චීනයේ සිරවී සිටින සිසුන්ට ආහාර-විටමින් අවශ්‍ය තරම්

0 Feb 01, 2020 08.55am Gossip

චීනයේ මාරාන්තික කොරෝනා වසංගතය නිසා වූහාන් නගරයෙහි දැනට කොටු වී සිටින ශ්‍රී ලාංකික සිසුන් අතරින් ඇතැම් පිරිසකට, තමන් රැස් කර තබා ගත් ආහාර සංචිත අවසන් වෙමින් පවතින හෙයින් එම ආහාර ද්‍රව්‍ය සහ අවශ්‍ය විටමින් වර්ග ඔවුන් වෙත අඛණ්ඩව සැපයීම සඳහා ශ්‍රී ලංකා රජය පියවර ගනිමින් සිටින බව ජනාධිපති විදේශ කටයුතු අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පැවැසීය.

වූහාන් හි ඔවුන් ඉගෙනුම ලබන විශ්වවිද්‍යාල සහ ඔවුන් නවාතැන් ගෙන සිටින නේවාසිකාගාරවලින් එම සිසුන්ට පිසූ ආහාර ලබා දෙන බවත්, එහෙත් එම සිසුන් මේ ආහාර මගින් රෝගය තමන් වෙත ද වැළඳීම සිදු විය හැකි යැයි සිතා එම ආහාර ලබා ගැනීමට අකමැත්තක් දක්වන බවද ලේකම්වරයා පැවසීය.

මේ සිසුන්ට අවශ්‍ය ආහාර, විටමින් ලබා දීම පිළිබඳ මෙන්ම, මේ සිසුන් පිරිස කඩිනමින් ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගැනීම සඳහා චීන රජය මෙන්ම හූබෙයි ප්‍රාන්ත රාජ්‍ය බලධාරීන් සමඟ ද ශ්‍රී ලංකා රජය මෙන්ම චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ද නිරන්තරයෙන් සාකච්ඡා පවත්වමින් සිටින බව අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර 1/ 29 දින රාත්‍රි 6.10ට කුංමිං සිට එම්. යූ. 713 දරන ගුවන් යානය සහ රාත්‍රි 6. 28ට ෂැංහයි සිට එම්. යූ. 231 දරන චයිනා ඊස්ටන් ගුවන් සේවයේ ගුවන් යානා දෙකක් පැමිණ තිබේ.

ඊට අමතරව එදිනම රාත්‍රි 9. 10ට චොංකිං සිට චොංකිං ගුවන් සේවයේ ඕ. කිව්. 2393 දරන ගුවන් යානය ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර, එම ගුවන් යානාවල ශ්‍රී ලාංකික සිසුන් 30 දෙනකු පැමිණ තිබේ.

ඊට අමතරව 1/ 30 දින අලුයම චීනයේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා තුනකින් ද තවත් ශ්‍රී ලාංකික සිසුන් 110ක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔවුන් 1/ 30 දින අලුයම 5. 10ට ෂැංහයි සිට පැමිණි යූ. එල්. 867 දරන ගුවන් යානයෙන් ද අලුයම 5. 50ට බෙයිජිං සිට පැමිණි යූ. එල්. 869 දරන ගුවන් යානයෙන් ද ග්වැන්ෂෝ සිට අලුයම 6. 10ට පැමිණි යූ. එල්. 885 දරන ගුවන් යානයෙන් ද මේ සිසුන් පිරිස කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඒ අනුව චීනයේ සිට ශ්‍රී ලාංකික සිසුන් 140ක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර, ඔවුන් සියලු දෙනා ඔවුන්ගේ නිවෙස් වෙත යැවීමට පියවර ගෙන තිබුණි.

එහෙත් ඔවුන්ට මේ වෛරස රෝගී ලක්ෂණ පහළ වුවහොත්, වහාම ළඟම ඇති රෝහල වෙත ගොස් අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙස ද ගුවන් තොටුපොළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරුන් උපදෙස් දී තිබුණි.
( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post