මහපොළ අරමුදලේ බිලියන ගණනක මූල්‍ය වංචාවක්

0 Dec 18, 2019 10.00am Gossip

පරීක්ෂණ සීඅයිඩීයට

මහපොළ ශිෂ්‍යත්ව අරමුදලේ සිදු වී ඇති රුපියල් බිලියන ගණනක අවභාවිතාව පිළිබඳ කඩිනම් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන ලෙස තම ලේකම්වරයා හරහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිතව දැනුම් දෙන බව තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුනවර්ධන මහතා පැවසීය.

හිටපු අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි මහතා නිර්මාණය කළ මහපොළ ශිෂ්‍යත්ව අරමුදලෙන් මේ වන විට රුපියල් බිලියන ගණනක් අවභාවිතා වී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ කොමිසමට හා ජනාධිපති කොමිසමට ඉදිරිපත් කළ පැමිණිලි විභාග වෙමින් පවතින බවත් අමාත්‍යවරයා සඳහන් කරයි. මෙහි සිදු වී ඇති වංචා, දූෂණ, අක්‍රමිකතා පිළිබඳ සහ රාජ්‍ය දේපළ අවභාවිතය පිළිබඳ හිටපු අමාත්‍ය අධිනීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා කරුණු රැසක් හෙළිදරව් කර ඇති බව පවසන අමාත්‍ය බන්දුල ගුනවර්ධන මහතා ඒ අනුව ඉතා කඩිනමින් පොදු දේපළ අවභාවිතය පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තම ලේකම්වරයා හරහා නියම කරන බව කීය.

මේ සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණවලින් පසුව කවර තරාතිරමක පුද්ගලයකු වුවද පොදු දේපළ අවභාවිතය සම්බන්ධයෙන් උපරිම දඬුවමට යටත් වීමට සිදු වන බවද මහජන දේපළ අවභාවිතාව, විනාශය හා ඊට හානි පැමිණවීමේ දී රජයක් ලෙස ඉතා දැඩි ලෙස නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කරයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මූළික ප්‍රතිපත්තිය වන්නේ කිසිදු බේදයකින් තොරව සැමට නීතිය එකාකාරව ක්‍රියාත්මක කිරීම බැවින් එම රාමුව තුළ පුද්ගල විශේෂතා නොමැති අතර නීතිය සැමට පොදු බව ද ඔහු ප්‍රකාශ කරයි.

අමාත්‍ය බන්දුල ගුනවර්ධන මහතා මෙසේ ප්‍රකාශ කළේ ඊයේ (16) කොළඹ මහපොළ ශිෂ්‍යත්ව අරමුදලේ ප්‍රධාන කාර්යාලය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post