කේන්ද්‍රයක මාරක අපල තිබීමටත් වඩා නොතිබීම භයානකය

views 2017-11-20 10:13:00 IRANAMA_New

මහජන බැංකු විශ්‍රාමික සංගමයේ පිළියන්දල කැස්බෑව ශාඛාවේ අටවන සංවත්සරික සභාව පසුගිය නොවැම්බර් 11 සෙනසුරාදා පස්වරුවේ පිළියන්දල නාම්පමුණුව සණස ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ. සාමාන්‍යයෙන් එම සංවත්සර සභාව අවසානයේ කාලීන මාතෘකාවක් යටතේ විශේෂ ආරාධිත දෙසුමක් පැවැත්වුණ අතර එහි මෙවර දේශකයා වූයේ මාය. එම දෙසුම සඳහා මා වෙත ලැබි තිබූ මාතෘකාව වූයේ ‍ජ්‍යොතිෂය පිළිබඳ නිදහස් විචාරයක්, යන්නය.

එම දෙසුම අවසන් කොට ශ්‍රවණාගාරයෙන් පිටත්වීමට ඔන්න මෙන්න කියා තිබියදී දෙසුමට සවන් දී සිටි තලතුනා මහත්මියක් ඉක්මන් ගමනින් මා වෙත ආවාය. තමන් මෙම සංගමයේ සාමාජිකාවක නොවන බව කී ඇය එහි සාමාජිකාවක සමඟ මෙහි පැමිණියේ විශේෂ හේතුවක් මත බව ද කීවාය. ඒ සම්බන්ධයෙන් ඇය වැඩිදුරටත් කරුණු පැහැදිලි කළේ මෙලෙසිණි. මගේ අක්කාගේ දුවගේ වයස අවුරුදු තිස් හතරයි. බැඳලා අවුරුදු පහක් යනකම් දරුවෝ ලැබුණේ නැති හින්දා එයාලා  රුපියල් ලක්ෂ ගණන් වියදම් කරලා වෛද්‍ය ප්‍රතිකාරවලින් දරු පිළිසිඳ ගැනීමක් ඇති කර ගත්තා. දැන් ඒ දරුවට අවුරුදු හතරයි. ඔය අතරේ ඒ දෙමව්පියෝ ටීවී එකේ ‍ජ්‍යොතිෂ වැඩ සටහන්වලට සහභාගී වෙන ප්‍රසිද්ධ නමක් තියන ‍ජ්‍යොතීර්වේදියකු ලවා රුපියල් දහස් ගණනක් වියදම් කරලා ඒ දරුවගේ කේන්දරේ බලවාගෙන, එනකොට ඒ මනුස්සයා කියලා තියනවා මේ දරුවාට අවුරුදු පහේ දී මාරක අපලයක් තියනවා, ඒක මඟහරවා ගන්න නම් හුගක් දේවල් කරන්න වෙයි කියලා. කොහොම හරි ඒ දරුවගේ මාරකය වෙනුවෙන් කියලා ආරක්ෂක යන්ත්‍රය දම්මවන්නයි අනික් ගුරුකම්වලටයි මේ වෙනකොට රුපියල් ලක්ෂ පහක් විතර වියදම් කරලා තියනවා, ඒත් නරකම කාරණේ එක ‍නෙවෙයි.
එසේ කී එම මහත්මිය දෙවනුව කී මෙම වදන් කීපයෙන් මම අතිශය කම්පාවට පත්වීමි. කොහොම වුණත් ඒවයෙනුත් ඒ දරුවගේ මාරකය දුරුවෙලා නැතුව ඇති කියන බය හිතට තදින්ම කා වැදිලා. දැන් ඒ දරුවගේ අම්මා මානසික රෝගියෙක් වෙලා. ඔහේ අඬ අඬා බලාගත්තු අතේ බලාගෙන ඉන්නවා.
එම මහත්මිය හෙළි කළ අනුවේදනීය විස්තරයත් සමග මගේ මතකය මීට වසර විසි අටකට ඉහත අතීතයට දිව ගියේ මගේ ජීවිතයේ මුල්ම ගුප්ත විශ්වාස පිළිබඳ මුල්ම පර්යේෂණය යළි සිහිගන්වමිනි. එය ද ‍ජ්‍යොතීර්වේදයේ එන මාරක අපල මුල්කොට ගත් පර්යේෂණයකි. දිනය 1989 ජනවාරි 17 දාය.
එදින පස්වරු දෙකට අම්බලන්ගොඩ බස්නැවතුමින් පිටත් වූ අම්බලන්ගොඩ ඩි‍පෝවට අයත් 23 ශ්‍රී 8293 දරන ඌරගස්මන්හන්දිය බසය අහුන්ගල්ල අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය වෙත පැමිණෙන විට එය පාසල් සිසුන්ගෙන් අතුරුසිදුරු නොමැතිව පිරී තිබිණ. එහෙත් එම බස්රථය පැද වූ රියැදුරාගේ අපරික්ෂාකාරී බව නිසාම එම බස් රථය තුළ තෙරපෙමින් සිටි පාසල් සිසු සිසුවියන් තිස් අට දෙනෙකුට සහ මුස්ලිම් ගුරුමාතාවකට හිමිව තිබූ ජීවත් වීමේ වාසනාව මුළුමනින්ම අහෝසි විය. ඒ ඒ වනවිට එම දුම්රිය හරස් මාර්ගය දෙසට ධාවනය වෙමින් තිබූ අංක ඹ.2 714 ඇන්ජිම සහිත අලුත්ගම සිට ගාල්ල බලා ධාවනය වෙමින් තිබූ අංක 750 දරන මගී දුම්රිය හෙනහඬ නංවමින් එම බස් රියේ ගැටුණු බැවිණි. එම සිද්ධියත් සමග අහුන්ගල්ල ප්‍රදේශය පමණක් නොව මුළු රටම සෝ කඳුළින් නැහැවී ගියේ එකම සිදුවීමක් මුල් කොට ගුරුමෑණිකෙනෙකුත් සමග පාසල් සිසුන් තිස්අට දෙනෙකුම මිය යාම නිසාය. මෙරට හදිසි අනතුරු ඉතිහාසයේ සුවිශේෂ ඛිෙදවාචකයක් ලෙස අදත් එය සැලකෙයි.
එවක ‍ජ්‍යොතිෂය පිළිබඳ අතිමහත් විශ්වාසයක් තැබූ මම එම අනතුරින් මියගිය සිසුන් තිස් අට දෙනාගේ ජන්ම පත්‍ර ඇසුරින් මාරක අපල පිළිබඳව අධ්‍යයනයක් කිරීමට අදහස් කළෙමි. ඒ එම ඛිෙදවාචකය මුල්කොට වුවද ‍ජ්‍යොතිෂයේ සත්‍යතාවය ලොවට කියා පෑමට එය මහඟු අවස්ථාවක් කර ගැනීමට මා අදහස් කළ බැවිනි.
මගේ සටහන්වලට අනුව මා මුල්වරට එම ගවේෂණය සඳහා එම අනතුරින් මිය ගිය සිසු දරුදැරියන්ගේ නිවෙස් වෙත යන ලද්දේ 1989 ජනවාරි 22 ඉරුදිනය. එහෙත් එහි දී එම සියලුම සිසු දරු දැරියන්ගේ නිවෙස්වලට යාමට කාලවේලා මඳ වූයෙන් ඉන්පසු එම වසරේ ජනවාරි 29 ඉරුදින සහ පෙබරවාරි 04 සෙනසුරාදා යළි එහි යාමට මට සිදු විය.
එහි දී මා' විසින් මුල්වරට අනාවරණය කර ගත් කරුණු සැකෙවින් මෙසේය.

එම අනතුරින් මිය ගිය සිසු දරුවන් තිස්අට දෙනාගෙන් ඊට ආසන්න කාලයක ජන්ම පත්‍ර විමසා තිබුණේ සිසු සිසුවියන් විසි හයදෙනකුගේ පමණි. ඒ අතරින් සිසුන් දහඅට දෙනෙකුගේම ග්‍රහාචාරයන් හි සැලකිය යුතු අපලයක් නොතිබූ බව ඔවුන්ගේ දෙමාපිය භාරකරුවෝ මා හා කීහ. එහෙත් එම සිසුන්ගෙන් සිව්දෙනෙකුගේ කේන්ද්‍රවල ඒ වන විටත් සැලකිය යුතු අපල තිබූ බවක් ඔවුන්ගේ මා පියන් වෙතින් දැන ගත හැකි විය. අහුන්ගල්ල අනතුරින් මිය ගිය සිසු දැරියන් අතුරින් ජන්ම පත්‍ර 
විශ්‍ලේෂණයට බඳුන් වූ දරුවන් විසි හය දෙනාගෙන් එවක මාරක අපල සටහන්ව තිබුණේ සිසුන් හතර දෙනකුගේ ජන්ම පත්‍රවල පමණි.

ඒ අනුව පසුව ඉහත සඳහන් සංසිද්ධිය සංඛ්‍යාත්මක විශ්‍ලේෂණය කිරීමෙන් මා ලත් ප්‍රතිඵලය මෙලෙසිනි.
යමකු අකල් මරණයකට පත් වීම සඳහා ඒ තැනැත්තාගේ ජන්ම පත්‍රයේ ඒ බව මාරක අපලයක් ලෙස සටහන්ව තිබිමේ සම්භාවිතාව  ප්‍රතිශතයක් වශයෙන් සීයට පහළොවයි දශම තුනයි අටකි, එවන් ඛිෙදවාචකයක් යමකුගේ කේන්ද්‍රයක සැලකිය යුතු අපලයක් ලෙස සටහන් වීමේ සම්භාවිතාවද ප්‍රතිශතයක් වශයෙන් එම අගයම ගනී. එහෙත් මෙහි ඇති බරපතළම විපරීතය හෝ විකෘතිය එය නොවේ. මා විසින් කරනු ලැබූ ඉහත හදහන් නිරීක්ෂණයට අනුව කේන්ද්‍රයේ කිසිම අපලයක් සටහන් නොතිබූ සිසු දරුවන්ගෙන් සියයට හැට නවයයි දශම දෙකයි තුනක ප්‍රතිශතයක් මෙම අනතුරින් මිය ගොස් තිබිමය.

‍ජ්‍යොතිෂය විචාරයට ලක් කරනුයේ හුදෙක් භෞතිකවාදීන්ය යන සමහරුන්ගේ මතයකි. එය සත්‍යයකි. භෞතික විද්‍යා නියමයන්ට අනුව ‍ජ්‍යොතිෂය යනු පට්ටපල් කෙබරයකි. එහෙත් විස්මයට කරුණ එය නොවේ, ‍ජ්‍යොතිෂ සිද්ධාන්ත සංග්‍රහයන් හෙවත් පංචාංග ලිත් කතුවරුන්ද තම දෘෂ්ටි කෝණයක් තුළින් මෙම සත්‍යයට බොහෝ දුරට ළංව තිබිමය.
එබැවින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පංචාංගලිතක් වන ලංකා ග්‍රහස්පුට පංචාංග ලිතේ සංස්කාරකවරුන් වන එස්.ඩබ්ලියු. කස්තුරිරත්න සහ ආර්.කේ. රොහාන් සිසිර කුමාර යන විද්වතුන් විසින් රචනා හඳහන බැලීමේ ගුරු මුෂ්ටි - 2 කෘතියේ පෙරවදනින් කොටසක් පහත උපුටා දක්වමින් මා නිහඬ වනුයේ රූපවාහිනී ඇතුළු ජන මාධ්‍යවලින් මුල්කොට මනෝ විද්‍යාත්මක ත්‍රස්තවාදයක් මවාපාන අධමයන්ට පැමිණ විය යුතු සමාජමය දඬුවම තීරණය කිරීමේ වගකීම බුද්ධිමත් පාඨක ඔබ වෙතට පවරමිනි.

මේ ශාස්ත්‍රය පිළිබඳව ප්‍රකට රහසක් කීමට තිබේ. එනම් යම් කෙනෙකුට හැකි තරමින් ඉගෙන රක්ෂාවක් වශයෙන් කරමින් ජීවනෝපාය ගෙන යාමට නම් මෙය හොඳ ශාස්ත්‍රයක් මිස සියයට සියයක්ම හරියන ලෙස අනාවැකි කීමට හැකි ආකාරයට සත්‍යම සිද්ධාන්ත මත ගොඩ නගා තිබෙන විද්‍යාත්මක පදනමක් ඇති ශාස්ත්‍රයක් නොවන බවයි.


​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල