නිරෝගී ලස්සන හිසකෙස් ලබා ගැනීමට ඔබට නිවසේදීම කරගත හැකි පහසු සත්කාර 5ක්

views 2017-10-04 11:06:00 Hair_New

නිරෝගී ලස්සන කෙස් කළඹක් ලබා ගන්න කවුද කැමති නැත්තෙ. ගැහැණු පිරිමි බේදයක් නැතුව අපි කවුරුත් කැමතියි තමන්ගෙ හිස කෙස් නිරෝගීව සහ ලස්සනට තියාගන්න. හැබැයි ඉතින් කාර්ය බහුලකමත් එක්ක රෑට නාන්න වෙනව වගෙම ඉඳ හිටවත් තෙල් සාත්තුවක් කරගන්න ඉඩක් නැති වීම ලොකු ප්‍රශ්ණයක්. ගෙදර ඉන්න දවසක සතියකට සැරයක් ගෙදරදීම හිසකෙස් වලට කරන්න සත්කාර තියෙනව. අනිවා අපි හිතුවා අපේ හිතවතුන්ට එහෙම සත්කාර ක්‍රම කීපයක් කියල දෙන්න. මෙයින් එකක් හරි සතියකට සැරයක්වත් කරන්න පුළුවන් නම් ඔබට ලස්සන වගේම නිරෝගී කෙස් කළඹක් ලබා ගන්න පුළුවන්.

1. අලි ගැට පේර සහ බිත්තර  – පළුදු හිසකෙස් වලට
ඔබේ හිසකෙස් පළුදු වෙලා නම් වියළිලා නම් මෙන්න මේ වගේ ප්‍රතිකාරයක් ඔබට හොඳින්ම ගැලපෙනවා. හදාගන්න පහසුයි. හොඳින් ඉදුණු අලි ගැට පේර ගෙඩියකට බිත්තරයක් එක් කර මෘදු මිශ්‍රණයක් සාදා හිස කෙස් සහ හිස් කබලෙහි ගාන්න. විනාඩි 20කින් හොඳින් සෝදා හරින්න. හුඟක්ම ඩැමේජ් හිසකෙස් වලට නම් සතියකට වතාවක්ද සාමාන්‍ය හිසකෙස් ඇති කෙනෙක්ට නම් මාසයකට වතාවක්ද මේ ප්‍රතිකාරය කිරීම ප්‍රමාණවත්.
 
2. ඇපල් සයිඩර් විනාකිරි – වියළි නිතර ගැට ගැහෙන හිසකෙස් වලට
ඇඟේ බර අඩු කරගන්න දැන් හුඟ දෙනෙක් මේක පාවිච්චි කරනවා. ඇත්තටම ඇපල් සයිඩර් විනාකිරි වලින් කෙරෙන ප්‍රතිකාර බොහොමයි. හිසකෙස් වලට මෙන්න මේ විදියට පාවිච්චි කරන්න පුළුවන්.

ඔබට තියෙන්නෙ වියලි නිතර ගැට ගැසෙන හිසකෙස් නම් ඇපල් සයිඩර් විනාකිරි තේ හැඳි 1ට, ඔලිව් ඔයිල් මේස හැඳි 2ක්, බිත්තර සුදු මද 3ක් මිශ්‍රකර හිස ගල්වා පැය බාගයක් පමණ හිස පොලිතින් කවරයකින් ආවරණය කර තබා ෂැම්පූ කර සෝදා හරින්න. මේ සත්කාරය සති දෙකකට වතාවක් කිරීම ප්‍රමාණවත්.
 
3. දෙහි සමඟ ඔලිව් තෙල් – වියළි නමුත් හිස් හොරි ඇති හිසකෙස් වලට

ඔබේ හිසකෙස් වියළි නමුත් හිස් හොරි ස්වභාවයක් පතිනවා නම් මෙන්න ඔබටම ගැලපෙන ප්‍රතිකාරයක්. දෙහි යුශ මේස හැඳි 2කට, ඔලිව් තෙල් මේස හැඳි 2ක්, වතුර මේස හැඳි 2ක් හොඳින් මිශ්‍ර කර තෙත හිස්කබලෙහි ගල්වා විනාඩි 20ක් තබා ෂැම්පූ කර සෝදා හරින්න. දෙහි වලින් ඔබේ හිස් කබලෙහි විශබීජ විනාශ කරනවා සමඟම ඔලිව් තෙල් වලින් එහෙ වියළි ගතිය නැති කර හිස කෙස් පෝශණය කරනව. මේ සත්කාරයත් සතියකට වතාවක් කිරීම ප්‍රමාණවත්.

4. ඉදුණු කෙසෙල් – තෙල් සහිත හිසකෙස් වලට

තෙල් ස්වභාවය වැඩි හිසකෙස් ඇත්නම් මේ ප්‍රතිකාරය ඔබට ගැලපෙනවා. හිසෙහි තෙල් අධික බව නිසා කඩා හැලෙන කෙස් කළඹකට හිමිකම් කියන්න අමාරුයි. හොඳින් ඉදුණු කෙසෙල් ගෙඩියකට, මී පැණි මේස හැන්දක්, පොල් තෙල් හෝ ඔලිව් තෙල් මේස හැන්දක් එක් කර හොඳින් පොඩි කර හිස ගල්වා පැය බාගයක් තබා මද රස්නය වතුරෙන් සෝදා හරින්න. මේ සත්කාරය සති දෙකකට වතාවක් කිරීම ප්‍රමාණවත්.

5. උළුහාල් සහ පොල් කිරි – ඉක්මණින් කෙස් සුදු වීම වැලක්වීමට

නිතර රෑට නාන්න හුරු උන කෙනෙක් නම් හිස කෙස් ඉක්මණින් සුදු වීමේ අවධානමක් තියෙනව. එහෙම කෙනෙක්ට මේ සත්කාරය සති දෙකකට වතාවක් කිරීමෙන් හිසකෙස් වල ස්වභාවික වර්ණය රැකගන්න පුළුවන්. රැයක් වතුරේ දමා පොඟවාගත් උළු හාල් හොඳින් අඹරාගෙන ඒ පේස්ට් එකෙන් මේස හැන්දක ප්‍රමාණයට උකු පොල් කිරි මේස හැඳි 2ක් එක් කර හිස ගල්වන්න. විනාඩි 30 තබා මෘදු ෂැම්පු එකකින් සෝදා හරින්න.

aniwa.lk


​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල