සතියක් ඇතුලත සිරුරේ බර අඩු කර ගන්න ටිප්ස් 12ක්

views 2017-08-16 09:27:00 Life_New

සිරුරේ බර අඩු කරගෙන සිහින් සිරුරක හිමිකාරියක් වන්න අපි හැමෝම කැමතියි. එත් ඉතින් කට පාලනය කර ගන්න එක නම් ගොඩක් අයට ලොකු ගැටළුවක්. බොහෝ වෙලාවට අපි ආහාර ගන්නේ බඩගිනි නිසාම නෙවෙයි ආසාවට, විවිධ කාලගුණ වෙනස්කම් නිසා, ආතතිය නිසා වැනි වෙනත් හේතුන් නිසයි. ඒකට විසඳුම නම් අපිවම පාලනය කර ගැනීමට හුරුවීමයි. ඒ සඳහා උදව් වෙන සරල උපක්‍රම 12 ක් ගැන තමයි මේ කියන්න යන්නේ. ඔබත් බර අඩු කර ගන්න උත්සහා කරන කෙනෙක් නම් මේ ලිපිය වැදගත් වේවි.

1) තමන් අසමත් වේවි යැයි බය වෙන්න එපා

බොහෝ දෙනෙක් සතියක් දෙකක් ඉතාම හොඳින් ආහාර පාලනය කරගෙන ඉන්නවා. එත් ඇතැම් දිනෙක කුමක් හෝ රසවත් කෑමක් කෑමට දැඩි ආශාවක් ඇති වෙනවා. මෙය ඔබට පමණක් සිදුවන දෙයක් නෙවෙයි. මෙය හැමෝටම පොදු දෙයක්. මේක ඔබ මුහුණ දෙන ඉතා අමාරු අවස්තාවක් විය හැකියි. එත් මේකට බය වෙන්න එපා. මෙවැනි වෙලාවට කලබල වීමෙන් වැළකී සන්සුන් වන්න. ලස්සන සිරුර ගැන නැවතත් සිතේ මවාගෙන ඔබ කන්න හදපු රසවත් කෑම අමතක කරලා දාන්න. ඊට පස්සේ ඔබේ සුපුරුදු එළවලු පළතුරු වලටම විතරක් සීමා වෙන්න.ඒ වගේම තමයි ඔබට මෙය දිගටම කරගෙන යන්න බැරි වෙයි කියලා අධෛර්යයමත් වෙලා මෙය නවතා දමන්න එපා.
2) ආහාර වර්ග දෙකක් නිතරම ඔබේ පිඟානේ තබා ගන්න

සිරුර හැඩ කර ගන්න කියලා කන්න අමාරු කෑම ඉතා අමාරුවෙන් ආහාරයට ගත්තොත් එය ඔබට එපා විය හැකියි. ඒ වගේම එකම කෑම දිගටම ගැනීමෙන් ද ඔබට ආහාර පාලනය අඛණ්ඩව කළ නොහැකි විය හැක. එනිසා නිතරම ආහාර වර්ග දෙකක් ඔබේ ආහාරයට එක කර ගන්න. මස් වර්ගයක් හා සලාද පිඟානක්, මාළු සහ සලාද, නැතිනම් එළවලු සහ මාළු ආදී වශයෙන් විවිධාකාරයෙන් යුතු ආහාර ඔබේ ආහාරයට එක් කර ගැනීමෙන් ඔබට ඒකාකාරී බවෙන් මිදිය හැක.
3) දෙවරක් ආහාර බෙදා ගැනීමෙන් ඔබව වළක්වා ගන්න

ආහාර බෙදා ගෙන කුස්සියටම වෙලා ආහාර ගන්නවා නම් දෙවරක් ආහාර බෙදා ගැනීමේ සම්භාවිතාව ඉතාමත් වැඩියි. මොකද එතකොට ඔබ ඉන්නේ ආහාර අසළමයි. එනිසා මෙයින් වැළකී සිටීමට ඔබට පුළුවන් ඔබ ආහාර ගන්න ස්ථානය වෙනස් කිරීමට. උදාහරණයක් ලෙස නිවසේ සාලයේ හෝ ඔබේ කාමරයේ හෝ බැල්කනියේ හෝ මෙවැනි ස්ථානවල හිඳ ඔබේ ආහාර ගැනීමෙන් ඔබට දෙවරක් ආහාර බෙදා ගැනීමට සිතුනත් නැවත මුළුතැන්ගෙයට යා යුතු නිසා එයින් ඔබව වැළකේවි.
4) හොරෙන් කාපු ඒවගේ සාක්ෂි විනාශ කරන්න එපා.

ඔබත් ඔබ ආහාරයට ගත් දේවල් ඉක්මනින්ම අස් කරනවද? එත් ඔබ ආහාර පාලනය කරන කෙනෙක් නම් ඒ කාලයට විතරක් මේක ටිකක් ප්‍රමාද කලාට කමක් නැහැ. ඔබ ආහාරයට ගත්තේ මොනවද කියලා ඔබට පේන්න තියනකොට ඔබ වැරදි දේවල් නැවත ආහාරයට ගැනීම වැළකෙනවා. ඔබ අධික තෙල් සහිත කෑමක් ආහාරයට ගතහොත් පසුව එය දකින විට ඔබටම හිතේවි කෑවේ අපරාදේ කියලා. එතකොට නැවත වතාවක් ඔබ එවැනි දේවලට යොමු වීමෙන් වැළකේ. එනිසා ඔබ කාපු බීපු දේවල්වල සාක්ෂි ඉතුරු කලාට කමක් නැහැ.
5) ඔබත් පිඟාන ඉවර වෙනකන් කනවද?

බඩගින්නට වඩා තමන් බෙදා ගත්ත පිඟාන ඉවර වෙනකන් කන එක බොහෝ දෙනෙකුගේ පුරුද්දක්. ඒ නිසා කෑම බෙදාගන්න කොට තරමක් කුඩා පිඟානකට ආහාර ටිකක් බෙදා ගන්න එක වඩා සුදුසුයි. එයින් ඔබේ හිතත් පිරෙනවා බඩත් පිරෙනවා. ඒ වගේම ඔබ වැඩිපුර ආහාර ගන්න එකෙනුත් වැළකෙනවා.
6) හවුලේ කන එක හොඳද?

පුංචි දරුවන් පවා නිවසේදී අම්මා කවනකොට කන්නේ නැති වුනාට යහළුවන් එක්ක එකතු නම් හොඳට ආහාර ගන්නවනේ. ඒ වගේ තමයි පර්යේෂණ වලට අනුව කියවෙන්නේ ඔබත් වෙනත් අය සමග එකතු වී ආහාර ගන්න විට තනියම ආහාර ගන්නවාට වඩා 30% ක් වැඩිපුර ආහාර ගන්නා බවයි. එනිසා හැකි සෑම විටෙකම තනිව ආහාර ගැනීමට උත්සහ දරන්න. වෙනත් අය සමග ආහාර ගන්න විට හැකි තරම් කෙටි ආහාර වලට යොමු වන්න. එවිට ඔබ වැඩිපුර ආහාර ගැනීමෙන් වැළකී සිටිය හැක.
7) ලැයිස්තුවට අනුවම වැඩ කරන්න

ඔබ ආහාර පාලනය කරන කෙනෙක් නම් ඔබ සතුව සතියට ගාන්නා ආහාර ලැයිස්තුවක් අනිවාර්යයෙන්ම තිබිය යුතුය. ඔබට අවශ්‍ය කැලරි ප්‍රමාණය අනුව ඔබට එම ලැයිස්තුව සකසා ගත හැක. අවශ්‍ය නම් සුදුසු අයෙකුගෙන් උපදෙස් වුවද ලබා ගත හැක. ඉන් පසුව ඔබ අවශ්‍ය බඩු මිලදී ගන්න විට ලයිස්තුවේ ඇති දේවල්ම පමණක් මිලදී ගැනීමට වග බලා ගන්න. එවිට ඔබට අනවශ්‍ය ආහාර ගැනීමෙන් ඔබ වැළකී සිටීවි.
8) රසවත් දේවල් වලින් ඈත් වෙන්න

ඔබේ නිවසේ ඇති ඉක්මනින් ලඟා විය නොහැකි තැන ඔබ සතුව තියන රසවත් කෑම ටික තියන්න. එය ඔබේ ශීතකරණයේ කොනක වුනත් කමක් නැහැ. මේ විදියට ඉක්මනින් ගන්න බැරි තැන්වලින් පැණි රස කෑම තැබීමෙන් ඔබ ඒවා ආහාරයට ගැනීම අඩු වේ. ඔබට හිතෙන්න පුළුවන් ඔබ මේවා මිලදී නොගෙනම හිටියා නම් හරි කියලා. එත් ඔබ මෙවැනි පැණි රස සහ රසවත් දේවල් නිවසට ගෙන එම සම්පුර්ණයෙන්ම නවත්වා දැමීමෙන් ඉඩ ලද විටෙක ඔබ ඒවා ආහාරයට ගැනීම ඉතාම වැඩි වන බව පර්යේෂණ වලින් තහවුරු වෙලා තියනවා. ඒ නිසා එවැනි දේවල් මිලදී ගෙන නිතර ඔබට හසු නොවන ස්ථානයක ගබඩා කිරීම තමයි සුදුසුම ක්‍රමය.
9) ආහාර හොඳින් හපන්න

අප ගන්නා ආහාර අඩුම තරමේ 32 වරක් පමණ හොඳින් සැපිය යුතු බව පර්යේෂණ වලට අනුව හෙළි වේ. එය අපගේ සෞඛ්‍යයට ද උදව් වන අතර එමගින් ආහාර වැඩිපුර ගැනීම වැලක්වීමට ද හැකි බව සොයාගෙන ඇත. මෙයින් ආහාර දිරවීම පහසු වන අතරම ඉක්මනින් කුසගිනි නිවීම ද සිදු වේ. එයින් ප්‍රමාණයට වඩා ආහාර ගැනීම වැළකේ.
10) උදෑසනට හොඳින් ආහාර ගන්න

ඔබ ආහාර පාලනය කරන අයෙකු ලෙස උදෑසනටත් ආහාර ගන්නේ ඉතාම අඩුවෙන් ද? එය නම් හොඳ දෙයක් නෙවෙයි. උදෑසන ආහාරය කියන්නේ දවසේ වැදගත්ම සහ ප්‍රධානම ආහාරය. එනිසා උදෑසනට පෝෂ්‍යදායී සමබල ආහාරයක් ගත යුතුය. බොහෝ දෙනෙකු ආහාර පාලනය කරනවා යයි සිතා උදෑසන ආහාරය නොගෙන සිටිති. එවිට දහවල් වන විට ඔබට අධික කුසගිනි දැනෙන අතර ඔබට නොදැනුවත්වම ඔබ වැඩිපුර ආහාර ගනී. එනිසා උදෑසන ආහාරය මග හැරීමෙන් වලකින්න. ඒ වෙනුවට උදෑසනට හොඳින් ආහාර ගෙන දහවල් සහ රාත්‍රී ආහාර වේල් අඩුවෙන් ගන්න. උදෑසන ඔබ හොඳින් ආහාර ගත්තද දවස පුරා ක්‍රියාකාරී වීම මගින් කැලරි දහනය වන නිසා ඒ පිලිබඳ ගැනීම ගැන සිතා වද වෙන්න එපා.
11) ඔබේ පිඟානටම ආහාර බෙදා ගන්න

ඔබ ආහාර ගන්නා විට ඔබ අසළ තවත් ආහාර තිබේ නම් ඔබට තව වැඩිපුර ආහාර බෙදා ගැනීමට සිතේ. එනිසා පළමුව ආහාර වෙනත් බඳුන් වලට බෙදා එම ආහාර දීසි ආදිය ළඟ තබාගෙන ආහාර ගැනීමෙන් වලකින්න. ඒ වෙනුවට ඔබේ පිඟානටම කෙලින්ම ආහාර බෙදා ගන්න. ඉන් පසු ආහාර දැමු භාජන ඇති ස්ථානයෙන් ඉවත් වී වෙනත් තැනකට ගොස් ආහාර ගන්න. එයින් ඔබ වැඩිපුර ආහාර බෙදා ගැනීම වැළකේ.
12) සන්සුන්ව ඉවසීමෙන් කටයුතු කරන්න.

ඔබට කෙට්ටු වෙන්න උවනමා වුවත් එය දවසකින් දෙකකින් කල නොහැකියි. එනිසා ඔබ ඉතාමත් ඉවසීමෙන් යුතුව කටයුතු කළ යුතුයි. ඒ වගේම මෙම ක්‍රම සියල්ලම එකවර ක්‍රියාත්මක නොකළ යුතුයි. සතියකට එක ක්‍රමයක් බැගින් ආරම්භ කරන්න. ක්‍රම ක්‍රමයෙන් එය වැඩි කරන්න. එකවර සියල්ලම ආරම්භ කිරීමෙන් ඔබට ඉක්මනින්ම මෙය එපා විය හැක. එනිසා සන්සුන්ව ඉවසිලිමත්ව ක්‍රම ක්‍රමයෙන් මේ සියල්ල අත්හදා බලන්න. එවිට අනිවාර්යයෙන්ම ඔබට සිහින් සුන්දර සිරුරක් ලබා ගත හැකි වනු ඇත.

​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල