සෞභාග්‍යයේ ප‍්‍රතිමූර්තිය ශ‍්‍රී ලක්‍ෂ්මී දෙවඟන

views 2018-10-01 01:16:00 IRANAMA_New

සෞභාග්‍යය සහ ශ‍්‍රී සම්පත්තියට අධිපතිනිය වන ශ‍්‍රී ලක්‍ෂ්මිය විෂ්ණු දෙවියන්ගේ පි‍්‍රයම්බිකාව ලෙසද සැලකේ. හින්දු සම්භවයක් ඇති මැය විෂ්ණු දෙවියන්ගේ උරහිසෙහි වාසය කරන බවද පැවසේ. ලක්‍ෂ්මී දෙවඟනගේ ආත්ම භාවය පිළිබඳව විමසා බැලීමේදී මැය දැඩි පති භක්තියෙන් හා අධිෂ්ඨානයෙන් යුතු දෙවඟනකි. විෂ්ණු දෙවියන් ලොව පහළ වූ සෑම ආත්ම භවයකදීම ලක්‍ෂ්මී දෙවඟන විෂ්ණු දෙවියන්ගේ භාර්යාව බවට පත්වූ බව මූලාශ‍්‍රයන්ගෙන් පැහැදිලි වේ.
 
 විෂ්ණු දෙවියන් දස අවතාරයකින් ලොව පහළ වන්නා සේම ශ‍්‍රී ලක්‍ෂ්මියද දස අවතාරයකින් ලොව පහළ වන බව ජන විශ්වාසයේ පවතී. 
 
 1. මත්ස්‍ය අවතාරය 2. කුර්මාවතාරය 3. වරාහ අවතාරය 4. නාසිංහාවතාරය 5. වාමන අවතාරය 6. පරසුරාම අවතාරය 7. ශ‍්‍රී රාම අවතාරය 8. කෘෂ්ණ අවතාරය 9. බුද්ධ අවතාරය 10. කල්කි අවතාරය විෂ්ණු දෙවියන්ගේ දස අවතාර වන අතර 
 
 1. ශ‍්‍රී ලක්‍ෂ්මී 2. ධන ලක්‍ෂ්මි 3. රූප ලක්‍ෂ්මි 4. නෘත්‍ය ලක්‍ෂ්මි 5. ප‍්‍රතාප ලක්‍ෂ්මි 6. සූර්ය ලක්‍ෂ්මි 7. වීර්ය ලක්‍ෂ්මි 8. සුන්දර ලක්‍ෂ්මි 9. සර්ව රෝග නිවාරණ ලක්‍ෂ්මි 10. මහා ලක්‍ෂ්මි යනුවෙන් දස මූර්තියකින් ශ‍්‍රී ලක්‍ෂ්මිය ලොව පහළ වෙයි. 
 
 දහස් ගණනින් සතුන් නසමින් මහා යාච්ඤා පැවැත්වෙද්දී කුල භේදය නිසා සාමාන්‍ය ජනයා පීඩනයට පත්වෙද්දී මහා කරුණාවෙන් ලොව පහළවුණ ගෞතම බුදු පියාණන් වහන්සේ විෂ්ණුගේ නවවැනි වූ බුද්ධ අවතාරය ලෙසත් අයහපත හා අසාධාරණය නැති කර ලොවට ශාන්තිය ගෙන දීම සඳහා අනාගතයේ ලොවට පහළ වන ශ‍්‍රී විෂ්ණු දසවන කල්කි අවතාරය ලෙසත් සැලකේ. (විෂකන්‍යා - මහාචාර්ය නවගමුවේ රේවත හිමි - 147 පිටුව* ලක්‍ෂ්මිය පිළිබඳ ඇතැම් පුරාවෘත්තවල පුත‍්‍ර ලක්‍ෂ්මි ඥාන ලක්‍ෂ්මි නම්ද භාවිතා වේ. 
 
 නෙළුම් මල් දෙකක් දෑතෙහි දරා සුපිපි නෙළුම් මලක් මත වැඩසිටින ශ‍්‍රී ලක්‍ෂ්මි දෙවඟනට අත් සතරකි. 
 
 අයෝධ්‍යා පුරයෙහි දශරථ රජුගේ රාම ලෙස ලොව පහළ වූ යුගයක ලක්‍ෂ්මිය සීතා දේවිය ලෙස උපත ලැබූ බවද ඇය දණ්ඩක වනයේ වෙසෙත් දී එවක ලක්දිව සිටි රාවණා සීතා දේවිය පැහැර ගැනීමෙන් ලක්දිව සිරකාරියක් බවට පත්වූවාය. මෙසේ සිරකාරියක බවට පත්වූ අවස්ථාවේ ඇය රාවණයන්ගේ ග‍්‍රහණයට නතුව අනේක විධ වධ බන්ධනවලට පත්වූවාය. මෙසේ දොළොස් වසක් පුරා රාම වෙනුවෙන් පතිවත සුරකිමින් සීතා දේවිය සිය පති භක්තිය ප‍්‍රකට කළාය. 
 
 විෂ්ණු දෙවියන් කෘෂ්ණ අවතාරයෙන් මතුරා පුරයේ වාසු දේවයන්ගේ පුතෙකු ලෙස ගෝ කුලයෙහි උපන් අවස්ථාවේ ලක්‍ෂ්මිය රාධා නම් ගෝපි කුමරිය ලෙසින් උපන්නාය. එම ආත්ම භාවයේ දී ද ශ‍්‍රී ලක්‍ෂ්මිය අනේකවිධ කම්කටොලූවලට පත්වූවාය. එහිදීද ඇය ප‍්‍රකට කළේ සිය පති භක්තියයි. ශ‍්‍රී ලක්‍ෂ්මිය රක්ත වර්ණ සළුවකින් සහ විවිධ වූ වර්ණ හැට්ටයකින් සැරසී සිටියි. ශ‍්‍රී ලක්‍ෂ්මිය හිස පැළඳි දිව ඔටුන්න රක්ත වර්ණ සහ නීල වර්ණ මැණික් හෙබවූවකි. ලක්‍ෂ්මියගේ කෙස් කළඹ නීල වර්ණයෙන් යුක්තය. ගීවාභරණ, මෙවුල් දාමයන්, සීලම්බු ගිගිරි වළලූ ඇතුළු රන් අභරණින් සැරසුණ ශ‍්‍රී ලක්‍ෂ්මිය සියලූ දිව්‍යාංගනාවන් අතරින් රූපශ‍්‍රීයෙන් අගතැන්පත් දෙවඟන ලෙසද සැලකේ. 
 
 ලොව බලවත්ම දෙවි තුන් කට්ටුව වන්නේ බ‍්‍රහ්ම, විෂ්ණු මහේෂ්වරයි. මෙම දෙවි තුන් කට්ටුව ලෝකයේ මැවීමත්, වැඞීමත්, නැසීමත් සිදු කරනු ලබයි. බ‍්‍රහ්ම ලෝකයේ මැවීම සිදු කරනු ලබද්දී විෂ්ණු ලෝකය වැඞීම සිදු කරනු ලබයි. ඊශ්වර ලෝකාවසානයේ ලොව පහළව ලෝකය නැසීම සිදු කරනු ලබයි. (සිංහල දේව පුරාණය 147 පිටුව*
 
 බ‍්‍රහ්ම විංසතියේදී බ‍්‍රහ්ම ස්වරූපයෙන් ලොව පහලවන ශ‍්‍රී ලක්‍ෂ්මිය බ‍්‍රහ්ම ස්වරූපයෙන් පෙනී සිටිමින් ලෝකය පුරා සැරි සරමින් සත්වයන් තුළ සතුටත්, ප‍්‍රීතියත් පතුරුවයි.
 
 විෂ්ණු විංසතියේ දී ශ‍්‍රී ලක්‍ෂ්මිය විෂ්ණු ලෙසින් ලොව පහළව ලෝවැසියන් සුරකියි. ඊශ්වර විංසතියේ දී ඊශ්වර වේශයෙන් ලොව පහලව අසත්පුරුෂ ජනයන් විනාශ කර ධර්මයෙන්ද යුක්තියෙන්ද සාධාරණයෙන්ද යුතු ජනයන් ආරක්ෂා කරමින් ලොව පාරිශුද්ධත්වයට පත් කරයි. (හෙළදිව පුද ලබන දෙවිවරු සහ දේව පූජා විධි - විජය ශ‍්‍රී ජයසිංහ (105 පිටුව**
 
 පහත රට ශාන්තිකර්මවලදී ලක්‍ෂ්මිය සිරිකත නමින් හඳුන්වයි. සුවිශේෂ වූ මලසුනක් මෙහිදී ලක්‍ෂ්මි දෙවඟන වෙනුවෙන් සැකසේ. සඳුන්, කපුරු, සුවඳ විලවුන්, පිනිදිය, සුවඳ හමන මල්, කඩුපතක් ඇතුළු පූජා භාණ්ඩ මෙම මල් අසුනේ තැබීම යාගකරුවන් විසින් කරනු ලබයි.
 
 සිරිකත හෙවත් ලක්‍ෂ්මී දෙවඟන වෙනුවෙන් කරන මල් යහන් කවි ගායනාවල ඇගේ රූප ශෝභාව ගායනා කිරීම විශේෂත්වයයි. පත්තිනි දිව්‍යාංගනාව මුළු මහත් පඬිපුරම ගින්නෙන් දවාලූ මොහොතේ එම ගින්නෙන් දල්වාගත් පන්දමක් සිරිකත විසින් බැතිමතුන්ගේ දොස් දුරු කිරීමට යොදා ගන්නා බව ජන විශ්වාසයේ පවතී.
 
 නීල චන්ද්‍ර රේඛාවෙන් මුකුළු කරන වා
 දෑල වරේ මිණි නිල්වැට පවන් සලන වා
 ආල වඩන රතු ඔසරිය දෙවුර වසන වා
 කෝල නැතුව මල් අසුනට වැඩම කරන වා
 
 බඳේ ඉසුන පෙති ගෝමර දෑල ට
 සඳේ ඇන්ද ලපයේ දිසි පෑය ට
 විදේ පහස නැත රකිනා සීලෙ ට
 ළඳේ වඩින් සිරිකත මල් යහන ට
 
 මෙසේ මල් යහන් කවි ගායනාවල ලක්‍ෂ්මී දෙවඟනගේ රූප ශෝභාව වර්ණනා කෙරේ. 
 
 තම ව්‍යාපාර දියුණුවට රැුකීරක්‍ෂා දියුණුව සොර සතුරු බයට ධන ලාභ ලැබීමට ලක්‍ෂ්මී යන්ත‍්‍රය පැළඳීමට බැතිමත්හු අතීතයේ සිට පෙළඹී සිටිති. මේ සඳහා තඹ තහඩුවක් හෝ රිදී තහඩුවක් භාවිත කරයි.
 
 යන්ත‍්‍රය සෑදීමේදී අක්‍ෂර එකිනෙක නොකැපෙන පරිදි සම සතරැුස් තහඩුවක ඇඳගැනීම නිවැරැුදිව කළ යුතුය. මල් බුලත් පුටුව සාදා පලතුරු 7 ක්, කැවිලි 7 ක් සහිත සකස්කර පහන් දල්වා සෙත් පිරිතෙන් පිරිත් කර ලක්‍ෂ්මී ස්තෝත‍්‍රයෙන් ජපකර ගැනීම ශාස්ත‍්‍ර නියමයයි.
 
 ශ‍්‍රී ලක්‍ෂ්මිය වැඩ වාසය කරනු ලබන රුක්‍ෂය බෙලිගස ලෙස සැලකේ. බෙලි ගසක් නිවස ඉදිරිපිට සිටුවීමටද බැතිමත්හු පෙළඹෙති. 
 
 කලාභූෂණ, විශ්වාභිනන්දන
 සරණපාල නුවරපක්‍ෂ
 පූගොඩ


​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල