සංක්‍රාන්තික ලිංගියන්ට පකිස්‌ථානය අපායක්‌
ගැහැණුත් නොවන පිරිමිත් නොවන කඳුලක කතාව

views 2017-03-13 10:24:00 Sinhala_Article_New

"ඇලීෂාට වෙඩි අටක්‌ වැදිලා තිබුණා.. අපි එයාව ළඟම තිබිච්ච කාන්තා කියවීම් රෝහලට අරගෙන ගියා.. ඒ වෙනකොටත් ඇලිSෂා හිටියේ ජීවිතයත් මරණයත් අතර සටනක.. ඒත් දොස්‌තරලා එයාව වාට්‌ටුවකට බාරගත්තෙ නෑ.. එයාව දාන්න ඕන ගැහැණු වාට්‌ටුවකටද, පිරිමි වාට්‌ටුවකටද කියලා තීරණයක්‌ ගන්න බැරිව හෙදියෝ දොස්‌තරලා පැය ගාණක්‌ කාලෙ කෑවා.. ඇලීෂාව ගැහැණු වාට්‌ටුවකටවත් පිරිමි වාට්‌ටුවකටවත් ගන්න බැහැ කියලා හැමෝම එයාව ප්‍රතික්‌ෂේප කළා.. ඇලීෂා වෙනුවෙන් කතා කරන්න අපේ අය රෝහලට එකතු වුණා..

අපි එතනට එකතු වෙනකොට.. අපිව බලන්න සෙනග අපි වටේ එකතු වුණා.. ඇලීෂාව රෝහලට බාර අරන් ප්‍රතිකාර කරන්න කියලා අපි රෝහල් කාර්යමණ්‌ඩලයෙන් බල කරමින් ඉල්ලන වෙලාවෙත් අපිව බලන්න රැස්‌ වෙලා හිටපු අය අපිට අසභ්‍ය විහිලු කර කර නින්දා කළා.. අපේ පෙනුම ගැන දෙපිට කැපෙන කතා කිව්වා..

එක රැයකට අපි අය කරන ගාන කීයද, අපි ඉන්න තැන්වල විස්‌තර අහමින් අපිට කරදර කලා.. අපේ පියයුරු ඇත්තම ඒවාද කියලා අහපු අය පවා හිටියා..

උත්සවයකදී නටන්න, එක රැයක්‌ ගෙවන්න මං කීයක්‌ අය කරනවාද කියලා රෝහලේ දොස්‌තර කෙනෙකුට පවා ඒ වෙලාවේ මගෙන් දැනගන්න උවමනා වුණා.

මේ හැම හිරිහැරයක්‌ම මැද්දෙ තමයි අපි ඇලීෂාව රෝහලට බාරගන්න කියලා උද්ගෝෂණය කළේ.. අපේ උද්ඝෝෂණයට උත්තර ලැබුණෙ පැය හතරකට පස්‌සෙ..

පැය හතරක්‌ ගෙවිල ගියාට පස්‌සෙ තමයි ඒ ගොල්ලො ඇලීෂාව රෝහලට බාරගත්තෙ.. රෝහලට බාරගත්තට පස්‌සෙත් ඇලීෂාව සැත්කමට ගත්තෙ ඊටත් විනාඩි විස්‌සකට පස්‌සෙ..

වෙඩි උණ්‌ඩ අටක්‌ම වැදිලා තිබුණ නිසා ඇලීsෂාට සැත්කම් කීපයක්‌ම කරලා තිබුණා.. ඒත් එයාව දැම්මේ දැඩිසත්කාර ඒකකයට නෙවෙයි. සාමාන්‍ය ලෙඩෙකුටවත් පහසුවෙන් ඉන්න බැරි තරම් තදබද වෙච්ච සාමාන්‍ය වාට්‌ටුවකට..

අන්තිමේ" ඇලීෂා මැරුණා.. මැරුණා නෙවෙයි.. එයාව මරාගත්තා..

ඇයි ඒ..? අපි ගැහැණුත් නොවෙන පිරිමිත් නොවෙන අනන්‍යතාවයක්‌ නැති අය නිසාද..?

පාකිස්‌ථානයේ පේෂාවර්හි උන් සංක්‍රාන්ති ලිංගික හිමිකම් ක්‍රියාකාරිනියක වූ ඇලීෂාගේ මරණය ගැන µර්සානා ජාන් නම් සංක්‍රාන්ති ලිංගික මිතුරිය මාධ්‍යයට දුන් ප්‍රකාශයයි ඒ.

ඇලීෂා.. පිරිමියෙකු නොවේ. ගැහැජියකද නොවේ. සංක්‍රාන්ති ලිංගිකයෙකි. කටවහරේ හැටියට කියනවා නම් "නපුංසකයෙකි". ඇලීෂා පාකිස්‌ථානයේ සිටින සංක්‍රාන්ති ලිංගිකයන් හා ඔවුන්ට සිදුවන අසාධාරණකම් පිළිබදව කතා කළ, ඒ පිළිබදව විද්යුත් මාධ්‍යයන්ට අන්තර්ජාලයට ලිපි ලියූ 25 හැවිරිදි සංක්‍රාන්ති ලිංගිකයෙකි. ඇයට වෙඩි වැදෙන්නට පෙර දින ඇය පේෂාවර්හි සංක්‍රාන්ති ලිංගිකයින්ගේ රැලියකට එක්‌ව සංක්‍රාන්ති ලිංගිකයින් වෙනුවෙන් හඬ නැගුවාය.

පසුවදා සංක්‍රාන්ති ලිංගිකයින්ව නොයෙකුත් අපචාර සදහා යෙදවීමෙන් මුදල් උපයා ගන්නා කල්ලියක මැරයින් පිරිසක්‌ විසින් ඇලීෂාව වෙඩි තබා ඝාතනය කරන ලදී.

ඇලීෂා හඩ නැඟුවේත් දිවි පිදුවේත් පාකිස්‌ථානයේ සිටින තවත් ඇය වැනිම සංක්‍රාන්ති ලිsංගිකයන් විඳින අප්‍රමාණ පීඩාව වෙනුවෙනි.

අප සාමාන්‍යයෙන් වර්ග කරන අයුරින් නම් ලොව සිටින මිනිසුන් එක්‌කෝ ගැහැණුය. නැති නම් පිරිමිය. එහෙත් මේ දෙවර්ගයටම ඇතුලත් කළ නොහැකි තවත් ලිංග ප්‍රභේදයක මිනිසුන් කොට්‌ඨාශයක්‌ වෙයි. ඒ සංක්‍රාන්ති ලිංගිකයින් හෙවත් නපුංසක ලිංගිකයින්ය.

කෙනෙකු මේ තත්වයට පත් වෙන්නේ ඔහුගේ හෝ ඇයගේ වරදකින් නොවේ. මව් කුස තුළදීම ඇතිවන හෝමෝන අසමතුලිතතාවයක්‌ හේතුවෙනි. සංක්‍රාන්ති ලිංගිකයෙකුව ඉපදීම ඔවුන්ගේ වරදකින් සිදු නොවුවද ඔවුහු මුළු ජීවිත කාලය පුරාවටම තමාගේ ලිංගිකත්වය හේතුවෙන් නින්දා අපහාසවලට බදුන් වෙති. සමාජයෙන් කොන්වෙති. දුක්‌ විඳිති.

සමාජය තුළ නිරන්තරව අවමානයට හිංසාවට ලක්‌ වුවද, මේ සංක්‍රාන්ති ලිංගිකයින්ට දකුණු ආසියානු කලාපයේ ඉතා පැරණි ඉතිහාසයක්‌ ඇත. 17 හා 18 ශත වර්ෂවල මෝගල් අධිරාජ්‍යයන්ට සංක්‍රාන්ති ලිංගිකයන් සේවය කළ බව වාත්ස්‍යායනයේa කාමසූත්‍ර ග්‍රන්ථයේ සදහන්ව ඇත.

පාකිස්‌ථානයේ මෙවන් සංක්‍රාන්ති ලිංගිකයන් ගණන ලක්‌ෂ පහකට අධිකය. පාකිස්‌ථානු ජනගහනයෙන් 2% ක ප්‍රතිශතයක්‌ සංක්‍රාන්තික ලිංගිකයන් බව වාර්තා වෙයි. මුස්‌ලිම් ආගමික නීතිරීති වලින් පාලනය වන රටක්‌ වන පාකිස්‌ථානයේ වෙනත් ආගමික ප්‍රජාවන් සහ වෙනත් ජාතින්ගේ කණ්‌ඩායම් හිරිහැර විදින බව අප දන්නා කරුනකි. එහෙත් ඒ සියල්ලටම වැඩියෙන් පාකිස්‌ථානු සමාජයෙන් හිරිහැර හා ගැරහුම් ලබන්නේ මේ සංක්‍රාන්තික ලිංගික ප්‍රජාවය. පාකිස්‌ථානයේ සංක්‍රාන්තික ලිංගිකයෝ මිනිසෙකුට ලැබිය යුතු අවම හිමිකම්වත් නොලබන පිරිසක්‌ වෙති.

සංක්‍රාන්තික ලිංගිකයින්ව පාකිස්‌ථානයේදී හැඳින්වෙන්නේ "හිඡ්රා" ලෙසය.

දැඩි ආගමික නීතිරීති හා අඩු අධ්‍යාපනික තත්වයක්‌ ඇති පාකිස්‌ථානු සමාජය තුළ සංක්‍රාන්ති ලිංගික දරුවෙකු ඉපදීම පවා පවුලට වුණු අවමානයක්‌ ලෙස සලකයි. එනිසා ඒ සංක්‍රාන්ති ලිංගික දරුවා හෙවත් "හිඡ්රා" දරුවා තමන්ගේ පවුල තුළදීම කොන්වෙයි. තම නෑදෑ හිතමිතුරන් අතර පවා අවමානයෙන් හිස නවාගෙන සිටින්නට ඒ දරුවාට සිදුවෙයි.

ගැහැණු හා පිරිමි පාසල් වෙන වෙනම ඇති පාකිස්‌ථානය තුළ හිඡ්රා දරුවන්ව ගැහැණු පාසල් වලට බාරගැනෙන්නේ නැත. පිරිමි පාසල් වලට යන හිඡ්රා දරුවාන්ට එහි සිටින පිරිමි ළමයින්ගේ හිංසාවන්, අපහාස හා අතවරවලට මුහුණ දෙන්නට සිදුවෙයි. ඒ නිසා සාමාන්‍ය දරුවෙකුට ලැබිය යුතු ළමා කාලය මේ සංක්‍රාන්ති ලිංගිකයින්ට අහිමිය. මේ පීඩාකාරී තත්වය යටතේ අධ්‍යාපනය ලබන්නට ඇති නොහැකියාව නිසාම පාකිස්‌ථානයේ සංක්‍රාන්ති ලිංගිකයින්ගේ අධ්‍යාපනික තත්වය ඇත්තේ බෙහෙවින් අඩු මට්‌ටමකය. ඔවුන්ට ගැහැණුන් සමඟවත් පිරිමින් සමඟවත් එකම පල්ලියකට ගොස්‌ ආගම අදහන්නට අවසර නැත. උප්පැන්න සහතිකයේද, හැදුනුම්පතේද "ස්‌ත්‍රී පුරුෂ භාවය" සදහන් තීරුවේ ඇත්තේ හිස්‌ ඉඩකි. ඔවුන්ට මනුෂ්‍යයන් ලෙසින් අනන්‍යතාවයක්‌ නැත.

"අපිව ආබාධිත මිනිසුන් විදිහට හෝ වර්ගීකරණය කරලා අනන්‍යතාවයක්‌ ලබා දෙන්න" කියා තම අවසන් උද්ඝෝෂණයේදී සංක්‍රාන්ති ලිංගික ඇලීෂා පාකිස්‌ථානු රජයෙන් ඉල්ලා සිටියේ මේ තත්වය හේතුවෙනි.

බොහෝ විට පවුලට අවමානයක්‌ සේ සලකා හිඡ්රා දරුවන් තරුණ වයසට එළඹෙන්නටත් පළමුව ඔවුන්ගේ නිවෙස්‌ වලින් පිටමං කෙරෙයි. ඇතැම් සංක්‍රාන්තික ලිංගික දරුවන් කුඩා අවදියේදීම පවුලට අනවශ්‍ය දරුවෙකු සේ සලකා හදා වඩා ගන්නට "ගුරු" න්ගේ අතට බාර දෙනු ලබති.

"ගුරු" යනු සංක්‍රාන්ති ලිංගික කල්ලිවල නායකයන්ය. මිනිසුන්ට "අනවශ්‍ය" සංක්‍රාන්ති ලිංගික දරුවන් හදා වඩා ගන්නට බාර ගන්නේ මේ "ගුරු" න් විසිනි.

'ඇත්තටම "ගුරු" ලට බාර දෙන හිඡ්රා දරුවන්ට අත්වෙන ඉරණම හරිම කනගාටුදායකයි. මේ දරුවන්ව පුංචි කාලෙදීම පාරවල් වල හිගාකෑමට යොදවනවා.. තේරෙන වයසට එන්නත් කලින්ම ලිංගික අපචාර වලට ලක්‌ කරනවා.. ගණිකා වෘත්තියෙත් යොදවනවා.. හිඡ්රා ළමයින්ව අනවශ්‍ය ළමයි විදිහට සලකලා ගුරුලට විකුණලා දමන එක නවත්වන්න රජයෙන් නීති පනවන්න ඕන.." සංක්‍රාන්ති ලිංගිකයන්ගේ මූලික අයිතිවාසිකම් ඉල්ලා සටන් කරන සංක්‍රාන්තිකයන්ගේ සංවිධානයක සභාපතිනිය වන නදීම් කාෂිෂ් පවසන්නීය.

පාකිස්‌ථානු සංක්‍රාන්තික ලිංගිකයන්ගේ ප්‍රධාන ජීවනෝපාය වනුයේ විවාහ උත්සවවලදී නැටුම් ඉදිරිපත්කර මුදල් ලබා ගැනීමය. විවාහ උත්සවයේදී නටන "හිඡ්රා"වන්ට මුදල් නෝට්‌ටු විසිකර ඔවුන්ගේ ආශීර්වාදය ලබා ගැනීම වාසනාව ගෙන එන දෙයකැයි පාකිස්‌ථානු ජනතාව අතර මතයක්‌ ඇත.

එහෙත් ජීවිකාවට කීයක්‌ හෝ උපයාගන්නට විවාහ මංගලෝත්සවයක නටන්නට යාම පවා සංක්‍රාන්ති ලිංගිකයෙකුට කිසිසේත්ම ප්‍රසන්න අත්දැකීමක්‌ වන්නේ නැත. ඔවුන්ට නැටුම් ඉදිරිපත් කිරීමට සිදු වෙන්නේ උත්සවයට පැමිණි අමුත්තන්ගේ අපහාස, උසුලු, විසුලු හා හිංසා පීඩා මැදය. නර්තනය අවසන් වූ විට උත්සවයට පැමිණි අමුත්තන්ගේ හෝ ගෙහිමි පිරිමින්ගේ මනදොල පුරවමින් රැය ගත කරන්නට ඔවුන්ට සිදු වෙයි.

විවාහ මංගල උත්සව වලදී නැටුම් ඉදිරිපත් කිරීමට අමතරව ඔවුන්ට කරන්නට හැකි රැකියා ඇත්තේ කිහිපයකි. ඉන් එකක්‌ ගණිකා වෘත්තියය. අනෙක සිඟාකෑමය.

මෙසේ අපමණ දුක්‌ විඳිමින්, ගර්හාවට ලක්‌ වෙමින් මේ අහිංසකයන් උපයා ගන්නා සුළු මුදලද කොල්ලකෑමට බලා සිටින සංවිධානාත්මක මැර කල්ලිද පාකිස්‌ථානයේ වෙයි.

මේ මැර කල්ලිවල ආදායම් මාර්ගය වනුයේ සංක්‍රාන්තික ලිංගිකයන් ගණිකා වෘත්තිය සදහා විකුණමින් මුදල් ලබා ගැනීම හා සංක්‍රාන්තික ලිංගිකයින් බියවද්දා කප්පම් ලබා ගැනීමය.

"ජæජා ගැංග්" හෙවත් ජæජා කල්ලිය පේෂාවර්හි බලය පතුරුවාගෙන සිටින එවන් කල්ලියකි. මේ කල්ලිය සංක්‍රාන්තික ලිංගිකයින්ව බියවද්දා කප්පම් මුදල් ලබා ගන්නේ කිසිදු මනුෂ්‍යයෙකුට දරා සිටින්නට නොහැකි ආකාරයේ හිංසාවන්වලට ඔවුන්ව ලක්‌ කරමිනි.

පසුගියදාක අන්තර්ජාලය පුරා වේගයෙන් හුවමාරු වුණු වීඩියෝවක්‌ විය. තැඹිලිපැහැ සල්වාරියක්‌ හැද උන් සංක්‍රාන්තික ලිංගිකයෙකුට ඉණ පටියකින් අමානුෂික ලෙස පහර දෙන වීඩියෝවකි ඒ. මේ ජæජා කල්ලිය පේෂාවර්හි සංක්‍රාන්තික ලිංගිකයින්ට හිංසා පීඩා කළ පළමු වතාව නොවේ. එසේම සංක්‍රාන්තික ලිංගිකයින්ට අඩන්තේට්‌ටම් කරන එකම කප්පම් කල්ලිය ජæජා කල්ලිය පමණක්‌ම නොවේ.

එදා ජæජා කල්ලියේ හිංසනයට ලක්‌වුණු සංක්‍රාන්තික ලිංගික ජූලී මාධ්‍යයට තම කතාව පැවසුවේ හඬමිනි.

"ඒ ගොල්ලෝ ඇවිත් කප්පම් සල්ලි ඉල්ලුවා. දෙන්න සල්ලි තිබුණේ නැති නිසා ඒ ගොල්ලො අපේ ගෙවල්වලටම ඇවිත් අපිට හොදටෝම ගැහුවා.. ඒ ගොල්ලො අපිට කරපු දේවල් කිසිම මනුස්‌සයෙකුට දරා ගන්න බැරි දේවල්.. ඒ ගොල්ලො අපිට එයාලාගෙ මුත්‍රා බොන්න සැලැස්‌සුවා.. අපේ මූණුවලට කෙල ගැහුවා. අපිව දූෂණය කරලා සපත්තු වලින් අපිට හොඳටෝම ගැහුවා.." ජූලි කියා සිටියාය. "මේ දේවල් දැකලවත් ආණ්‌aඩුව මේ අසරණ සංක්‍රාන්තික ලිංගිකයන්ගේ ආරක්‌ෂාවට නීතිරීති ගේනවා නම් කොච්චර හොඳද.. අපි අඩු කුලයක දෙවි කෙනෙක්‌ගෙන් මේ ලෝකෙට ආපු ළමයි වගේ.. මේ රටේ මිනිස්‌සු අපිට සලකන්නෙ බල්ලන්ටත් අන්ත විදිහට.. කිසි කෙනෙක්‌ අපිව මිනිස්‌සු විදිහට සලකන්නේ නෑ...."

මේ කල්ලිය පාකිස්‌ථානයේ සංක්‍රාන්තික ලිංගිකයන්ට හිරිහැර කරන එකම පිරිස නොවේ. පාකිස්‌ථානයේ වැසියෝ බහුතරය සංක්‍රාන්තික ලිංගිකයින්ට සලකන්නේ තිරිසනුන්ටත් අන්ත ලෙසිනි.

2016 වසර පුරාම වරින් වර පාකිස්‌ථානයේ සංක්‍රාන්තික ලිංගිකයින්ට එරෙහිව සිදුවුණු හිංසනයන් ගැන අසන්නට ලැබිණ. පසුගිය දහ අට මාසය තුළදී පාකිස්‌ථානයේ කයිබර් පාක්‌තුන්ක්‌වා ප්‍රදේශයෙන් පමණක්‌ වාර්තා වුණු සංක්‍රාන්තික ලිංගිකයින්ට එරෙහි හිංසාවන් පිළිබද වාර්තා වුණු සිදුවීම් සංඛ්‍යාව 300 ඉක්‌මවයි. වෙඩි තබා හෝ වධ දී මරා දැමුණු සංක්‍රාන්තික ලිංගිකයින්ගේ ගණන 46 කි.

සංක්‍රාන්තික ලිංගිකයින්ව තුන්වෙනි ලිංගිකත්වය යටතේ වර්ගීකරණය කරන්නටත්, ඒ අනුව ඔවුන්ට හැදුනුම්පත් ලබා දෙන්නටත් පාකිස්‌ථානු රජය මෑතදී නීති පැනවූ නමුත් තවමත් ඒ නීති නිසි අයුරින් ක්‍රියාත්මක වෙන්නට පටන් ගෙන නැත. එනිසා පාකිස්‌ථානය තුළ අදටත් මේ "තුන්වන මනුෂ්‍ය වර්ගය" ජීවත් වෙන්නේ අපා දුකක්‌ විඳිමිනි.



​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල