කුඩා-මධ්‍ය ව්‍යාපාර ණය සහන ජනවාරියේ සිට

0 Dec 26, 2019 09.21am Gossip

කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් 2020 වසරේ දී ගෙවිය යුතුව තිබූ ණය වාරික වසරක කාලයකට අත්හිටුවමින් පොලිය පමණක් ගෙවීමට හැකි වන ලෙස රජය ලබාදුන් සහනය ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක අජිත් නිවාඩ් කබ්රාල් මහතා සමඟ ඉකුත් 24වැනි දා අරලිය ගහ මන්දිරයේ දී පැවැති මහ බැංකුවේ ඉහළ නිලධාරීන්ද, වාණිජ බැංකු වල ප්‍රධානීන්ද, බැංකු ගණකාධිකාරිවරුන්ද, හමුවූ අවස්ථාවේ දී මෙම තීරණය ගැනිණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත හා අගමැති හා මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම මත රජය සහන පැකේජයක් පිරිනමනු ලැබූ බව පැවසූ අජිත් නිවාඩ් කබ්රාල් මහතා එය කුමන ආකාරයෙන් ජනතාවට ලබාදීමට වැඩපිළිවෙළ සහ ක්‍රමවේදය සකස් කිරීමේ අරමුණින් මේ ඉහළ පෙළේ සාකච්ඡාව කැඳවූ බවද කියා සිටියේය.

කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර විසින් 2020 වසරේදී ගෙවිය යුතුව තිබු ණය වාරික වසරක කාලයක් තුලදී අත්හිටුවමින් පොලිය පමණක් ගෙවමින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ක්‍රමවේදය මෙහිදී සාකච්ඡාවට ලක්වූ අතර, ඒ හරහා මතු වීමට හැකිවී තිබුණු ගැටළු නිරාකරණය කරන ලදී.

ඒ සමගම මීට පෙර බොල් ණය බවට පත්වී තිබූ ණය, 2020 වසර තුළදී පොලිය පමණක් ගෙවමින් නැවත ප්‍රතිව්යුහගත කිරීමේ ක්‍රමවේදය පිළිබඳවද සාකච්ඡා කිරීමෙන් අනතුරුව, ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නව ක්‍රමවේදය ගැන එකඟත්වයක් එළඹෙන ලදී.

ගනුදෙනුකරුවන් තම පොලිය නොවරදවා ගෙවන්නේ නම්, දේපල වෙන්දේසිය නතර කරන බවට බැංකු ප්‍රධානීන්ගේ එකඟත්වයද මෙම රැස්වීමේදී පළකරන ලදී.

මෙම ක්‍රමවේදය දියත් කරද්දී මතුවෙන ගිණුම් සහ විගනන ගැටලුද මෙම රැස්වීමේ දී සාකච්ඡා කිරීමෙන් අනතුරුව විසඳන ලදී.

පසුගිය වසර කීපය තුළ දී ශ්‍රී ලංකා ආර්ථිකය මුහුණ දුන් දැඩි අපහසුතාවයන් නිසා, අසීරුවට පත්ව තිබූ ව්‍යාපාර නැවත ගොඩ නංවමින් සහ ශක්තිමත් කිරීමෙන්, ඒවාට ආර්ථිකයට නිසි දායකත්වයක් ලබාදීමට හැකි වීමේ ක්‍රියාවලිය ගැන අජිත් නිවාඩ් කබ්රාල් මහතා මේ අවස්ථාවේ දී කියා සිටියේය.


( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post