"අදෘශ්‍යමාන ග්ලෝකෝමාව පරදවමු"


views 2017-03-17 11:06:00 Life_New

ලෝක ජනගහනයෙන් මිලියන 4.2 ක ප්‍රමාණයක්‌ ග්ලෝකෝමා නිසා ඇති වන අන්ධ භාවයෙන් පෙළේ. මෙයට හිමිවන්නේ වළක්‌වා ගත හැකි අන්ධ භාවයෙන් දෙවන ස්‌ථානයයි. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 250,000 ක්‌ පමණ ග්ලෝකෝමා රෝaගයට ලක්‌ව ඇත. එය මුළු ජනගහනයෙන් 6% කි. මෙය ලංකාවේ මෑතකදී කරන ලද ජාතික අන්ධ භාවය පිළිබඳ සමීක්‌ෂණයේදී අනාවරණය විය. මේ පිළිබඳ නිශ්චිත දත්ත ඉදිරියේදී නිකුත් කෙරේ.

ග්ලෝකෝමා රෝගය වළක්‌වා ගත හැක්‌කේ කල්තියා හඳුනා ගැනීමෙන් පමණි. මෙම රෝගයේ මුල් අවධියේ සාමාන්‍ය පෙනුමක්‌ තිබෙන අතර, රෝග ලක්‌ෂණ පෙන්නුම් නොකෙරේ. එම නිසා මෙම රෝගය හඳුනා ගැනීම සඳහා වයස අවුරුදු 40 ට වඩා වැඩි අය ග්ලෝකෝමා රෝගය සඳහා දැස්‌ පරීක්‌ෂා කර ගැනීම අත්‍යවශ්‍ය වේ.

නමුත් ඔබ වයස අවුරුදු 60 ට වැඩි නම් අනිවාර්යයෙන්ම ග්ලෝකෝමා රෝගය සඳහා පරීක්‌ෂා කර ගත යුතු වේ. පවුලේ අයකුට රෝගය තිබේ නම් අනිවාර්ය පරීක්‌ෂාවකට භාජනය කළ යුතු වේ. එමෙන්ම දියවැඩියා රෝගියෙකු තම අක්‌ෂි පරීක්‌ෂාවේදී ග්ලෝකෝමා රෝගය සඳහාද පරීක්‌ෂා කරවා ගැනීම වැදගත් වේ. අක්‌ෂි ස්‌නායුවට ස්‌ථිර හානි සිදු වීම නිසා ක්‍රමක්‍රමයෙන් අන්ධ භාවයට පත්වීම මෙම රෝගයේදී සිදු වේ.

එබැවින් කල්තියා රෝගය හඳුනා ගැනීමේන් සහ ප්‍රතිකාර කිරීමෙන් ග්ලෝකෝමාව වළක්‌වා ගත හැකි බව මහජනතාව දැනුවත් කිරීම වැදගත් වේ. ග්ලෝකෝමාව රෝගය පිළිබඳ ජනතාවගේ අවධානය වැඩි කිරීම සහ ඒ පිළිබඳ උනන්දු කිරීම උදෙසා ලෝක ග්ලෝකෝමා සතිය නම් කොට ඇත.

ග්ලෝකෝමා රෝගය පිළිබදව ජනතාව දැනගතයුතු කරුණු වනුයේ -

* අන්ධ භාවයට බලපාන තුන්වන ප්‍රධාන හේතුව ග්ලෝකෝමාවයි.

* ග්ලෝකෝමාව මුල් අවස්‌ථාවේ කිසිදු රෝග ලක්‌ෂණයක්‌ නොපෙන්වයි.

* අක්‌ෂි ස්‌නායුවට ස්‌ථිර හානි සිදුවීම නිසා ක්‍රමයෙන් අන්ධ භාවයට පත් වේ.

* කල් ඇතිව රෝගය හඳුනා ගැනීම මඟින් පෙනීම ආරක්‌ෂා කරගත හැකි වෙයි.

* වයස අවුරුදු 40 ට වැඩි අය වසර 2-3 කට වරක්‌වත් ග්ලෝකෝමාව සඳහා ඇස්‌ පරීක්‌ෂා කර ගත යුතුය.

* ඔබගේ අක්‌ෂි වෛද්‍යවරයාගෙන් හෝ දෘෂ්ටි පරීක්‌ෂකවරයගෙන් ග්ලෝකෝමා රෝගය ගැන වැඩිපුර විස්‌තර අසා දැනගන්න.

ග්ලෝකෝමා රෝගය වැළදීමේ වැඩි අවදානම ඇත්තේ මේ අයටයි.

* දෙමාපියන් ගෙන් කෙනෙකුට ග්ලෝකෝමාව ඇති විට අවදානම පස්‌ ගුණයකි.

* සහෝදර සහෝදරියන් ගෙන් කෙනෙකුට රෝගය ඇති විට අවදානම නව ගුණයකි.

* වයස අවුරුදු 60 ට වඩා වැඩි අය

* ඇස්‌ යට තැල්මක්‌ ඇති වී ඇත්නම්

* ඉතා ඝනකම් උපැස්‌ පළඳින අය

එවැනි අය වසරකට වරක්‌වත් ග්ලෝකෝමාව සඳහා ඇස්‌ පරීක්‌ෂා කරගත යුතුය.

දියවැඩියා රෝගීන්ගේ අක්‌ෂි පරීක්‌ෂාවේදී ග්ලෝකෝමා රෝගය සඳහාද පරීක්‌ෂා කර ගන්න.

මෙම රෝගී තත්ත්වය තුළ තිබෙන අවදානම සහ බැරෑරුම්කම ජනතාවට දැනුම් දී ඔවුන් එයින් මුදා ගැනීම, අක්‌ෂි ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ වගකීම සහ යුතුකම බව ඔවුන් දන්වා සිටී.

එමෙන්ම විෂන් 2020 ජාතික වැඩසටහන සහ අක්‌ෂි ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය එක්‌ව අත්වැල් බැඳගෙන දීපව්‍යාප්ත දැනුවත් කිරීමේ හා පුහුණු කිරීමේ වැඩසටහන් මාලාවක්‌ ක්‍රියාත්මක කොට ඇති අතර, ඉදිරියටත් ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු යොදා ඇත.

එමෙන්ම විශේෂ ග්ලෝකෝමා අක්‌ෂි සායන දිවයිනේ රෝහල් කිහිපයකම ආරම්භ කොට ඇති අතර, ඉදිරියේදී නව සායන ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් ලෝක ග්ලෝකෝමා සතිය පදනම් කොට ගෙන අක්‌ෂි ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය හා විෂන් 2020 ජාතික වැඩසටහන ඒකාබද්ධ වැඩසටහන් මාලාවක්‌ සංවිධානය කොට ඇත.

මේ යටතේ මාර්තු 17 (පෙ.ව. 8.00 සිට ප.ව. 1 දක්‌වා) විශේෂ ග්ලෝකෝමා අක්‌ෂි සායනයක්‌ ජාතික අක්‌ෂි රෝහලේ පරිශ්‍රයේදී පැවැත්වේ. මේ සඳහා වයස අවුරුදු 40 ට වඩා වැඩි ඕනෑම අයකුට සහභාගි විය හැක.

​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල