මගේ පාලන කාලයේ මාධ්‍ය නිදහසට කිසිම බලපෑමක් නෑ

0 Dec 13, 2019 11.25am Gossip

-  සාධාරණ විවේචනයට ඉඩ
- රටට - රටේ කීර්තියට හිතකර
- මාධ්‍ය මෙහෙවරක යෙදෙන්න

රටේ මාධ්‍ය නිදහසට තම පාලන කාලයේ දී කිසිඳු බලපෑමක් එල්ල නොවන බවට ස්ථීර වශයෙන් ම සහතික වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

ඕනෑම සාධාරණ විවේචනයකට ඉඩ ඇති අතරම රටට සහ රටේ කීර්තිනාමයට හිතකර මාධ්‍ය මෙහෙවරක නිරත වෙමින් මාධ්‍යයෙන් රටට වියයුතු වගකීම් ඉටුකිරීමට සියලු මාධ්‍ය ආයතන කටයුතු කරනු ඇතැයි තමා අපේක්ෂා කරන බවද ඒ මහතා පවසයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරාධනයෙන් ජනාධිපතිවරයා සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර හමුවක් ජනාධිපති කාර්යලයේ දී ඊයේ (12) පැවැත්වුණු අතර, එහිදී මේ බව බව සඳහන් කෙරිණි.

පසුගිය ජනාධිපතිවරණයේ දී රටේ ජනාධිපතිවරයා ලෙස ජනතාව තමා තෝරා පත්කර ගත්තේ අපේක්ෂා රැසක් පෙරදැරිව බව පෙන්වාදුන් ඒ මහතා දේශපාලනඥයන්ගේ සහ රාජ්‍ය නිලධාරින්ගේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, දූෂණය පිටුදැකීම සහ ආර්ථික සංවර්ධනය ඒ අතර ප්‍රමුඛ වන බවද, එම අරමුණ ජය ගැනීමේ දී ද මාධ්‍යයේ සහාය තමා වෙත නොඅඩුව ලැබෙනු ඇති බවට හෙතෙම විශ්වාසය පළ කළේය.

ආයෝජන සහ ආර්ථික සබඳතා ජාත්‍යන්තර වශයෙන් ගොඩනැඟීමට රටේ ප්‍රතිරූපය ඉතා වැදගත් වන බැවින් රටේ ප්‍රතිරූපය ගොඩනැගීමේදී ද මාධ්‍යයට පුළුල් වගකීමක් පැවරෙන බව පෙන්වා දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය දිනවල සංවාදයට ලක් වූ ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියට අදාළ සිදුවීමේ දී මෙරට මාධ්‍යවල හැසිරීම පිළිබඳ සිය ප්‍රසාදය පළ කළේය.

ජාත්‍යන්තර මාධ්‍ය අනවශ්‍ය අන්දමින් එම සිදුවීම උලුප්පා දැක්වීමට ගත් උත්සාහය පිළිබඳ කනගාටුව පළ කළ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ඒවා නිවරැදි කිරීමේ හැකියාව ද මෙරට මාධ්‍ය සතුව පවතින බවයි.

නගර අලංකරණ කටයුතු මෙන්ම රට පුරා නිර්මාණය වී ඇති චිත්‍ර ඇඳීමේ රැල්ල පිළිබඳ ද මෙහිදී මාධ්‍ය දැනුවත් කළ ජනාධිපතිවරයා පැවසුවේ එය කිසිවකුගේ ඉල්ලීමක් අනුව ආරම්භ වූවක් නොව රටට ආදරය කරන තාරුණ්‍යය අතරින්ම බිහි වූ නිර්මාණශීලි වැඩපිළිවෙළක් බවයි.

කෙසේ වෙතත් රටට ආදරය කරන එම කණ්ඩායම් දිරි ගැන්වීම වෙනුවෙන් මාධ්‍යයේ දායකත්වය නොඅඩුව ලැබීමේ වැදගත්කම ද මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැහැදිළි කළේය.

විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය නියෝජනය කරමින් මාධ්‍ය ආයතන ප්‍රධානිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post