කට වරද්දාගෙන මැරෙන මිනිස්සු

views 2019-01-10 10:33:00 Life_New

"කළු කපුටා සුදුවන තුරු, මෝල් ගහේ දලු ලන තුරු, එකසිය විස්සට දෙසිය විස්සක් ආයුබෝ වේවා" යැයි කරන ප්‍රාර්ථනාව වර්තමානයේදී නම් සඵල වන්නේ කලාතුරකිනි. එයට හේතුව මිනිසාගේ ආයු කාලය දිනෙන් දින කෙටි වෙමින් තිබීමයි. ලොව පුරා වසරකට මිලියන 10ක පමණ සංඛ්‍යාවක් අකාලයේ මියයන අතර ඔවුන් මියයන්නේ හදිසි අනතුරකින් හෝ ස්වාභාවික ආපදාවකින් නොවීම මෙහි ඇති අභාග්‍යසම්පන්න තත්ත්වයයි. එම අකල් මරණවලට හේතුව බෝ නොවන රෝගවලට ගොදුරු වීම අතර බෝනොවන රෝගවලට අත වනන ප්‍රධාන හේතු ලෙස දුම්කොළ භාවිතය, ව්‍යායාම් නොකිරීම, සමබල ආහාර වේලක් නොගැනීම, මත්පැන් භාවිතය ආදී හේතු බව අනාවරණය වී තිබේ. ජානමය, ශාරීරික සහ පාරිසරික පුරුදුවල ප්‍රතිඵලයක් ලෙස ඇතිවන බෝ නොවන රෝග අවම කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සෑම රටකම වැඩසටහන් දියත් කර ඇත්තේ ඒ නිසාය. හෘද රෝග, පිළිකා, ශ්වසනාබාධ, දියවැඩියාව ඇතුළු ප්‍රධාන බෝ නොවන රෝගවලට වැඩි වශයෙන් ගොදුරුව ඇත්තේ අඩු සහ මධ්‍යම ආදායම්ලාභී රටවල් වීමද විශේෂත්වයකි.

ශ්‍රී ලංකාවද එම අවධානමට මුහුණදී තිබෙන රටක් වන අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිල දත්තවලට අනුව මෙරට සිදුවන සියලුම මරණවලින් සියයට 75කටම හේතු වෙන්නේ බෝනොවන රෝගයි. එපමණක් නොව මෙරට ජනතාවගෙන් සියයට 20ක්ම "මැරෙන වයසට පෙර මියයන මිනිසුන්" බවට පත්ව සිටිති. මෑතදී කරන ලද අධ්‍යයනයකට අනුව මෙරට ජනගහනයෙන් සියයට 25ක් ස්ථුල තත්ත්වයේ පසුවෙති.

2025 වන විට ගෝලීය ජනගහනයෙන් ලුණු පාරිභෝජනය සියයට 30% ප්‍රමාණය අඩු කිරීමටත් ඒ තුළින් ළමයින්ගේ බර වැඩිවීම, දියවැඩියාව හා තරබාරු වීම නැවැත්වීමටද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තිරසර වැඩපිළිවෙළක් ගෙන යනු ලබයි.

ශ්‍රී ලංකාවද එම වැඩපිළිවෙළ හා එක්ව සිටින අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය මඟින් විශේෂ දැනුවත් කිරීම් රාශියක් මේ වන විටත් පවත්වාගෙන යනු ලබයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගැනීම සියලුම ආකාරයේ මන්දපෝෂණ තත්ත්වයන්ගෙන් ආරක්ෂා කිරීමට මෙන්ම දියවැඩියාව, හෘද රෝග, ආඝාත හා පිළිකා වැනි බෝ නොවන රෝගවලින් ආරක්ෂා වීමට උපකාරී වේ.

එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ ආහාරවලින් ලබාගන්නා ශක්තිය (කැලරි අගය) සමතුලිත විය යුතු බවය. සෞඛ්‍යයට අහිතකර කැලරි අගයක් සහිත ආහාර ගැනීමෙන් වැළකිය යුතු අතර, ආහාර වේලේ අඩංගු සම්පූර්ණ මේද ප්‍රමාණය සියයට 30 නොඉක්මවිය යුතුය. එමෙන්ම සීනි පරිභෝජනය සියයට 10කට වඩා අඩුවිය යුතුය. එය සියයට 5 දක්වා අඩුකර ගත හැකි නම් එය නිරෝගී සෞඛ්‍යයක් පවත්වාගෙන යෑම වෙනුවෙන් කරනු ලබන විශේෂ කාර්යයකි. ඊට අමතරව දිනකට ලුණු පරිභෝජනය කළ යුත්තේ ග්‍රෑම් 2කට වඩා අඩුවෙනි. එය වැඩිහිටි ජනගහනය අතර බහුල අධි රුධිර පීඩනය වැළැක්වීම සහ හෘද රෝග සහ ආඝාතය අවදානම අඩු කිරීමට වෙසෙසින් ඉවහල් වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරන්නේ පුද්ගලයකුගේ සම්පූර්ණ ජීවන රටාව තුළම සෞඛ්‍ය සම්පන්න සමබල ආහාරවේලක් ලබාගැනීම අත්‍යවශ්‍ය වන බවයි. සැකසූ ආහාර නිෂ්පාදනය සහ පරිභෝජනය අධික වීම සහ වේගවත් නාගරීකරණය තුළ අධික කාර්යබහුල ජීවන රටාව නිසා ජනතාවගේ ආහාර පුරුදු අහිතකර මට්ටමට ළඟා වී තිබේ. ඒ තුළ ජනතාව විශාල වශයෙන් කැලරි අධික මේද, සීනි හා ලුණු අධික ආහාරපාන පාරිභෝජනය අධික වී තිබෙන අතර, බොහෝ දෙනෙක් ධාන්‍ය, පලතුරු, එළවළු හා අනෙකුත් සෞඛ්‍යසම්පන්න ආහාරපාන වෙතින් දුරස් වෙමින් සිටීම බෝ නොවන ලෙඩ රෝග ව්‍යාප්තියට හේතු වී තිබේ. පුද්ගලයකුගේ ආහාර රටාව සකස් වන්නේ පුද්ගල ලක්ෂණ අනුව එනම්, වයස, ස්ත්‍රී පුරුෂ භාවය, ජීවන රටාව, සමාජ තත්ත්වය, රැකියාව, ජීවන රටාව සහ ශාරීරික ක්‍රියාකාරීත්වයේ මට්ටම, සංස්කෘතික සන්දර්භයන්, දේශීය ආහාර සහ ආහාර චාරිත්‍ර ආදී කරුණු ගණනාවක සංකලනයෙනි.

ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන පරිදි වැඩිහිටියන් සඳහා සෞඛ්‍යසම්පන්න ආහාර වන්නේ පලතුරු, එළවළු, රනිල බෝග (උදා. පරිප්පු හා බෝංචි), ඇට වර්ග සහ සම්පූර්ණ ධාන්‍ය වර්ගයි (උදා. එලෙස සකස්කළ බඩඉරිඟු, මෙනේරි, ඕට්ස්, තිරිඟු සහ දුඹුරු සහල් ආදිය හැඳින්විය හැකිය). දිනකට ලුණු පරිභෝජනය ග්‍රෑම් 5ක් නැතහොත් තේ හැන්දක ප්‍රමාණය නොඉක්මවිය යුතුය.

දරුවකුගේ ජීවිතයේ පළමු වසර දෙක තුළ ප්‍රශස්ත මට්ටමේ පෝෂණය ලබාදීමෙන් සෞඛ්‍යසම්පන්න වර්ධනයක් ලබාගත හැකිය. ඒ සඳහා ජීවිතයේ පළමු මාස 6 තුළ ළදරුවන්ට මවුකිරි පමණක්ම ලබාදිය යුතු අතර අමතර ආහාර හුරු කිරීමේදී ලුණු සහ සීනි එකතු නොකළ යුතුය.

වැඩිහිටියන් හා ළමුන් ඇතුළු සෑම වයස් කාණ්ඩයකම පසුවන්නන් අධික ලෙස සීනි ආහාරයට ගැනීමෙන් දත් දිරායාම වැඩි කරයි. සීනි අධික ආහාරපානවලින් අධික කැලරි ප්‍රමාණයක් සිරුරට එකතු වන අතර, එය තරබාරුකමටද හේතුවකි.

ඊට අමතරව සෑම අයකුගේම නිරෝගී සෞඛ්‍යය වෙනුවෙන් දිනකට පලතුරු හා එළවළු අවම වශයෙන් ග්‍රෑම් 400ක් හෝ වර්ග පහක් අනුභවයට ගැනීමෙන් බෝ නොවන රෝග වැලඳීමේ අවදානම අඩුකරගත හැකි බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයයි. විශේෂයෙන් නැවුම් එළවළු හා පලතුරු ආහාරයට ගැනීම වඩා හිතරකය. එමෙන්ම වැඩිහිටි ජනගහනය තුළ දේහ බර අධික ලෙස ඉහළ යාම සියයට 30කින් අඩුකර ගැනීමට නම් සංතෘප්ප මේද පරිභෝජනය සියයට 10 දක්වා අඩුකිරීමද අවශ්‍ය වේ.

සෞඛ්‍යසම්පන්න ජීවිතයක් ගත කිරීමට ඒ පිළිබඳ අවබෝධය සහ දැනුවත් බව සෑම පුද්ගලයකුටම අවශ්‍ය වන අතර සෞඛ්‍යසම්පන්න ආහාර පරිසරයක් නිර්මාණය කිරීම සෑම රජයකම ප්‍රධාන කාර්යභාරයක් බවද ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.

ඒ අනුව නිෂ්පාදකයන් හා සිල්ලර වෙළෙන්දන් සඳහා නැවුම් පලතුරු සහ එළවළු ප්‍රවර්ධනය කිරීම, භාවිතය සහ විකිණීම සඳහා දිරිගැන්වීම් වැඩි කිරීම, ආහාර කර්මාන්තය අඛණ්ඩව පවත්වා ගැනීමට වැඩි දියුණු කරන ලද සංතෘප්ත මේද, සීනි සහ ලුණු අඩු සහ රහිත ආහාර නිෂ්පාදනය කිරීමට දිරිගැන්වීම,

දරුවන්ට කෘත්‍රිම සහ සකස් කළ ආහාරපාන අලෙවි කිරීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ පිළිපැදීම, පෙර පාසල්, පාසල්, රාජ්‍ය ආයතන සහ වැඩබිම් තුළ මහජනතාවට සෞඛ්‍ය සම්පන්න, පෝෂණීය, ආරක්ෂා සහිත සහ දැරිය හැකි මුදලට ආහාර ලබාගැනීමේ අවස්ථා වැඩිකිරීම, සෞඛ්‍ය සම්පන්න ආහාර භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රමිතීන් ස්ථාපනය කිරීම, ආහාරවල පෝෂණ ගුණය වැඩිදියුණු කිරීම සඳහා අන්තර්ජාතික, ජාතික හා දේශීය ආහාර සේවා සහ ආහාර සැපයුම් මධ්‍යස්ථාන දිරිමත් කිරීම, සෞඛ්‍යසම්පන්න තෝරා ගැනීම් සඳහා සාධාරණ මිල ගණන් සහතික කිරීම සෞඛ්‍යසම්පන්න ආහාර සඳහා වන පාරිභෝගික ඉල්ලුම දිරිමත් කිරීම, සෞඛ්‍යසම්පන්න ආහාර ගැන වැඩි වශයෙන් මහජනතාව දැනුවත් කිරීම, සෞඛ්‍යසම්පන්න ආහාර අනුභව කිරීම සහ පවත්වා ගැනීම සඳහා දරුවන් දිරිගන්වන පාසල් ප්‍රතිපත්ති සහ වැඩසටහන් සංවර්ධනය කිරීම, පාසල් හරහා ළමුන්ගේ සූපශාස්ත්‍ර කුසලතා දිරිමත් කිරීම, ආහාරවල පෝෂක අන්තර්ගතයන් පිළිබඳ නිවැරදි, ප්‍රමිතිගත හා තේරුම්ගත හැකි තොරතුරු අඩංගු වන පෝෂණ ලේබල් කිරීම ඇතුළුව ස්ථානීය වෙළඳ තොරතුරු සැපයීම, ප්‍රාථමික සෞඛ්‍ය පහසුකම් සඳහා පෝෂණය සහ ආහාර ලබාදීම, මවුකිරි කළමනාකරණය පිළිබඳ ලෝක සෞඛ්‍ය සම්මේලනයේ යෝජනාවලිය අනුගමනය කිරීම, වැඩකරන මවුවරුන්ගේ දරුවන් රැකබලා ගැනීම සඳහා ප්‍රතිපත්ති හා පුරුදු ක්‍රියාත්මක කිරීම, ළදරු හිතකාමී රෝහල් ආරම්භ කිරීම, මවුවරු තුළ මවුකිරි දීම ප්‍රවර්ධනය, ආරක්ෂා කිරීම හා සහාය දීම වැනි කරුණු රාශියක් ලෝක සෞඛ්‍ය සංවිධානය යෝජනා කරයි.

රජයකට කළ හැක්කේ ප්‍රතිපත්ති සැකසීම, ක්‍රියාත්මක කිරීම සහ පසු විපරම පමණි. විශේෂයෙන් සෞඛ්‍ය සම්බන්ධ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම සඳහා මහජනතාවගේ දායකත්වය ප්‍රශස්ත මට්ටමක පැවතිය යුතුමය. එමෙන්ම තම පෞද්ගලික සෞඛ්‍යය රැකගැනීම කෙරෙහි සෑම පුද්ගලයකුටම පෞද්ගලික වගකීමක් තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ දත්ත වාර්තා අනුව බෝ නොවන රෝග නිසා දිනකට ශ්‍රී ලාංකිකයෝ 240-250ත් අතර සංඛ්‍යාවක් අකාලයේ මරු වැලඳ ගනිති. එම අවාසනාවන්ත තත්ත්වය තවදුරටත් ඉහළ නැංවීම වළක්වා ගැනීමට සෑම පුරවැසියකුටම වගකීමක් තිබේ. ඒ සඳහා "කට මට්ටුකර ගැනීම" වැදගත් වන්නේ බෝ නොවන රෝග රාශියකට මූල බීජය වන්නේ වේලාවක් කලාවක් නොබලා ගුණයක් අගුණයක් ගැන නොවිමසා ඔහේ අතට හසුවන ඕනෑම ආහාරයක් ගිලදැමීමේ නරක පුරුද්ද වන නිසාය. අලුත් අවුරුද්දේවත් තමන්ගේ ආහාර පුරුදු ගැන වැඩි අවදානයක් යොමුකර නිරෝගී සම්පත ළඟාකර ගැනීමට අදිටන් කරගත හැකිනම් එය ඔබ ඔබටම කරගන්නා යහපතකි.

​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල