ඉඟ සුඟ මිටින ගත නොහැකි කාන්තාවන්ට මතු වන ලෙඩ රෝග

views 2018-06-13 11:31:00 Health_New

පුළුල් උකුල, සිහින් ඉණ, දිගු වරලස ලෙසින් කාන්තාවකගේ ශරීර ලක්‌ෂණ ගැන වර්ණනා කිරීමේදී සාහිත්‍යකරුවන් දැන හෝ නොදැන පවසා ඇත්තේ කාන්තාවකගේ නිරෝගී රූසපුව ගැන බව අප වටහා ගත යුතුය. 
 
 එනම් නිරෝගී කාන්තාවක්‌ සතු ශරීර අංග ලක්‌ෂණ ලෙස දිගු වරලස, පිරිපුන් පියයුරු, පැහැපත් සම, පුළුල් උකුල, සිහින් ඉණ වෛද්‍ය විද්‍යාවේදී සඳහන් කර ඇත. 
 
 වෛද්‍ය විද්‍යාවේ ඉපැරණි වෛද්‍ය ක්‍රමයක්‌ වන සෘෂි නාඩි වෛද්‍ය ක්‍රමයේද කාන්තාවකගේ නිරෝගී බව පිළිබඳව බොහෝ සේ සඳහන් කර තිබේ. 
 
 නිරෝගී රූ සපුවක්‌ ඇති කාන්තාවක්‌ ගැන කුමන වෛද්‍ය ක්‍රමයක්‌ මගින් වුව සඳහන් කළද වර්තමානයේ ජීවත් වන බොහෝ කාන්තාවෝ නිරෝගී නැත. ඔවුහු බොහෝ ලෙඩ රෝගවලින් පීඩා විඳිති. 
 
 එසේ රෝග පීඩාදියෙන් යුතුව දිවි ගෙවන්නේ අක්‍රමවත් වූ ජීවන රටාවකට හුරුව සිටින නිසාය.
 
 කය වෙහෙසවා දිවි ගෙවූ කාන්තාවෝ අද ඉන් මිදී අලස සැප පහසු දිවියක්‌ ගත කරති. අලස ලෙස සඳහන් කළේ අතපය වෙහෙස වීම අවම කර යන්ත්‍ර සූත්‍රවලට සිය එදිනෙදා කටයුතු භාරදී තිබීම නිසාය.
 
 අද බොහෝ කාන්තාවෝ පයින් ඇවිදින්නේ නිවස තුළ පමණි. නිවසින් පිටවූ මොහොතේ සිට ඔවුන් කය වෙහෙස වන්නේ නැත. මෝටර් රථය, යතුරුපැදිය, ත්‍රිරෝද රථය ආදී වාහනවල නැඟ ගමන් කිරීම නිසා දෙපයින් ඇවිදීම සීමා කරගෙන ඇත.
 
 ශරීරයට හොඳම ව්‍යායාමය ලබාගත හැක්‌කේ ඇවිදීම තුළිනි. නමුත් අප එම ව්‍යායාමයේ නිරත වීම සීමා කිරීම සඳහා විශාල මුදලක්‌ වැය කරනු ලබයි. ඉන්පසු ඉන් හිමි වන අහිතකර ප්‍රතිඵල වන නොයෙකුත් ලෙඩ රෝග මතු වූ විට ඉන් මිදීම සඳහා ද තවත් මුදල් කන්දරාවක්‌ වැය කරයි. 
 
 පුළුල් උකුල සහ සිහින් ඉණ නොමැතිකම නිසා අද බොහෝ කාන්තාවෝ විවිධ ලෙඩ රෝගවලට ගොදුරුව සිටිති. දියවැඩියාව අධි රුධිර පීඩනය, හෘදයාබාධ ඉන් ප්‍රධාන තැනක්‌ ගෙන ඇත. මෙසේ පුළුල් උකුල සහ සිහින් ඉණ වර්තමාන කාන්තාවට අහිමිව ඇත්තේ ඇයගේ ශරීරය තරබාරු වීම නිසාය. තරබාරුවේදී කාන්තාවකට උපතින් උරුම වූ ශරීර හැඩය අහිමි වේ. ඉණ, උකුල, උදරය සියලු ප්‍රදේශ විශාල වීම නිසා බොහෝවිට ඇති වන්නේ බැරලයක්‌ හා සමාන හැඩයකි. බැරලයක ඇත්තේ විශාල වූ රවුම් හැඩයක්‌ පමණි. 
 
 මෙලෙස තරබාරුව නිසා ඔවුන්ට එදිනෙදා කටයුතු ඉටු කර ගැනීමට ද නොහැකි වේ. ශරීරය පාලනය කර ගැනීමට අපහසු නිසා මෙවැනි කාන්තාවෝ නිතර උත්සාහ ගන්නේ අලසව දිවි ගෙවීමටය. එහි ඇති වන භයානක ප්‍රතිඵලයක්‌ වී ඇත්තේ ඉතා පහසුවෙන් පිළිකා වැනි රෝගවලට ගොදුරු වීමය.
 
 මෙලෙස තරබාරුව නිසා බහුලව ඇති වන පිළිකාවක්‌ බවට කොඳුඇට පෙළ ආශ්‍රිතව ඇති වන පිළිකාව පත්ව ඇත. 
 
 උකුල පද්දමින් ලාලිත්‍යයට ගමන් කළ සුකොමළ කාන්තාව සෙමින් අඩි තබමින් උසුලාගත නොහැකි බරකින් යුතු ශරීරය හසුරුවමින් ගමන් කරන විට ඇය තුළින් සුන්දරත්වයක්‌ දැකිය නොහැකිය.
 
 කාන්තාවකට කොඳුඇට පෙළ අතර පිළිකාවක්‌ හටගත් විට ඉන් ඇයගේ නාඩි ක්‍රියාකාරිත්වයටද බලපෑම් සිදුකරනු ලබයි. 
 
 මුලින්ම කුඩා ගැටිත්තක්‌ ලෙස ඉණ ප්‍රදේශයෙන් මතුව පසුව එය ක්‍රම ක්‍රමයෙන් කොඳුඇට පෙළ ඔස්‌සේ පැතිර ගොස්‌ ඇවිදීමට පමණක්‌ නොව කොන්ද කෙළින් තබාගෙන නැඟිටීමට පවා නොහැකිව එක්‌තැන් වන තත්ත්වයට මෙම කොඳුඇට පෙළ පිළිකාව කාන්තාවට බලපායි. 
 
 එසේ වූ විට වේදනා නාඩිය, චලන නාඩිය ක්‍රියාකාරිත්වය විකෘති වී අධික වේදනාවක්‌ හටගනී. කොන්ද දිග හැරීම නැවීම ද අපහසු වේ. එසේ චලනය කරන විට දරාගත නොහැකි වේදනාවක්‌ හටගනී. 
 
 වෛද්‍යතුමනි, මෙවැනි කොඳුඇට පිළිකාවක්‌ ඇති වූ විට එය සුව කළ නොහැකිද?
 
 මුල් අවස්‌ථාවේදී හඳුනා ගතහොත් සුව කළ හැකියි. නමුත් එය කොඳුඇට පෙළ දිගේ පැතිර ගොස්‌ ස්‌නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වයටද හානි සිදුකර තිබුණහොත් සුව කිරීම අපහසුය. කළ හැක්‌කේ මතුව ඇති රෝගය යම් මට්‌ටමකට පාලනය කිරීම පමණකි. 
 
 කාන්තාවන් තම සිරුර අනවශ්‍ය ලෙස තරබාරු වීම පාලනය කරගත යුතුය. එය ආහාර පාලනය මගින් පමණක්‌ සිදුකර ගත නොහැකියි. දිනපතා ශරීරය වෙහෙස කරවීමද කළ යුතුයි. ඇවිදීම, ගෙදර දොර වැඩ කටයුතු කිරීම මගින් ශරීරය වෙහෙස කළ හැකියි. 
 
 කොඳුඇට පෙළ පිළිකාවක්‌ ඇති කාන්තාවන් ඌරු මස්‌, හරක්‌ මස්‌ වැනි මස්‌ වර්ග ආහාරයට ගැනීම සම්පූර්ණයෙන්ම අත්හළ යුතුය.
 
 තද ඇඹුල් ආහාර වර්ග අධික ලුණු සහිත ආහාර වර්ග නොගත යුතුය.
 
 මඤ්ෙÆක්‌කා දලු මැල්ලුමක්‌ සතියකට දෙවරක්‌වත් ආහාරයට එක්‌ කර ගැනීම ගුණ දායකය. පැන්තරා අල, කොළ හබරල, අල, තැබේරි අල ආහාරයට ගැනීම හොඳය.


​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල