ජනතා අපේක්ෂා ඉටු කරන්න කැප වෙනවා

0 Aug 13, 2020 09.09am Gossip

අහස උසට බලාපොරොත්තු තබා ගනිමින් ජනතාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා බලය දුන් බවත්, එම ජනතා අපේක්ෂා ඉටු කිරීමේ භාරධූර වගකීම වෙනුවෙන් මේ මොහොතේ සිටම කැප වන බවත් ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය

රඹුක්වැල්ල මහතා පවසයි. කැබිනට් අමාත්‍ය ධූරයේ දිවුරුම් දීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

ජාතික ආරක්ෂාව සම්බන්ධ මාධ්‍ය ප්‍රකාශක හා කැබිනට් ප්‍රකාශක ලෙස වසර පහක් කටයුුතුකර අත්දැකීම් ඇති තමන් ජනමාධ්‍ය සමඟ සුහඳව කටයුතු කළ අයකු බවත් ජත්‍යන්තර විශ්වාසය ගොඩ නගා ගනිමින් රට සංවර්ධනය කර ගෙනයන වැඩපිළිවෙළට මාධ්‍ය සහාය නිරන්තරව අපේක්ෂා කරන බවත් ඒ මහතා කීය.

කොවිඩ් වසංගතයත් සමඟ රට ඉතා බැරෑරුම් තත්ත්වයකට වැටී තිබෙන බවත් මනා කළමනාකරණයක් ඇතිව විධිමත් වැඩිපිළිවෙළක් තුළින් රට යළි සංවර්ධන මාවතට යොමු කිරීමේ වගකීම සියලු දෙනාට පැවරී තිබෙන බවත් හෙතෙම කීය.

ජනපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය රට තුළ යථාර්ථයක් බවට පත් කිරීම උදෙසා යම් වගකීමක් සහිත කාර්යභාරයක් පවරා තිබෙන බවත් එය ඉටු කිරීම සඳහා අවංකව කැපවන බවත් ජනමාධ්‍ය ඇමැතිවරයා පැවසුවේය.

ඔබ ඔබගේ යුතුකම් ඉටු කරන්න අපි අපේ වගකීම් ඉටු කරන්නම් යනුවෙන් ජනපතිතුමා ජනතාව හමුවේ පැවසූ බවත් ජනතාව තම යුතුකම් උපරිමයෙන් ඉටුකර තිබෙන මේ මොහොතේ ජනතාවට ජනපතිතුමා දුන් පොරොන්දුව ඉටු කිරීම සඳහා සාමුහිකව සියලු දෙනා කැපවන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.


( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post