වැසි කාලයට සුලබ කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව

views 2017-10-06 11:53:00 Health_New

 බොරැල්ල ශික්ෂණ රෝහලේ
විශේෂඥ වෛද්‍ය
මංගලා මහලේකම

ත්‍රිදෝශ සමබරව පවත්වා ගැනිමෙන් ශරීරයේ නිරෝගිකම රඳවා ගන්නට හැකි බව ආයුර්වේදයේ සඳහන් වන්නේ නිරෝගිකම මිනිසාගේ ජීවිත පැවැත්මට බෝහෝ වැදගත් වන නිසයි. වාතය, පිත, සෙම යන මේ ත්‍රිදෝශ මුල්කොට පවතින සියළුම රෝගාබාධ මිනිස් සිරුර තුළ පැතිරෙන්නේ කුමන හෝ දෝශයක් අප තුළ අසමතුලිතව පැවතිම නිසාය. කෙසේ වෙතත් අද සෙම දෝශය නිසා ඇති වන සියළු රෝගාබාධ දරුවාගේ පටන් මහල්ලා දක්වා පැතිරී ඇත්තේ මේ සමබරතාවය සිරුරේ නොපවතින බැවිණි. ඒ නිසා ජීවිතයේ සැහැල්ලුව, නිදහස, ප්‍රීතිය උදුරා ගන්නා සිරුර විඩාබර කරන සෙම් දෝෂය නිසා ඇති වෙන විවිධ රෝගාබාධ හා එහි පැවැත්ම අඩාල කරන අන්දම ගැන ඔබව දැනුවත් කිරීම මේ ලිපියේ අරමුණයි.

වර්ෂා කාලය අවසන් වනවාත් සමගම ලෙඩ රෝග පැතිර යෑම වළක්වා ගත නොහැකියි. ඒ අතර මුල් බැසගත් රෝග අතරට සෙම් රෝග විශේෂයි. කුඩා දරුවන් මෙවැනි රෝග හමුවේ නිරන්තරයෙන් ගොදුරුවීම දක්නට හැකි තත්ත්වයක්. ගර්භනී මව්වරුන්, මහලු අයද මේ අතරට එක් වීම තවත් දුක්ඛිත තත්ත්වයකි. කෙසේ වෙතත් බොහෝ පීඩා ගෙන දෙන සෙම් රෝග අතරට ප්‍රතිශ්‍යාව වැඩිපුරම ඇතිවිය හැකි රෝගී තත්ත්වයයි. පීනස් රෝග තත්ත්වය නම් වැසි කාලයට වැඩිවීම සුලබයි. කැස්ස, ඇදුම වැනි රෝග තත්ත්වද වැඩිපුරම දැකිය හැක්කේ වර්ෂා කාලයේදීයි.

ප්‍රතිශ්‍යාව
කුඩා දරුවන්ට හැදීමේ හැකියාව වැඩියි. ස්පර්ශයෙන් හා කිවිසුම් යාම හේතු කොටගෙන ප්‍රතිශ්‍යාව තවත් පැතිර යාම වැඩිවිය හැකියි. මේ තත්ත්වය මත ප්‍රතිශ්‍යාව ක්ෂණිකව බෝවීම සිදුවේ. ප්‍රතිශක්තිය අඩු අයට හා විවිධ ලෙඩ රෝග වැළඳී සිරුර දුර්වල තත්ත්වයේ පසුවන අයට ප්‍රතිශ්‍යාව තවදුරටත් ඇතිවීමේ ප්‍රවණතාවය වැඩිවේ.

ප්‍රතිශ්‍යාවේ මුල් දින ගණන
ඉතාම අපහසුතාවයක් මේ මුල් දිනය හා දෙවන දිනය ඇතුළත සිදු වුවත් තෙවැනි දිනය පසුවනවාත් සමගම සමහරෙකුට මේ ප්‍රතිශ්‍යාවේ මූලික ලක්ෂණ පහවී සුවවීමට පවා ලක්විය හැකියි. නාසය බුරුල් වී යෑම තද ගතිය පහවී යාමට පටන් ගෙන සැහැල්ලු බව ඇති කරයි. ඇස් රතුවීම අඩුවී උදාසීන බවින් මුදා කෑමට ඇති රුචිය වැඩි කරයි. සිරුර ප්‍රබෝධමත් බව ක්‍රමයෙන් ඇති කරන්නට වේ. කෙසේ වෙතත් මේ රෝග තත්ත්ව සමග දින තුනක් පමණ ගෙවීමත් සමග දරුණු තත්ත්වයන් මගහැරි ගොස් කැස්ස පමණක් ඉතුරු කර තබයි. සමහර අවස්ථාවන් වලදී සෙම් තත්ත්වය මුළුමණින්ම ඉවත් නොවූවත් සෙම කැඩී පිටව යන තත්ත්වයට පත් කෙරේ.

මොනවද මේ ප්‍රතිශ්‍යාවේ ලක්ෂණ
උගුරේ ඇතිවන වෙනස්කම් මත සිදුවන පීඩාකාරී බව අපට ප්‍රතිශ්‍යාව හඳුනා ගැනීමට මුල් වන මූලික ලක්ෂණයකි. උගුර කැසීම හා උගුරේ අපැහැදිලිතාවයක් වැනි රෝගාබාධ ස්වරූප ඇතිවීම මෙහි දැකිය හැකි ප්‍රධාන ලක්ෂණයකි. ඒවගේම වෙනදාට නැති උගුරේ අසාමාන්‍යතාවයක් දැනේ නම් ප්‍රතිශ්‍යාවට හේතුවක් බව වටහා ගත හැකියි. වෙනස්වන ගතියක් උගුරේ ඇත්නම් ඒ ගැන යම් අවබෝධයක් ලබාගත යුත්තේ ප්‍රතිශ්‍යාව අප වටා රැඳෙන බව හගවමිනි. ඔබට නිතර නිතර උගුර පාදන්න වන අවශ්‍යතාවය වැඩිනම් නිතර නිතර එක ළඟ කිවිසුම් පිටවීමද ප්‍රතිශ්‍යාවේ තවත් මූලික ලක්ෂණයන්ය.

ඉතාම ආසන්නවම ප්‍රතිශ්‍යාව වැලඳීමේ ලකුණු පහල වන්නේ එවිටයි.

මෙහිදී නොකඩවා කිවිසුම් යාම ඇතිවේ කිවිසුම් යාමත් සමග සොටු දියර ගැලීම ඇතිවේ. සමහරවිට සිරුර සීතල කර උණ රෝග තත්ත්වය ඇතිවේ. පසුව එය වැඩිවත්ම හිසරදය හා මාංශපේශිවල වේදනාව හන්දිපත් අමාරුව දක්වා පැමිණ සිරුරේ අප්‍රාණිකත්වය මෙන්ම උද්ේ‍යීගිමත්භාවය ඇතිකළ හැකියි. කිසිදු වැඩක් පලක් කිරීමට සිත දෙන්නේ නැත. අලස බව ඇතිකරයි. ඔළුව බර ගතිය සේම ඔළුව තබාගෙන නින්දට යෑමට බල කෙරෙන බව හැඟෙයි. නිදිමත බව ඇතිවේ. ඇස් කැසීම, ඇස්වලින් කඳුළු වැගිරීම, ඇස් රතුවීම, මුහුණ රෝස පාටවීම, හිරු එලිය දෙස බැලීමේ අපහසුව, නාසය හිර වීම හුස්ම ගැනීමේ අපහසුව ඇති විය හැකියි.

කහපාටට සෙම පිටවීම
සෙම කැඩී පිටවීම ඇති වූවත් ක්‍රමයෙන් පහවන්නට නම් සමතුලිතභාවය රැක ගැනීමට නම් ආහාර හා විහරණ විධි පාලනයක් කළ යුතුයි. කහපාටට හෝ කොළ පාටට, දුඹුරු වැනි පාට වලින් සෙම පිටවිය හැකියි. එයට නිසි ප්‍රතිකාර නොලැබුණහොත් නිව්මෝනියා රෝග තත්ත්වය දක්වා ඇතිවිය හැකියි. මේ නිසා රෝගයට නිසි ප්‍රතිකාර අත්‍යවශ්‍ය බැවින් කල් නොයවා ප්‍රතිකාරවලට යොමුවීම වැදගත්ය.

ප්‍රතිශ්‍යාව ඇතිවිට කළයුතු දේ.

* උණු ජලය භාවිතය
* සැහැල්ලු ආහාර ගැනීම
* බර ආහාර නොගැනීම
* සහැල්ලු ආහාර උණුවෙන් ගැනිම
* උණුසුම් ඇඳුම් ඇඳීම
* තෙත ඇඳුම් නොඇදීම
* ස්නානය නොකිරීම
* සීතකරණයේ තබා ආහාර නොගැනීම
* තද අව්රශ්මියේ නොසිටීම
* දූවිලි නොවැදීම
* ඇල් ජලය භාවිත නොකිරීම
* විදුලි පංකා සහ ශීතකළ කාමරවල නොසිටීම
* සැහැල්ලු ඇඳුමක් ඇඳ සිටීම

වැළැක්වීමට කළ යුතු දේ

බොහෝ දෙනා ප්‍රතිශ්‍යාව වැනි රෝග ගැන එතරම් නොසලකා හැරියත් එය උග්‍ර වීමෙන් දරුණු රෝග තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවන බව වටහා ගත යුතුයි. ගෙදර දොරේ එකිනෙකා සමග පවතින සම්බන්ධතාවයන් තරමක් දුරට සීමාසහිතව පවත්වා ගැනීම මෙහිදී වැදගත් ය. ප්‍රතිශ්‍යාව ඇති අයෙක් තුවාය භාවිත කිරීම වෙනම සිදුකළ යුතුයි. තමා පරිහරණය කරන බඩු භාණ්ඩ වෙනම භාවිත කිරීම අන් අයට එය බෝවීම වැළැක්වීමට හොඳම උපක්‍රමයකි. ලේන්සු පිඟන් කෝප්ප වැනි භාණ්ඩ මෙහිදී තමාටම කියා වෙන්කර ගන්න. සැහැල්ලු ආහාර වර්ග ගැනීම ගුණයි. උණුසුම් පාන වර්ග ගැනීම යහපත්ය. අව්වේ, වැස්සේ, පින්නේ යාම හොඳ නැත. සීතල වතුර සමහරුන්ට ස්පර්ශය පවා නුසුදුසුයි. පුද්ගලයාගෙන් පුද්ගලයාට පවතින සිරුරේ වෙනස්කම් මත රෝගී බව පෙන්නුම් කරන නිසාය. මහන්සිවීම, නිදිවැරීම හොඳ නැත. උදෑසන 10 - 11 වන විට උණුසුම් ජලයෙන් මුහුණ කට හෝ ඇඟ සේදීම කළ හැකියි.

සැලකිය යුතුයි

මෙවැනි තත්ත්වයන් දීර්ඝ කාලයක් පැවතුණහොත් සුදුසුකම්ලත් වෛද්‍යවරයකු වෙත පැමිණීම වඩාත් යෝග්‍යය.

* හැමවිටම අත් පිරිසිදුව තබා ගැනීමත් ප්‍රතිශ්‍යාවෙන් වැළකී සිටීමට උදව් වෙයි.

* උණු වතුර වාෂ්පය, උණු වතුරට දෙහි කොළ දමා නැඟෙන වාෂ්පය, කොත්තමල්ලි හැලියේ වාෂ්පය ආදී මෙම කවර වර්ගයක වාෂ්පය ඉරීම සෙම්ප්‍රතිශ්‍යාවෙන් මිදී ඔබට සහනයක්ම ගෙන දීමට සමත් වේවි.

* රෝගියකු කිවිසුම් අරින හෝ කහින තැනක ඔබ සිටියහොත් මඳ වේලාවක් හුස්ම නොගෙන හුස්ම අල්ලාගෙන සිටීම එක් ආරක්ෂාකාරී පියවරකි.

* උදේ සවස ලුණු වතුරෙන් කට සේදීම.

dinamina.lk


​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල