වාහනයක්‌ හිමිදැයි කේන්දරයෙන්ම දැනගන්නේ මෙහෙමයි

views 2017-11-14 10:40:00 IRANAMA_New

ජ්‍යෙතිෂයට අනුව සුවිශේෂී වූ අනන්‍යතාවකින් යුතු පුද්ගලයා විශ්වය හා සම්බන්ධ කරනුයේ ඔබගේ දෛවයයි. ඇතමුන් ලෞකික සම්පත් සඳහා වැඩි නැඹුරුතාවක්‌ දක්‌වන අතර තවත් කොටසක්‌ ආශාවන් ප්‍රහීන කළ සරල පැවතුම් රටාවක්‌ අනුගමනය කරති. මේ අතර තවත් පිsරිසක්‌ මධ්‍යස්‌ථ ජිවන ක්‍රමයක්‌ තුළ යථා අවබෝධයෙන් ජීවිතය දකිති. 
 
 මෙලොව උපන් අප සෑම සියලු දෙනෙක්‌ම සැප සම්පත් උරුම කර ගැනීමේ නිරන්තර උත්සාහයක යෙදී සිටින්නන් වෙමු. එසේ වුවද ඒවා උරුම කර ගැනීමට ලැබෙන මාර්ගයන් සහ හැකියාවන්වල ඇත්තේ දැඩි විෂමතාවකි. ඒ පිළිබඳව විමසිලිමත්ව නිරීක්‍ෂණය කරන්නෙකුට ඒ තුළ සැඟවී ඇත්තේ අටලෝ දහමේ විෂම බවත්, එම විෂමතාවට යටත්ව පුද්ගලයකුගේ කර්ම ශක්‌තියද පෙළගැසෙන බවත් හඳුනා ගැනීම දුෂ්කර නොවේ. 
 
 යම් පුද්ගලයකුගේ කේන්ද්‍රයේ කොටු 12 තුළ ග්‍රහයන්ගේ පිහිටීම සැලසුම් වන්නේද ඉහත කී කර්මානුරූපීය ජීවන රටාවට සාපේක්‍ෂවය. අප මෙලොව උපදින විටම එම කර්මානුරූපී ජිවන රටාවට සාපේක්‍ෂව කේන්ද්‍රයේ ග්‍රහයන් සිටිය යුතු කොටු තීන්දු වී හමාරය. එහෙයින් කේන්ද්‍රය නිරීක්‍ෂණය කළ විට සැප සම්පත් විඳ ගැනීමේ භාග්‍යයත්, ධන සම්පත් උරුමයත් කවර ආකාර වූ ප්‍රමාණයකට අපට හිමිකම් ලබා ඇතිද යන්න පැහැදිලිව හඳුනාගත හැක. 
 
 නවීන ලෝකය තුළ විවිධ මාදිලියේ විවිධ වූ සැප පහසුකම් සහිත යාන වාහන පැවතියත්, සෑම පුද්ගලයකුටම තමන් සිතන පතන වාහනයක්‌ ලබා ගැනීමට හැකියාව නැත. එවැනි දේ ලබාගැනීම සඳහා පූර්ව කුසලා කුසල කර්මවලට අනුව වාසනා ගුණය තම කේන්ද්‍රය තුළ පැවතිය යුතුය. 
 
 එවැනි වාසනා ගුණ තම කේන්ද්‍රය තුළින් අනාවරණය කර ගැනීමට හැකියාව පවතියි. එවැනි වූ වාහන යෝග කිහිපයක්‌ පිළිබඳ අවධානය යොමු කිරීම මෙම ලිපියේ පරමාර්ථයයි. 
 
 වාහන සම්බන්ධයෙන් 4 වැන්න බෙහෙවින් බලපානු ලබයි. මීට අමතරව 4 වැන්න තුළ තැන්පත් ග්‍රහයන් 
 
 4 වැන්න අධිපති සිටින ස්‌ථානය හා 4 වැන්නට ලැබෙන විවිධ ග්‍රහ දෘෂ්ටින් පිළිබඳව සමස්‌ත විග්‍රහයක යෙදීම තුළින් වාහන ලාභ නිශ්චය කරගත හැක. 
 
 එමෙන්ම මේ සම්බන්ධව බැලීමේදී සිකුරු ග්‍රහයාද ප්‍රමුඛ වේ. 4 වැන්න තුළ සිකුරු ග්‍රහයා ස්‌වක්‌ෂේත්‍රව හෝ උච්ඡව සිටීම වාහන සම්බන්ධව බලවත් ග්‍රහ තත්ත්වයකි. එමෙන්ම 4 වැන්න තුළ සිටින සිකුරුට ගුරුගේ දෘෂ්ටිය වැටීමද එම බල තත්ත්වය වැඩි කරන පිහිටීමකි. සාමාන්‍යයෙන් සිකුරු ග්‍රහයා සිව් වැන්නේ වීම සාමාන්‍ය වාහනයක්‌ හෝ පරිහරණයෙහි භාග්‍යය ලැබ දෙන්නකි. 
 
 ඕනෑම කේන්ද්‍ර සටහනක 4 වැන්න අධිපති ග්‍රහයා ගුරු සමඟ ලග්න ගතවීමත්, සිව්වැන්න අධිපති සිකුරු සමඟ ලග්න ගතවීමත් වාහන ලබාදෙන ග්‍රහ පිහිටීමක්‌ වේ. 
 
 ලග්නාධිපතියා 4 වැන්නේ, 9 වැන්නේ හෝ 11 වැන්නේ හිඳීමද වාහන යෝගයක්‌ වේ. 11 වැන්නාධිපතියා සමඟ 4 වැන්නාධිපතියා බලවත්ව කේන්ද්‍රස්‌ථානයක හෝ ත්‍රිකෝණගත රාශියක බලවත්ව පසුවන විට අපේක්‍ෂිත ආකාරයට සැප පහසුකම් සහිත වාහන ලබා ගැනීමට අවස්‌ථාව උදා කෙරේ.
 
 9 වැන්න, 10 වැන්න හා 11 වැන්න හිමි ග්‍රහයන් 
 
 4 වැන්නේ යෝගවීම හෝ ඉන් දෙදෙනකු එහි යෝගව අනෙකාහට පෙනීම මෙන්ම සඳුගෙන් 7 වැන්නේ සිකුරු ග්‍රහයා බලවත්ව යෙදීමද වාහනයක්‌ උරුම වීමට හේතු වීමකි. මෙම ග්‍රහයන් අතරින් බලවත්ම ග්‍රහයාගේ දශා කාලවලදී වාහන ලාභ වැඩි වශයෙන් අත්පත් කර ගැනීමට පිළිවන. සිව්වැන්නාධිපති හා 11 වැන්නාධිපති අතර පරිවර්තනයක්‌ ඇතිවීමද වාහනයක්‌ උරුම වීමට වැදගත් වන තවත් යෝගයකි. මෙම යෝගවලින් එකකට වැඩියෙන් කේන්ද්‍ර සටහනෙහි ඇත්නම් එය වඩාත්ම යහපත් ලෙස බලපානු ඇතැයි කිව හැක. 


​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල