හිටි හැටියේ දරුවාට අධ්‍යාපනය එපා වෙලාද? ඔබ හිතන්නේ එය දරුවාගේ වරදක්‌ කියලාද? එය එසේ නොවෙයි

views 2017-09-13 11:35:00 Life_New

මානසික සෞඛ්‍ය සහ මානසික රෝග අතර සම්බන්ධතාව පිළිබඳ මූලික කරුණු බොහොමයක්‌ පසුගිය සතියේදී විස්‌තර කළෙමු. ඒ පිළිබඳ තවදුරටත් විමසා බලමු.

ජීවිතයේදී තමාට මුහුණදීමට සිදුවන අභියෝග ජයගෙන ජීවිතය සාර්ථකව ඉදිරියට ගෙන යැම සඳහා තමන්ගේ මානසික සෞඛ්‍ය ස්‌ථාවර තත්ත්වයකින් පවත්වාගෙන යා යුතු බවට දැන් ඔබට වැටහීමක්‌ ඇත.

එමෙන්ම හොඳ මානසිකත්වයක්‌ හිමි කෙනෙක්‌ නිරන්තරයෙන් ඵලදායී පුද්ගලයකු ලෙස සමාජය නියෝජනය කරන්නෙක්‌ වනු ඇත.

උදාහරණයක්‌ ලෙසට හොඳ මානසික සෞඛ්‍යයක්‌ හිමිකර ගත් ශිෂ්‍යයෙක්‌ ඉතාම දක්‍ෂ ලෙස තමන්ගේ අධ්‍යාපනය තුළින් උසස්‌ අධ්‍යාපනය සාර්ථකව, තමන්ට කරදරයක්‌ නොමැතිව, අන් අයටත් කරදරයක්‌ නොමැතිව ඉදිරියට කරගෙන යයි. මෙහිදී මතු කළ යුතු වැදගත් කාරණාවක්‌ තිබේ. එනම් වර්තමානයේ ඇතැම් දෙමාපියන් තම දරුවාගේ අධ්‍යාපනයේ හිටි හැටියේ ඇතිවන කඩා වැටීම් ගැන බොහෝම කනස්‌සල්aලෙන් පසුවන අවස්‌ථා පිළිබඳවයි.

"අනේ මගේ දරුවා සාමාන්‍ය පෙළ දක්‌වා හොඳට වැඩ කළා. උසස්‌ පෙළ මුල අවුරුද්දත් බොහොම හොඳට වැඩ කරගෙන ආවා. අපි බලාපොරොත්තු වුණේ පළමු සැරේම විශ්වවිද්‍යාලයට තේරේවි කියලයි. ඒත් හිටි හැටියේ මේ ළමයාගේ අධ්‍යාපනයේ කඩා වැටීමක්‌ ඇති වුණා. දැන් ඉස්‌සර වාගේ පාඩම් කරන්නේ නැහැ. පොතක්‌ අතට ගත්විට ඔළුව කැක්‌කුමයි කියනවා. මතක හිටින්නේ නැහැ කියනවා. ඉස්‌සර වාගේ කිසිම උනන්දුවක්‌ නැහැ. හොඳට හිටිය ළමයට මොකද මේ වුණේ. කවුරුහරි කොඩිවිනයක්‌වත් කරලාද, අපලවලට කියලා යන්තරේකුත් දැම්මා. ඒත් වෙනසක්‌ නැහැ." මේ අපට බොහෝ වේලාවට මවුපියන්ගෙන් තම දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ අසන්නට ලැබෙන දෙයක්‌. දරුවන් අධ්‍යාපනයට පසුබට වීමේදී නැගෙන මැසිවිල්ලක්‌.

සැබැවින්ම ඔබත් මෙවැනි වූ සිදුවීම් අනන්තවත් අහලා ඇති. නැතිනම් ඔබටත් මෙවැනි වූ අත්දැකීම් ඇති.

සැබැවින්ම මෙය දරුවාගේ වරදක්‌ නොවෙයි. මෙය වෙනයම් අත්භූත දෙයකුත් නොවෙයි. මෙය මානසික රෝගයක්‌ නොවන්නත් පුළුවන්. නමුත් මානසික සෞඛ්‍යයේ යම්කිසි වූ තැනෙක ඇති වුණු කඩාවැටීමක්‌, අසමබරතාවක්‌ නිසා හටගත් තත්ත්වයක්‌ වෙන්න පුළුවන්.

මෙහි තිබෙන වැදගත්ම දෙය මෙවැනි තත්ත්වයන් තේරුම් නොගැනීම නිසා මවුපියන් දරුවන්ට අනවශ්‍ය බලපෑම් ඇති කිරීමට පටන් ගැනීම තුළින් මෙම පීඩනය තවත් උග්‍ර විය හැකි බවයි.

ඇතැම් මවුපියන් තරවටු කිරීම තුළින් තද නීති රීති පැනවීමේදී දරුවන්ට අධ්‍යාපනය තව තවත් එපා වීම තුළ අවසානයේ භයානක ප්‍රතිඵල මතුවිය හැකියි.

කරුණු කාරණා එලෙසින් වන නිසාම මේ පිළිබඳ දැනුමක්‌ ඇති වෛද්‍යවරයකු වෙත දරුවා යොමුකර අවශ්‍ය උපදේශනය සහ ප්‍රතිකාර මත මෙම තත්ත්වය යථා තත්ත්වයට පත්කර ගත හැකියි.

මෑතකදී සබරගමුව පළාතේ කළ පරීක්‍ෂණයකට අනුව වාර්තා වන්නේ පාසල් ළමුන් තුළ තිබෙන ආතතිය. ජනිතකර වීමේ ප්‍රධාන හේතු කාරණය විභාග භීතිකාව බවයි. කෙසේ වෙතත් මෙම තත්ත්වය හරිහැටි කළමනාකරණය කර ගැනීමේ ක්‍රමවේදයන් පුද්ගලයාගෙන් පුද්ගලයාට, එම පෞරුෂයන්ට අනුබද්ධ වුණු ලාක්‍ෂණික ගුණාංග හැටියට අපි මේ ලෝකයට බිහිවන බව තේරුම් ගත යුතුයි.

අපි මෙහිදී කතා බහ කළේ මානසික සෞඛ්‍ය අධ්‍යාපනයට බලපාන ආකාරයයි.

මානසික සෞඛ්‍ය ජීවිතයට බලපාන අයුරු තවදුරටත් ඉදිරියේදී විමසා බලමු.


​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල