනික ද්‍රව්‍ය භාවිත කර නැවත සකස්‌ කර හොඳ ආහාර ලෙස වෙස්‌ ගන්වා වෙළෙඳපොළට නැවත එවීමේ කූට වෑයම මෙමගින් හෙළි වීම ය.

පෙර කී බලපත්‍රලාභී ආයතනයක්‌ ලවා නිසි ක්‍රමවේදයට අනුකූලව දූමායන කටයුතු සිදු කර ගැනීම සඳහා විශාල මුදලක්‌ ගෙවිය යුතු වීම නිසාවෙන් නිසි ක්‍රමවේදය අනුගමනය කරන්නට ආහාර තොග වෙළෙඳුන් වැඩි මනාපයක්‌ නොදක්‌වන බැවින් සහ ඇලුමිනියම් පොස්‌පයිඩ් රසායනිකය කළු වෙළෙඳපොළ තුළ රිසි සේ මිල දී ගන්නට තිබෙන බැවින් මෙසේ මෙම රසායනිකය දරුණු ලෙස අවභාවිතයකට ලක්‌ වෙමින් තිබෙන බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‌ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා අවධාරණය කර සිටී. මෙම තත්ත්වය දරුණු ඵල විපාක වලට හේතු විය හැකි බැවින් මෙකී අවභාවිත කටයුත්ත පාලනය සහ නියාමනය කිරීමට අවැසි නිසි ක්‍රියාමාර්ග බලධාරීන් විසින් නොපමාව ගත යුතුව ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටින අතර, මෙවැනි විෂ රසායනික ද්‍රව්‍යයන් භාවිත කර ඇතැයි සැක කෙරෙන ආහාර තොග ගබඩා පරීක්‌ෂා කිරීමේ දී විෂ වායුවලට නිරාවරණය වන්නට නිලධාරීන්ට සිදු විය හැකි බැවින් ආවාට ගියාට එවැනි කටයුතුවල නිරත නොවන ලෙස ද උපුල් රෝහණ මහතා මහජන සෞඛ්‍ය පරීක්‌ෂකවරුන්ගෙන් ඉල්ලා සිටී.

මෙවැනි විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු යෑයි සැක කෙරෙන ආහාර තොග අත්අඩංගුවට ගත් පසු ඒවා නිදහස්‌ කරන ලෙස ඇතැම් බලධාරීන්ගෙන් සහ දේශපාලනඥයන්ගෙන් කෙරෙන ඉල්ලීම් සහ බලපෑම් වල නිමක්‌ නොමැති බවත්, මෙවැනි කටයුතුවල නිරත වන නිලධාරීන් කිසිදු ඇගයීමකට හෝ දිරි ගැන්වීමකට ලක්‌ නොවන බවත් මෙම නිලධාරීන් හොඳින්ම දනී. මෙවැනි කටයුතුවල නිරත වීම නිසාවෙන් එළැඹිය හැකි විපාක පිළිබඳවද දැන දැනම තම ආදරණීය මනුෂ්‍ය වර්ගයා උදෙසා කැප කිරීම් කරන උතුම් මිනිසුන් එකෙකු දෙදෙනෙකු නිසාවෙන් මෙවැනි වංචනික සහ පාතාලේ වැඩ කිඩ හෙළි වීම රටේ භාග්‍යයක්‌ බවද අපි මෙහිලා ලියා තබමු.

මම දිනක්‌ හාලිඇල සතිපොළේ පළතුරු වෙළෙන්දෙකුගෙන් අන්නාසි මිල දී ගනිමින් සිටියෙමි. එම ස්‌ථානයට පැමිණි වෙනත් පාරිභෝගිකයෙකු මේ අන්නාසි අමුයි නේ, මේවා ඉදවාගෙන එන්න තිබුණා නේ යෑයි පැවසීය. මිනිස්‌සු කන දේවල්නේ මහත්තයෝ බෙහෙත් ගහලා ඉදවන එක හරි නෑනේ. වෙළෙන්දා පැවසීය. ඇයි අපේ අමාත්‍යංශයෙන් පලතුරු වලට බෙහෙත් ගහල ඉදවන එක නිර්දේශ කරල නේ තියෙන්නේ. ඒකේ හානියක්‌ නෑනේ. කෘෂිකර්ම අමාත්‍යංශයෙ නිලධාරියෙකු යෑයි සිතිය හැකි පෙර කී පාරිභෝගිකයා වෙළෙන්දාට උපදෙස්‌ ලබා දෙන ලදී. පලතුරු කෘත්‍රිමව ඉදවීම ආරම්භ කෙරුණු මුල්ම කාලයේ මෙම අත්දැකීමට මුහුණ දෙන්නට මට සිදු විය. එකල පලතුරු කෘත්‍රිමව ඉදවීම සහ ඒ සඳහා භාවිත කරන රසායනික ද්‍රව්‍යයවල පැටිකිරිය පිළිබඳව මා ඒ හැටි දැන සිටියේ ද නැත. එහෙත් මේ වන විට වෙළෙඳපොළේ ස්‌වාභාවිකව ඉදවූ පලතුරු සොයා ගැනීම කළු නික සොයනවා වැනි තත්ත්වයකට පත්ව ඇත. අද වන විටත් කෘත්‍රිමව පලතුරු ඉදවීම නියාමනය කරන්නට නීතියේ ප්‍රතිපාදන නොමැත. නියපොත්තෙන් කපන්න තිබෙන දේවල් නිසි කලට කපා නොදැම්මොත් ෙච්න් ෂෝ එකකින්වත් කපා දමන්නට නොහැකි බවට මේ එක්‌ උදාහරණයක්‌ පමණි.

ඒ කාලේ පොඩි විඡේලා, මරු සිරාලා පිටුපස දේශපාලකයින් හෝ නිලධාරීන් සිටියේ නැත. රටේ ඇත්තන්ගේ කරුමෙට වර්තමාන පාතාලය මෙන්ම පෙර කී ගරිල්ලා මාකට්‌ එකට පිටුපසින් ද රඟන ඇතැම් අමන දේශපාලනඳයන් සහ නිලධාරීන් සිටී.



​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල