නිතර උණු වතුර නෑම ඇස්වල ශක්තිය දුබල කරවයි

views 2018-12-06 12:05:00 Life_New

“මට විනාඩි දෙකක් දෙන්නකෝ ටක් ගාලා මම නාගෙන එන්නම්”“ඔයා දන්නවද මට නාන්න යන්නෙ තත්පර ගාණයි”නූතනයේ බොහෝ දෙනා පෙළන කාලය සමග පවතින නොනවතින සටන අතරතුර නෑම සඳහා වැය කිරීමට ඉතිරිවන කාලය ගැන කියැවෙන කතාවට ඌන පූරණයක් සපයන දෙබස් කීපයකි ඒ. ආයුර්වේදයට අනුව හොඳ නෑමක් යනු ශරීරයේ සියලුම ඉන්ද්‍රියන් ඉතා හොඳින් පිරිසිදු වන ලෙස සිදුකරන්නකි. ශරීරයේ ඇති කුණු, දූවිලි, මැරුණු සම වැනි මළ කොටස් හොඳින්  ඉවත්ව යන ලෙස අතුල්ලා පිරිසිදු කර ගැනීම හොඳ නෑමකි. යන්තමට ශරීරය තෙමා ගැනීම නෑමක් වන්නේ නැත. එසේම හොඳ නෑමකින් ශරීරයට ලැබෙන්නේ පවිත්‍රතාවය පමණක්ම නොවේ. වතුරකට බැස නෑමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලැබෙන නමුදු එය සිදුකිරීම සැම විටම ප්‍රායෝගික නොවන බැවින් ප්‍රමාණවත් තරමට නා ගැනීම වඩාත් යෝග්‍ය වෙයි. එසේම ප්‍රමාණවත් තරමට නොනෑමද විවිධ සෞඛ්‍ය ගැටලු  ඇති කිරීමට හේතු වනු ඇත. හොඳ නෑමකින් ශරීරය පිරිසිදු වනවාට වඩා ප්‍රතිලාභ ලැබේ.

ආයුෂ වර්ධනයට සේම ශරීරයේ බලය වැඩිකිරීමටද නෑම සමත්ය. ශරීරයට දැනෙන වෙහෙස සේම අධික දහඩිය පිටවීම අඩු කිරීමද නෑමකට කළ හැකිය. හෘදයට ගුණදායක ප්‍රතිඵල රැගෙන එන නෑමෙන් සිතේ තෘප්තිය සතුට වැඩි කිරීමට හේතුවන බවද ආයුර්වේදයේ සඳහන්වෙයි. එසේම සිරුරට දැනෙන ඈලිමෑලි ගති පලවා හැරීමට රුධිරය පිරිසිදු කිරීමට සේම ආහාර ජීර්ණ පද්ධතියේ නිසි ක්‍රියාකාරිත්වයටද හොඳ නෑමක් හේතුවන බව බොහෝ දෙනා නොදන්නවා විය හැකිය. මේ සියලු යහපත් ප්‍රතිඵල අත්කරගත හැක්කේ පිරිසිදු ඇල් ජලය නෑම සඳහා භාවිතා කරනවා නම් පමණි. උණු වතුර නෑම අද සමාජයේ ජනප්‍රිය වී තිබෙන නමුත් එය සෞඛ්‍ය සම්පන්න බවට හිතකර වන්නේ නැත. උණු වතුර නෑම, සෙම් සහ වාත රෝග වලට ප්‍රතිකාරයක් ලෙස දක්වා තිබේ. නමුත් නිතර උණු වතුර නෑම හිසකෙස් වලට ඇස්වලට ඉතාම අහිතකරය. අකලට හිසකෙස් පැසීමට, හිසකෙස් ගැලවීයාමට මොනතරම් නම් ප්‍රතිකාර ලබා ගත්තද උණු වතුර නානවා නම් ප්‍රතිඵලයක් ලබාගත නොහැකිය.

විශේෂයෙන් බෙල්ලෙන් ඉහළ කොටසට උණු වතුර ගුණ දෙන්නේ නැත. එය ඇස්වල ශක්තිය පෙනීම දුබල කිරීමටද හේතුවකි. ඉතා අධික ලෙස වෙහෙසට පත්ව සිටින විටෙක උණු වතුර නෑම ඔසුවක් සේ විය හැකිය. නමුත් නිතිපතා උණු වතුර නෑම සෞඛ්‍යයට හිතකර නොවේ. එය සමට ඇස්වලට හිසකෙස් වලට අහිතකර ප්‍රතිඵල රැගෙන ඒම වළකනු අසීරුය.

උපදෙස් වලපනේ නීල්දණ්ඩාහින්න ග්‍රාමීය ආයුර්වේද රෝහ‍ලේ ආයුර්වේද වෛද්‍යතරංග සඳකැලුම් වීරතුංග

​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල