බොහෝ විෂබීජ නාශකයන්ගෙන් දරුණු පෙණහලු ආසාදනයන් වැළඳීමේ අවදානමක්‌



views 2017-09-14 10:37:00 Life_New

බ්ලීචිං කුඩු ඇතුළු අනෙකුත් පොදු විෂබීජ නාශකයන් යොදා ගෙන නිවාස පිරිසිදු කිරීම හරහා දරුණු පෙණහලු ආසාදනයන්ට පුද්ගලයන් ලක්‌ වීමේ අවදානම වැඩි බව වසර 30 ක්‌ මුළුල්ලේ හාවඩ් විශ්වවිද්‍යාලය හා සෞඛ්‍ය හා වෛද්‍ය පර්යේෂණ පිළිබඳ ප්‍රංශ ජාතික ආයතනය විසින් ඒකාබද්ධව සිදුකරන ලද අධ්‍යයනයකදී අනාවරණය වී තිබේ.

මෙවැනි විෂබීජ නාශක ද්‍රව්‍යයන් යොදා ගනිමින් සතියකට වරක්‌ නිවාස ශුද්ධ පවිත්‍ර කරන අයකුට දරුණු පෙණහලු ආසාදනයක්‌ වැළඳීමේ අවදානම සියයට 32 කින් වැඩි බව එම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ.

ඇමරිකා එක්‌සත් ජනපදයේ හෙද හෙදියන් 55,000 කට අධික සංඛ්‍යාවක්‌ යොදා ගෙන සිදු කරන ලද මෙම අධ්‍යයනයේදී පොදු විෂබීජ නාශකයන් ආසාදනයන් පාලනය කිරීම සඳහා යොදා ගැනීමේදී ''ක්‍රොනික්‌ ඔබ්ස්‌ට්‍රක්‌ටිව් පුල්මොනරි ඩිසීස්‌'' (කෝප්ඩ්) නමැති රෝගය වැළඳීමේ අවදානම වැඩිබව අනාවරණය වී තිබේ.

''(කෝප්ඩ්) රෝගයට එක්‌සත් රාජධානියේ පමණක්‌ මිලියන 1.2 ක්‌ පමණ දෙනා ගොදුරු වන බව අනාවරණය වී ඇති අතර එම රෝගය ''එම්පිසිමා'' හා ක්‍රොනික්‌ බ්‍රොන්කයිටිස්‌ යන රෝගවල සංකලනයක්‌ සේ සැලැකේ, එහිදී වාතය ආශ්වාස හා ප්‍රශ්වාස කිරීම අසීරු වනුයේ පෙණහලුවල ආශ්වාස ප්‍රශ්වාස කිරීමට උපකාර වන අංශයන් සිහින් වීම හේතුවෙනි.

කෝප්ඩ් රෝගය යුරෝපයේ පුද්ගලයන් මිය යන තුන්වැනි ප්‍රධානතම රෝග තත්ත්වය ලෙස හැඳින්වේ.

මෙම විෂබීජ නාශකයන් ඇදුම වැනි රෝග තත්ත්වයන් වැළඳීමේ අවදානම වැඩි කරන බව මෙයට පෙරදී අධ්‍යයනවලදී අනාවරණය කරගෙන තිබිණි.

''බිලීsචිං කුඩු හා ස්‌ප්‍රේ වර්ග නිවාසවල් පිරිසිදු කිරීම සඳහා යොදා ගැනීමේදී ඇදුම වැනි රෝග වැළඳිය හැකි බව අනාවරණය වී ඇතත් ඒ පිළිබඳව තවත් අධ්‍යයනයන් සිදුකළ යුතුව ඇතැයි පර්යේෂකයෝ පෙන්වා දෙති.

අධ්‍යයනය සිදුකළ කාලය තුළදී හෙද හෙදියන් 663 විෂබීජ නාශකයන් හේතුවෙන් හට ගන්නා ''කෝප්ඩ්'' රෝග තත්ත්වය වැළඳී තිබූ බව අනාවරණය වී තිබේ.

මෙම තත්ත්වය මත රෝහල් හා නිවාසවල විෂබීජ නාශකයන් ශුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු සඳහා යොදා ගැනීමේදී නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශන උපදෙස්‌ මාලාවක්‌ පැවැතීම අත්‍යවශ්‍ය කරුණක්‌ වී ඇතැයි පර්යේෂකයෝ සඳහන් කර සිටිති.

​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල