කෙස් කලඹ මෙසේ වර්ණවත් කර ගනිමු

views 2017-10-02 09:26:00 Hair_New

 හෙයාර් කලර් එකක් කිරීමට පෙර දැනුවත් විය යුතු කරුණු කාරණා මොනවාද යන්න ගැන දැන් ඔබ දන්නවා. එහෙමනම් අද අප සූදානම් වෙමු හෙයාර් කලර් එකක් සිදුකරන ආකාරය ගැන විමසා බලන්නට.

හෙයා කලර් එකක් කිරීමේදී ඔහුට හෝ ඇයට අවශ්‍ය වර්ණය පිළිබඳව නිවැරැදි තීරණයකට එළඹීම ඉතාමත් වැදගත් වෙනවා. හේතුව යම් හෙයකින් කලර් එකක් කිරීමෙන් පසුව සේවාදායකයා ඒ පිළිබඳව සෑහීමකට පත් නොවුණොත් ගැල් වූ වර්ණය ප්‍රතික්ෂේප කළහොත් පැය 24 ක් තුළ නැවතත් කෙමිකල් භාවිතා කරන්නට සිදුවනවා. එය හිසකෙස්වලට හානිකර බලපෑම් ගෙන දෙන්නට පුළුවන්. එම නිසා ඒ පිළිබඳව අවධානය යොමු විය යුතුයි.

අසාත්මික වන නොවන බව

මුල්වරට හෙයාර් කලර් එකක් කිරීමට පැමිණෙන අයෙකුට නම් අප ඒ මොහොතේම එය සිදු කරන්නේ නෑ. ඊට කලින් ඇයගේ ස්කින් ටෙස්ට් එකක් එනම්, පෙර පරීක්ෂණයක් කිරීම අවශ්‍යයයි. භාවිත කිරීමට යන කලර් එක වැලමිටේ හෝ කණ පිටුපස තවරා පැය 24 ක් හෝ පැය 48 ක කාලයක් තබා ඉන් කිසියම් අසාත්මික ලක්ෂණ ඇතිවේ ද යන්න ගැන සැලකිලිමත් විය යුතුයි. කැසීම, රතුවීම, පලු දැමීම, හිසරදය වැනි අසාත්මික තත්ත්වයන් නොවේ නම් එම හෙයාකලර් එක කිරීමට අපට සූදානම් විය හැකියි.

බිලීච් කළ කොණ්ඩයක් නම්

එසේත් නොමැතිව හෙයාර් කලර් එක කිරීම සඳහා පැමිණෙන්නේ හානි වූ හිසකෙස් ඇති (Damage Hair)) අයෙකු නම් (කලින් රීබොන්ඩින් - ෆර්මින් කර තිබේ නම්) බිලීච් වර්ග බ්ලොන්ඩර් ජෙල් වර්ග පාවිච්චි කර නැවත බිලීච් කිරීමක් නොකළ යුතුයි. කොණ්ඩයට හානි නොවන 6% - 9% - 12% ඩිවෙලපර් වැනි සැර බවින් වඩාත් අඩු දේ පාවිච්චි කර නියමිත කාල වේලාවන් පිළිබඳව ද පරීක්ෂාකාරී වීමෙන් පසුවයි අප කොණ්ඩය කලර් කිරීමට සූදානම් විය යුත්තේ. එසේ නොමැතිව බිලීච් කරන කොණ්ඩයකට යළිත් බිලීච් යෙදීමට ගියහොත් කොණ්ඩයට වඩාත් හානි සිදුවන්නට පුළුවන්.

තෙල්, ක්‍රීම් ගැල් වූ කෙස් කලඹකට

කොණ්ඩය කලර් කිරීමට පෙර ඇය හිසකෙස්වල තෙල් ක්‍රීම් වර්ග ආලේපකර තිබෙනවා ද යන්න ගැන පරීක්ෂා කර බැලිය යුතුයි. එසේ නම් ඊට පෙර කොණ්ඩය හොඳින් ෂැම්පුකර සෝදා පිරිසුදු කර හෙයාර් ඩ්‍රයරයෙන් වියළා කලර් කිරීම සඳහා සුදුසු ලෙස හිසකෙස් සකසා ගත යුතුයි.

ඉන්පසු දැති ලොකු පනාවකින් (Jambo Comb) කොණ්ඩය පහළ සිට ඉහළට හොඳින් පීරමින් අවුල් ස්වභාවය සහ ගැට ගැසුණු ස්වභාවයන් ඉවත් කරගත යුතුයි.

කොටස් කර ගැනීම

ඉන්පසුව කළ යුත්තේ කොණ්ඩය කොටස් හතරකට වන සේ බෙදා වෙන්කර ගැනීමයි. නළල සිට හිස්මුදුනට, හිස් මුදුනේ සිට කන දෙපැත්තට නැවත හිස්මුදුනේ සිට බෙල්ල ළඟට යන ආකාරයට කොටස් කරගත යුතුයි. ඉන්පසු කොණ්ඩය උඩ සිට පහළට තීරු තීරු වශයෙන් ගෙන අවශ්‍ය ආකාරයට වර්ණ ගැන්වීම කළ යුතුයි. මුළු කොණ්ඩයටම කලර් එක පාවිච්චි කරනවා නම් සම්පූර්ණයෙන්ම හිසකෙස්වල වර්ණ ගැල්විය යුතුයි. එසේ නොමැතිව දිග කොණ්ඩයකට හයිලයිට් එකක් කරනවා නම් අපට ඒ සඳහා ෆොයිල් එක පාවිච්චි කිරීම කළ හැකි අතර කොට කොණ්ඩයකට නම් හයිලයිට් කැප් එකක් පාවිච්චි කිරීමට පුළුවන්.

මෙහිදී අවශ්‍ය පරිදි කොණ්ඩය තීරු වශයෙන් වෙන්කර කොටසින් කොටස ගෙන බ්ලොන්ඩ් ජෙල්වලින් කොණ්ඩය වර්ණ ගැන්වීමේදී භාවිත කරන වර්ණයක් මීට බ්ලොන්ඩ් කරගත යුතුයි. බ්ලොන්ඩි එකෙන් කොණ්ඩයේ කළු පාට ස්වභාවය ඉවත්කර ගැනීමෙන් පසු කළ යුත්තේ අප තෝරාගත් වර්ණය සකස්කර ගැනීමයි.

වර්ණය සකසා ගැනීම

මෙහිදී එකවරම සම්පූර්ණ කොණ්ඩයටම අවශ්‍ය වන වර්ණය සකසා ගැනීම නොකළ යුතුයි. හේතුව සාමාන්‍යයෙන් කලර් එක ටියුබ් එකෙන් පිටතට ගෙන එහි වැලක්සෝන් (වර්ණයක් සමඟ මිශ්‍ර කෙරේ) එකක් එක්ක එකතුකර ගන්නා විට විනාඩි දහයක් ඇතුළත බුබුළු ආකාරයෙන් වර්ණකය නිෂ්පාදනය වීමයි. ඉන්පසු ඩයි කප් එකෙහි විනාඩි 20 ක වගේ කාලයක් එය තිබියදී කලර් එක ගල්වනවා නම් වර්ණවත් වීම සිදු වන්නේ මුලින්ම වර්ණ ගැන් වූ කොටසට පමණයි. වේලාව ගතවීම නිසා ඩයි කප් එක තුළම කලර් එක උරාගෙන තිබීමෙන් පසුව ගාන කොටස්වලට වර්ණවත්වීමක් සිදු වන්නේ නෑ. එම නිසා අප එය නිවැරැදි කරගත යුතුයි. අප කලර් එක සකස් කරගන්නා ප්‍රමාණය තීරණය කළ යුත්තේ කොණ්ඩයේ ස්වභාවය සහ ප්‍රමාණය දැනගෙනයි. පළමුව එක් කොටසකට අවශ්‍ය ප්‍රමාණය සකසාගෙන එය තවරාගත් පසු අනෙක් කොටසට අවශ්‍ය ප්‍රමාණය සකස් කරගැනීම කළ යුතුයි.

වර්ණ ගැල්වීම

සමහරු කලර් එක ආලේප කිරීමෙන් පසු එය වසා තබනවා. නමුත් එසේ වසා තැබීමක් කරනු ලබන්නේ බ්ලොන්ඩි එකක් නම් පමණයි. කලර් එකක් ඒ ආකාරයෙන් වසා තැබීමක් කරන්නේ නෑ. අප කලර් එක භාවිත කරන ස්ථානයේ ඒ/ඛ් එකක් නොවේ නම් අධික රස්නය සහිතව තබන්නේ නෑ. මෙහිදී සේවාදායකයාට වඩා හොඳ වාතාශ්‍රයක් ලැබෙන ආකාරයට අවශ්‍ය ස්ථානය සකස්කර ගත යුතුයි. කලර් එක ගෑමෙන් පසුව එය තැබිය යුතු වේලාව කොපමණ ද යන්න එම ඇසුරුම්වල සඳහන්ව තිබෙනවා. එම උපදෙස් අනුව කටයුතු කිරීම වැදගත්.

වර්ණ ගල්වා තැබිය යුතු වේලාව

නමුත් මෙහිදී වටහාගත යුතු වැදගත්ම දේ නම් කලර් එකක් දියකරගත් පසු එතැන් සිට ගතවන වේලාවේ සිට ආලේප කළාට පසු ගතවන වේලාව පැයකට වඩා ඉක්ම නොයන්නට වගබලා ගැනීමයි. නියමිත වෙලාවට වඩා වැඩි වේලාවක් තැබීම සුදුසු නොවන බව අවධාරණය කිරීම වැදගත්. කලර් එකක් සිදු කිරීමෙන් පසු එය සෝදා ඉවත් කිරීමේදී අනුගමනය කළ යුතු නිවැරැදි ක්‍රමය පිළිබඳව විමසා බලමු. මෙහිදී අප හයලයිට් කැප් එකක් භාවිතකර තිබුණොත් එම කැප් එක තිබියදීම සේදිය හැකියි. එවිට අනෙක් කෙස්ගස්වලට වතුර ගෑවීමක් හෝ බ්ලොන්ඩර් ජෙල් ගෑවීමක් සිදු නොවෙයි. නමුත් ෆොයිල් එකක් පාවිච්චි කළහොත් සම්පූර්ණයෙන්ම ෆොයිල් එක ගලවා සේදීම කළ යුතු වෙනවා.

කොණ්ඩය පිරිසුදු කිරීම

කාණ්ඩය සෝදන විට හිස් කබල, නළල, බෙල්ල වටා ඉතා හොඳින් පිරිසුදු වන ආකාරයට සේදීම කළ යුතුයි. මෙහිදී හිස්කබල නිසියාකාරව නොසේදීම නිසා එම වර්ණ හිස්කබල මතුපිට රැඳී ඉස්හොරි හෝ වෙනත් ආසාදන තත්ත්වයන් ඇති විය හැකියි. එම නිසා වඩාත් හොඳින් හිස පිරිසුදු කිරීමට සැලකිලිමත් වීම වැදගත්.

ෂැම්පු භාවිතය

කලර් එකකින් පසුව එම කොණ්ඩය සේදීම සඳහා පාවිච්චි කළ යුත්තේ ආෆ්ටර් කලර් ෂැම්පු එකයි. කෙස් ගසෙන් ඉවත්වන පෝෂණ කොටස් නැවත ලබාදීමත් මෙහිදී සිදු කෙරෙන නිසා කලර් එකකින් පසු සාමාන්‍ය ෂැම්පු එකක් භාවිතා කරනවාට වඩා සුදුසු වන්නේ ආෆ්ටර් කලර් ෂැම්පු කන්ඩිෂනර් භාවිත කිරීමයි. උසස් ප්‍රමිතියකින් යුත් කලර් භාවිතයේදී එහි වොෂබල් ටයිම් වශයෙන් සේදිය හැකි වාර ගණන දක්වා තිබෙනවා. එනම් 10 වරක් 20 වරක් ආදී වශයෙන්. විසි වරක් නම් අප දවසට වරක් ස්නානය කළහොත් දවස් 20 ක් ගතවන තෙක් ගැල් වූ කලර් එක රඳා පවතිනවා. සාමාන්‍ය සේදුම්කාරකයකදී කොණ්ඩයේ තිබෙන කුණු දූවිලි සමඟ ගැල් වූ වර්ණයත් ඉවත් වී යනවා. නමුත් ආෆ්ටර් කලර් ෂැම්පු එකකදි කොණ්ඩයේ වර්ණය ඉවත් වී යාමක් සිදුවන්නේ නෑ. මෙහිදී කුණු දූවිලි ඉවත් කරමින් කොණ්ඩයට අවශ්‍ය පෝෂණය ලබා දෙනවා. කලර් කරන ලද කොණ්ඩයකට ආෆ්ටර්කලර් ෂැම්පු භාවිතය වඩා සුදුසු ලෙස පවසන්නේ එම නිසයි.

tharunie.lk


​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල