කල්‍යාණමිත්‍ර විදේශ ප්‍රතිපත්තිය පවත්වාගෙන යනවා

0 Aug 18, 2020 09.25am Gossip

ලෝකයේ කිසිදු රටක් සතුරන් සේ නොසලකා මිත්‍රශීලී ලෙස කටයුතු කරගෙන යෑම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ විදේශ ප්‍රතිපත්තිය බව විදේශ සබඳතා ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කරයි.

මේ වනවිට ශ්‍රී ලංකාව සතුව කල්‍යාණ මිත්‍ර විදේශ ප්‍රතිපත්තියක් පවතින බව පෙන්වාදෙන ඒ මහතා කිසිඳු රටක් සමඟ ශ්‍රී ලංකාව සතුරන් සේ කටයුතු නොකරන බවද ලොව සෑම රටක් සමඟම කල්‍යාණ මිතුරන් සේ කටයුතු කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්තිය බවද පෙන්වා දෙයි.

විදේශ සබඳතා ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේ නව රජයේ විදේශ සබඳතා ඇමැතිවරයා වශයෙන් පත්කිරීමෙන් අනතුරුව එම ධූරයේ වැඩ බාරගැනීම වෙනුවෙන් විදේශ සබඳතා අමාත්‍යාංශයේ දී ඊයේ (17) පෙරවරුවේ පැවැති උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් පළකරමින් දිනේෂ් ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේ විදේශ සේවාවේ නිරතවූවන්ගේ වෘත්තිය දැනුම ඉහළ නැංවීමට සහ සක්‍රිය විදේශ සේවයක අවශ්‍යතාවය වෙනුවෙන් පසුගිය කාලයේ පෙනී සිටි බවත් ඒ වෙනුවෙන් විදේශ සේවාවේ සියලු දෙනාට ඒ කාර්යය නිසිලෙස ඉටුකරන්න හැකිබව පසුගිය කාලයේ පැවැති අභියෝගවල දී ඔප්පුකර තිබෙන බවත්ය.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සාර්ථක ප්‍රතිඵල අත්කර ගනිමින් ලබාදී තිබෙන පණිවුඩය යළිත් වරක් ලෝක සිතියමට ශ්‍රී ලංකාව ගෙන එන්නට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හැකියාව ලැබී තිබෙන බව පෙන්වාදුන් ඇමැතිවරයා ඒ අනුව අපේ රට සුවිශේෂී ස්ථානයකට මේ වනවිට ගෙනවිත් තිබෙන අතර සාර්ථක ප්‍රතිඵල ගෙනදුන් රටක් සහ රාජ්‍ය පාලකයා වශයෙන් අපේ රට දෙස ලොවම බලා සිටින බවද මේ කාර්යයේ දී විදේශ අමාත්‍යාංශයේ කැපවීම ප්‍රශංසනීය බවද පැවසීය.

නොබැඳුනු, මධ්‍යස්ථ මිත්‍රශීලී විදේශ ප්‍රතිපත්තියකට බැදී සිටින ශ්‍රී ලංකාව ජනාධිපතිවරයාගේ ප්‍රකාශනයේ කාර්යය ඉදිරියට ගෙන යන්න අධිෂ්ඨානයෙන් කැපවන විදේශ අමාත්‍යාංශයක් ලෙස ඒ අධිෂ්ඨානය ජයගත යුතු බව පෙන්වාදුන් දිනේෂ් ගුණවර්ධන මහතා මේ අමාත්‍යාංශය හරහා ලබාදිය යුතු ජාතික හා ජාත්‍යන්තර මිත්‍රත්වයේ වැදගත්කම ලෝකයේ කොතැනක හෝ රටවල වාසය කරන ශ්‍රී ලාංකිකයන්ට සතුටක් ගෙන දෙන පරිද්දෙන් තානාපති සේවය හා කිට්ටු මිත්‍රත්වයක් ඇති කිරීමේ අලුත් පරිච්ඡේදයකට පිවිසිය යුතුවන බවද ප්‍රකාශ කළේය.

ජපානයේ ප්‍රධාන සංඝනායක බානගල උපතිස්ස නාහිමි, ඇමැතිවරුන් වන ආචාර්ය බන්දුල ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, රාජ්‍ය ඇමැති සරත් වීරසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන යදාමිණී ගුණවර්ධන, මහාචාර්ය තිස්ස විතාරණ, ජගත් කුමාර, ගෙවිඳු කුමාරතුංග, අනුප පස්කුවල්, තිස්ස කුට්ටිආරච්චි, හිටපු ඇමැතිවරුන් වන ගීතාංජන ගුණවර්ධන, විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල්, මහාචාර්ය ජයනාත් කොළඹගේ, හිටපු ලේකම් රවිනාථ ආරියසිංහ, අධ්‍යක්ෂ ජනරාල් රුවන්ති දැල්පිටිය මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.


( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post