පවුල් 51,44,046 කට 5000 දෙන්න කෝටි 2572ක්

0 May 15, 2020 08.39am Gossip

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් පවුල් 51,44,046 කට මෙම මැයි මාසය සඳහා රුපියල් පන්දහස බැගින් ලබා දීම වෙනුවෙන් රුපියල් මිලියන 25,720.24ක් එනම් රුපියල් කෝටි 2572ක් වෙන් කිරීමට රජය තීරණය කර තිබේ.

මෙම මුදල ජනතාවට ගෙවීම සඳහා මහාභාණ්ඩාගාරයෙන් වෙන් කර ගැනීමට කාන්තා හා ළමා කටයුතු, සමාජ ආරක්ෂණ, සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණු බව සම කැබිනට් ප්‍රකාශක, තොරතුරු සහ ජනමාධ්‍ය, උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (14) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවැසීය.

අප්‍රේල් මාසයේ සිට රුපියල් පන්දහස බැගින් වන මෙම මාසික දීමනාව හැත්තෑහතර ලක්ෂයක ජනතාවකට ගෙවා ඇති බව කී ඇමැතිවරයා, මෙය නිදහසින් පසු මෙරට ඉතිහාසයේ දේශාපාලන පක්ෂ පාට ආදී කිසිදු බේදයකින් තොරව මෙවන් ව්‍යසනකාරී අවස්ථාවක පීඩාවට පත්වූ ජනතාවට මානුෂවාදී දයානුකම්පිත ගෙවීමක් ලෙස ගෙවන ලද වැඩිම මුදල් ප්‍රමාණය බවද පැවැසීය. මෙම රුපියල් 5000 දීමනාව ගෙවීම සඳහා වැඩිහිටි දීමනාව මෙතෙක් ලැබී නොමැති පොරොත්තු ලේඛනවල සිටි අයද සමඟ 629, 214දෙනකුට රුපියල් මිලියන 3,146ක් ද, වයස අවුරුදු 100ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 489කට රුපියල් මිලියන 2.4ක් ද, මෙතෙක් ආධාර නොලැබුණු පොරොත්තු ලේඛනවල සිටි අයද සමඟ ආබාධිත ජනතාව 123,641කට රුපියල් මිලියන 619ක් ද, වකුගඩු රෝගීන් 44,291කට රුපියල් මිලියන 221ක් ද වශයෙන් පුද්ගලයන් 797,635කට රුපියල් මිලියන 3988ක මුදලක් මේ යටතේ වෙන් කර ගැනීමට නියමිත බවද ඇමැතිවරයා කීය.

මීට අමතරව, අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත අභියාචනා ඉදිරිපත් කර ඇති එසේම, ග්‍රාමීය කමිටුවලින් හඳුනාගත් ප්‍රතිලාභීන්ට අතිරේකව ආබාධිත දීමනාව, වකුගඩු දීමනාව සහ වැඩිහිටි දීමනාව ගෙවීම සඳහා තවත් 71,383දෙනකු හඳුනා ගෙන තිබෙන බවද, ඔවුන් වෙනුවෙන් මෙම රුපියල් 5000 දීමනාව ගෙවීම සඳහා රුපියල් මිලියන 356ක් වෙන් කෙරෙක බවද සඳහන් කළේ ය. තවද, සමෘද්ධීලාභීන් 1,798,293 ක් සඳහා රුපියල් 5000 බැගින් ගෙවීම සඳහා රුපියල් මිලියන 8991ක් ද, සමෘද්ධි පොරොත්තු ලේඛනයේ 1,2 කණ්ඩායම්වල සිටින 7,31970ක් පමණ පිරිසකට රුපියල් මිලියන 3659.87ක් ද, ග්‍රාමීය කමිටු විසින් අඩු ආදායම්ලාභීන් ලෙස හඳුනා ගෙන ඇති එසේම ඍජු හා වක්‍ර ලෙස ජීවනෝපාය අහිමි වූවන් 1,924,960කට මිලියන 9,624.87ක් ද, අගමැති කාර්යාලය නිකුත් කර ඇති චක්‍රලේඛ අනුව පුද්ගලයන් 688,811කට මිලියන 3444.6ක් ද මෙසේ ගෙවීමට නියමිත ය. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (14) පැවැත්විණි.


( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post