එම්සීසී ගිවිසුමට රජයේ විරෝධය එසේමයි

0 Jan 03, 2020 09.23am Gossip

අමෙරිකා එක්සත් ජනපද මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධයෙන් පවතින විරෝධතාවේ කිසිම වෙනසක් නැතැයි රජය අවධාරණය කරයි.

කෙසේ වුවද මේ ගිවිසුම සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන් විසින් සිවු පුද්ගල කමිටුවක් පත්කර තිබෙන අතර මෙම කමිටුවක් හරහා අධ්‍යයනය කළ පමණින් එම ගිවිසුමට අත්සන් කිරීමේ කිසිම සූදානමක් නැතැයි සංවර්ධන බැංකු සහ ණය යෝජනා ක්‍රම පිළිබඳ රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කරයි. ඇමැතිවරයා මේ බව පෙන්වා දුන්නේ මුදල් අමාත්‍යාංශයේ දී ඊයේ(2) පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා පෙන්වා දුන්නේ පසුගිය කාලයේ විපක්ෂය වශයෙන් තොරතුරු ලබාගැනීමේ හැකියාවක් නොතිබුණු බවත් තොරතුරු දැන ගැනීමේ පනත හරහා හෝ ඉල්ලා සිටි තොරතුරු ලබාගැනීමේ ක්‍රමවේදයක් නොතිබූ බවත්ය. එවකට විරුද්ධ පක්ෂය ලෙස නොව රටේ ජනතාව ද පැවැති රජය විශ්වාස නොකළ බව පෙන්වාදුන් ඒ මහතා පසුගිය ආණ්ඩුව ගන්නා ලද තීන්දු තීරණ විශ්වාස නොකරන බවද මේ නිසා සෑම කරුණක් සම්බන්ධයෙන් අපේ අවධානය යොමු කරමින් සත්‍ය දැනගැනීමේ අයිතිය රටේ ජනතාවට ලබාදෙන බව ද පැවැසීය.

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම පිළිබඳ අධ්‍යයනය සඳහා සිව්දෙනකුගෙන් යුත් කමිටුවක් පත්කර තිබේ. ආර්ථික වර්ධනය අත්කර ගැනීම තුළින් ශ්‍රී ලංකාවේ දිළිඳු බව අඩු කිරීම සඳහා ක්‍රියාත්මක බවට පැවැති රජය විසින් සඳහන් කළ මේ ගිවිසුම ඇමෙරිකානු ඩොලර් මිලියන 480ක ගිවිසුමක් වූ අතර මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම මඟින් වසර 2050 වනවිට මේ රට ඇමෙරිකාවේ යුද කඳවුරක් බවට පත්වනු ඇති බවට චෝදනා එල්ල විය.

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් යනු 2004 වර්ෂයේ දී ආරම්භ කළ ඇමෙරිකානු ආණ්ඩුව මඟින් විදේශ රටවල් සඳහා ක්‍රියාත්මක කරන වැඩසටහනක් වන අතර එම කාර්යාංශයේ සභාපතිත්වය දරන්නේ ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයාය. මේ යටතේ දැනට රටවල් 29ක් සමඟ ගිවිසුම් ඇති වී තිබෙන අතර MCC ගිණුමට අරමුදල් සම්පාදනය කරන්නේ ඇමෙරිකා කොංග්‍රසය මඟිනි. එම සම්පත් කළමනාකරණය MCC පාලනාධිකාරිය මඟින් සිදුකරයි.

මෙම ගිවිසුමට අත්සන් කිරීමත් සමඟ ප්‍රවාහන ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් දියුණු කිරීම යටතේ බස්නාහිර පළාතේ පිහිටි වරාය, වෙළෙඳපොළ ආදිය රටේ සෙසු ප්‍රදේශ අතර ප්‍රවාහනය කාර්යක්ෂම කිරීමට සහ මේ යටතේ නාගරික සහ අන්තර් පළාත් මාර්ග කිලෝමීටර් 300ක් සංවර්ධනය කිරීම මෙන්ම ඉඩම් පාලනය යටතේ ප්‍රධාන වශයෙන්ම ඉඩම් පාලනය දියුණු කිරීම, ඉඩම් අයිතිය ශක්තිමත් කිරීම සහ අයිතිය පිළිබඳ කාලසීමාව සහතික කිරීමට අදාළ කටයුතු සිදුකර ගන්නා බව සඳහන් විය.


( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post