සතියේ කලදවස

views 2020-09-14 10:17:00 IRANAMA_New

මේෂ - භෞතික සම්පත් ලැබීමේ වාසනාව

භෞතික සම්පත් ලැබීමේ වාසනාව මේෂ ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව චන්ද්‍රයා මේ සතියේ 3, 4, 5, 6 යන ස්ථානවල ගමන් කරමින් සතිය ආරම්භයේ දේපළ උරුමකම් ද සතිය මැද වනවිට මිල මුදල් හා වාහන මිලදී ගැනීම් හා විවිධ වූ භෞතික සම්පත් ලැබීමේ වාසනාව ද උදාකර දෙයි. බොහෝ විට බ්‍රෝකර් වැඩ තැරැව්කාර වැඩවල නියැළෙන්නන්ට වඩා වැඩි යහපත්කම් ද සහිතයි. කිසියම් ආකාරයක සෞඛ්‍යමය ගැටලු උදාවිය හැකි අතර බොහෝ විට උරහිස - පපුව ආශ්‍රිත රෝග මතු වීමේ අවදානම පවතී.

 

වෘෂභ - අන් අයගේ උදවු උපකාර

වෘෂභ ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයේ මෙම සතියේ චන්ද්‍රයා 02 – 03 – 04 - 05 යන ස්ථානවල ගමන් කරමින් සතිය පුරාවම ඔබට වාසනාව උදාකරයි. විශේෂයෙන් නිරෝගී සුවය ආර්ථික ලාභ නිතර උත්සව සඳහා සහභාගි වීමට ඇරයුම් ලැබීම ආදිය දක්නට ලැබෙයි. සතිය අවසාන භාගයේ ඔබ ගන්නා අගුණ සහගත ආහාරයක් නිසා කිසියම් පීඩාකාරී තත්ත්වයක් අත් විඳින්නට සිදුවුව ද අතමිට මිල මුදල් ගැවසෙන ඔබට අන් අයගේ ඇප උපකාර ලැබෙන සතියක් ද වනු ඇත.

 

මිථුන - සැනසුම් සහගත තත්ත්වයක්

මිථුන ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයේ චන්ද්‍රයා මෙම සතියේ 01, 02, 03, 04 යන ස්ථානවල ගමන් කරමින් සිතේ සතුට උපදවන කාරණාවක් මුල් කොට සතිය පුරාවටම සැනසුම් සහගත තත්ත්වයක් උදා කෙරෙනු ඇත. බොහෝ විට ඔබ බලාපොරොත්තුවූ ණය මුදලක් තමාට ලැබීම නිසා බොහෝ වැඩකටයුතු සාර්ථක කර ගැනීමට හැකිවේ. ශාස්ත්‍රීය කටයුත්තකට අත ගසනවා නම් සාර්ථක ප්‍රතිඵල අත්විඳීමට සිදුවිය හැකි ය.

 

කටක - මිතුරන්ගෙන් අත - හිත

කටක ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව චන්ද්‍රයා මෙම සතියේ 12 – 01 – 02 – 03 යන ස්ථානවල ගමන් කරමින් ඔබට සිත් තැවුලකට හේතුවිය හැකි නමුත් සතිය මැද භාගය වනවිට එම තත්ත්වය අවසන් වනු ඇත. විශේෂයෙන් යටි බඩ ආශ්‍රිත ආසාදිතයක් නිසා පීඩා විදීමට හේතුවන අතර පාදයේ වළලුකරට අගුණයි. එහෙත් ඔබට කිසියම් උවදුරක් එළැඹුණ ද ඔබට අත් උදව්දීමට ඔබ ළඟින්ම සිටින කීප දෙනෙකු නිසා සිතේ සතුට ඇති කර ගැනීමට ඔබට හැකිවේ.

 

සිංහ - පිටරටක සිටින අයකුගෙන් ආර්ථික වාසියක්

සිංහ ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව චන්ද්‍රයා මේ සතියේ 11, 12, 01, 02 යන ස්ථානවල ගමන් කරමින් සතිය ආරම්භයේ සිටම ඔබට ආර්ථික වාසියක් පෙන්නුම් කරයි‍. විශේෂයෙන් හැර දමා තිබූ ව්‍යාපාරික ස්ථානයක් යළි පණ ගන්වා ගැනීමට හැකිවනු ඇත. පිටරටක සිටින අයකු නිසා ආර්ථික ප්‍රතිලාභයක් හිමි වනු ඇත. කෙසේ නමුත් එය පරිහරණය කළ යුත්තේ ඉතා ප්‍රවේශමෙනි. ලොතරැයි දිනුම් පෙන්වන සතියකි.

 

කන්‍යා - රැකියා ලාභ

කන්‍යා ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයේ චන්ද්‍රයා මෙම සතියේ 10,11,12,01 යන ස්ථානවල ගමන් කරමින් සතිය ආරම්භය රැකියා ඵලයකට හේතුවෙයි. උසස් නිලතල හිමි වීම අනතුරුව උසස් ආදායම් හිමි වීම පෙන්වයි‍. දණහිස ආශ්‍රිත උවදුරකට බොහෝ දුරට ඉඩ ඇති නිසා ප්‍රවේශම් වන්න. ඔබ රැකියා ස්ථානයේ අවශ්‍යතාව අනුව දුර බැහැර ගමනක් සඳහා ද කටයුතු සැලසේ. එය යහපත් ආයෝජනයක ප්‍රතිඵලදායි ආයෝජනයක් වනු ඇත. කෙසේ නමුදු සතුරු පීඩා එළඹිය හැකි නිසා ඒ පිළිබඳව ද සැලකිලිමත් වන්න.

 

තුලා - සතිය අවසානයේ උදාසීන ගති

තුලා ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව චන්ද්‍රයා මෙම සතියේ 09, 10, 11, 12 යන ස්ථානවල ගමන් කරමින් සතිය ආරම්භයේ ම ආගමික කටයුත්තකට සහභාගි වීමට අවස්ථාව සැලසේ. සතිය අවසානයේ කිසියම් තෙහෙට්ටු ගතියකින් උදාසීන ගතියකින් සිටීමට සිදුවූවත් ඔබට ඉඩමක, නිවසක හිමිකමක් නිසා මහත් වගකීමෙන් කටයුතු කිරීමට සිදුවන සතියකි.

 

වෘශ්චික - මානසික සුවය

වෘෂ්චික ලග්නය හිමි ඔබ කේන්ද්‍රයේ චන්ද්‍රයා මෙම සතියේ 08, 09, 10, 11 යන ස්ථාන පසු කරමින් යහපත් මානසිකත්වයකට ඔබ කැන්දාගෙන ගියත් නොසැලකිලිමත් වුවහොත් තුනටිය ආශ්‍රිතව විය හැකි උවදුරක් පෙනෙන්නට තිබේ. කෙසේ නමුදු ආර්ථික වාසි උදාකර ගැනීමට නම් ඔබ ඇසුරු කරන අය පිළිබඳව වඩා වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි. සතිය මැද සිට අවසානය දක්වාවූ කාලය ආර්ථික - සෞඛ්‍යමය හා මානසික සුවය හොඳින් අත්පත් වේ.

 

ධනු - ආදර සම්බන්ධතා ගොඩනැ‍‍ඟේ

ධනු ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයේ චන්ද්‍රයා මෙම සතියේ 07, 08, 09 ,10 යන ස්ථානවල ගමන් කරමින් අවිවාහක අයට විවාහ යෝජනා ද තරුණ තරුණියන් අතර ආදර සම්බන්ධතා ද ගොඩනැගෙන වකවානුවකි. සිතේ සතුට, ආදර කරුණාව පිරී ඉතිරී යන සතියකි. කවි - ගී නිර්මාණය කරන්නන්ගේ නිර්මාණශීලී කුසලතාව වැඩි දියුණු වේ.

 

මකර - සිත සන්සුන් කර ගන්න

මකර ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව චන්ද්‍රයා මේ සතියේ 06 ,07, 08, 09 යන ස්ථානවල ගමන් කරමින් සතිය මුලදී ඔබ ගන්නා ආහාරයක් නිසා ශරීර සෞඛ්‍ය බිඳ වැටෙන තත්ත්වයක් පෙනෙන්නට තිබේ. ඔබ ඇසුරු කරන අයකු වෙතින් ඔබගේ සිත රිදෙන කාරණාවකට තුඩුදීම නිසා අසතුටෙන් කල් ගත කිරීමට සිදුවේ. සිත සන්සුන් කර ගන්න.

 

කුම්භ - ආර්ථික වාසියක්

කුම්භ ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව චන්ද්‍රයා මෙම සතියේ 05 - 06 - 07- 08 යන ස්ථානවල ගමන් කිරීම නිසා සතිය ආරම්භයේ වේලක් දෙකක් ඔබට නිරාහාරව සිටීමට සිදුවීම නිසා අපහසුතා විඳින්නට සිදුවේ. කුස ආශ්‍රිත අම්ල ගතිය මතු කෙරෙන සතියකි. නමුත් ආර්ථික වාසියකට හේතු වේ. ඔබ කිසියම් හවුල් ව්‍යාපාරයකට අතගසන ලකුණු පෙනේ. ඒ සියල්ල නිසා සතිය අවසානයේ ඔබට තෙහෙට්ටු ගතියෙන් ශාරීරික අපහසුතාවෙන් කල් ගෙවීමට සිදුවේ.

 

මීන - නව නිවසක පදිංචියට යාමක්

මීන ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව චන්ද්‍රයා මෙම සතියේ 04, 05, 06, 07 යන ස්ථානවල ගමන් කරමින් ඔබට සතුටුදායක ආරංචි කීපයක් අසන්නට ලැබේ. දරුවන් බලාපොරොත්තු වන අයට දරු සම්පත ද රැකියා බලාපොරොත්තු වන අයට රැකියා පල ද ලැබෙනු ඇත. විශේෂයෙන් මේ වැසි බහුල කාලයක් නිසා සීතලෙන් ප්‍රවේශම් විය යුතුයි.

​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල