මිල ස්ථාවරව තබා ගන්න මහා පරිමාණ මෝල් හිමියන්ගේ සහල් වෙළෙඳපොළට

0 Dec 28, 2019 11.19am Gossip

වෙළෙඳපොළෙහි ඇති වී තිබෙන නාඩු සහ සම්බා සහල් හිඟය අවම කිරීම සහ සහල්වලට ස්ථාවර මිලක් පවත්වා ගැනීමේ අරමුණින් පෞද්ගලික අංශයේ මහා පරිමාණ සහල් මෝල් හිමියන් සතු සහල් මිලදී ගෙන වෙළෙඳපොළට මුදා හැරීමට රජය තීරණය කරයි.

ජනාධිපති හා අගමැතිවරයාගේ උපදෙස් පරිදි කෙටිකාලීන විසඳුමක් ලෙස මෙය ක්‍රියාවට නැංවීමට නියමිත අතර, මේ වන විටත් අදාළ අංශ සමඟ සාකච්ඡා කර ඇති බව කෘෂිකර්ම රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායක මහතා පැවැසීය.

මෙරට කුඹුරු වගා කරන භූමි ප්‍රමාණය අනුව සැබැවින්ම සහල් හිඟයක් ඇති විය නොහැකි අතර, ඇතැම් දේශපාලනඥයන් හා නිලධාරීන් විසින් සහල් මාෆියාවක් වෙළෙඳපොළ තුළ නිර්මාණය කර ඇති බවත් ලබන ජනවාරි මාසයේ දෙවැනි සතිය වන විට මේ කෘත්‍රීම හිඟය මඟ හැරෙන බවත් ඇමැතිවරයා පැවැසුවේය.

අම්පාර හා නැඟෙනහිර පළාතේ වී වගාවන්හි අස්වැන්න ජනවාරි මාසයේ තුන්වැනි සතිය වන විට නෙළා ගත හැකි බවත් එමඟින් දැනට පවතින හිඟය මඟ හරවා ගත හැකි බවත් ඇමැතිවරයා කීය.

වී අලෙවි මණ්ඩලය සතුව පවතින ගබඩාවන්හි වී මෙට්‍රික්ටොන් ලක්ෂ 3ක් ගබඩා කළ හැකි බවත් නමුත් එම ගබඩාවන්හි දැනට පවතින තත්ත්වය නිරීක්ෂණය කළ යුතු බවත් ඇමැතිවරයා අවධාරණය කළේය.

කුඩා මෝල් හිමියන් ආරක්ෂා කිරීම සඳහා නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය අවධානය යොමු කර ඇති බවත් ඉදිරි කාලය තුළ එම වැඩපිළි‍වෙළ ගොවීන්ට, ගොවි සංවිධානවලට හඳුන්වාදෙන බවත් ඇමැතිවරයා පැවැසුවේය.

මේ නව වැඩපිළිවෙළට අනුව ගොවියා වගාව ආරම්භ කිරීමට පෙර ඔවුන්ට අවශ්‍ය මුදල් රජයේ බැංකුවක් ඔස්සේ ලබාදෙමින් අස්වැන්න නෙළා ගත් පසු ලබන ලාභයත් සමඟ ඔවුන්ට ණය පියවිය හැකි ක්‍රමවේදයක් සකස් කළ යුතු බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ගොවියා හා ගොවි සංවිධාන ශක්තිමත් කරමින් මේ නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමෙන් වී මාෆියාව මෙරටින් තුරන් කළ හැකි බව ද ඇමැතිවරයා අවධාණය කළේය.


( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post