සයිබර් ප්‍රහාර එල්ල කළ පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග

0 Jun 01, 2020 08.53am Gossip

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාරයක් එල්ල කළ පාර්ශවයන්ට එරෙහි ව වහාම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව විදේශ සබඳතා ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කරයි.

රටේ මහජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වගකිව යුතු රජයක් වශයෙන් සෑම පියවරක්ම ගන්නා බව පෙන්වාදෙන ඇමැතිවරයා තොරතුරු ලබාගැනීමට ඇති අයිතිය මහජනතාවට තිබිය යුතු බවද එම අයිතියට කුමන්ත්‍රණකාරීව පහර දෙන පිරිස් හැකි ඉක්මණින් නීතිය හමුවට රැගෙන එන බවද පෙන්වාදෙයි.

මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඇමැතිවරයා මේ බව පෙන්වා දුන්නේය.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවිවලට ‘ටැමිල් ඊලාම් සයිබර් ෆෝර්ස්’’ නම් කණ්ඩායමක් විසින් සයිබර් ප්‍රහාරයක් එල්ල කරන ලද අතර මෙම සයිබර් ප්‍රහාරය එල්ල කර ඇත්තේ විදේශවල වෙසෙන එල්.ටී.ටී.ඊ හිතවාදීන් පිරිසකගේ අවශ්‍යතාවයට යැයි මේ වනවිට අනාවරණය කරගෙන තිබේ. කෙසේ වුවද මේ සම්බන්ධයෙන් අදාළ ආයතන දෙකම ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසඳයට දැනුම් දී තිබෙන අතර ඒ පිළිබඳව පරීක්ෂණයක් ද ආරම්භකර ඇත.

 


( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post