ස්විස් තානාපති කාර්යාල සිද්ධිය, නෛතිකව රාජ්‍යතාන්ත්‍රිකව අවැසි ක්‍රියාමාර්ග අරගෙන

0 Dec 05, 2019 09.22am Gossip

රජය අවධාරණය කරයි

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැර ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රටේ නීතියට අනුව සහ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් විසඳා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග දැනටමත් ගෙන තිබෙන බව රජය අවධාරණය කරයි.

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ඉල්ලීමකට අනුව මෙම පරීක්ෂණ කටයුතු විනිවිදභාවයකින් සිදුවන අතර දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට කිසිඳු ආකාරයකින් හානියක් සිදුනොවන ආකාරයෙන් මේ ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා දැනටමත් ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවද අදාළ පරීක්ෂණ අවසන් වූ පසුව පැහැර ගැනීමට ලක්වූවායැයි පවසන ශ්‍රී ලාංකික නිලධාරිණියට සාමාන්‍ය පරිදි රටේ ජීවත්වීමට හැකියාව තිබෙන බවද විදේශ සබඳතා ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කරයි.

ඇමැතිවරයා මේ බව සදහන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී ඊයේ (04) පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි. ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැරගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සිටින විදෙස් තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් විදේශ කටයුතු අමාත්‍යාංජශය වෙත කැඳවා ඊයේ (04) දැනුවත් කිරීමට රජය පියවර ගත්තේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා පෙන්වා දුන්නේ,

පසුගිය 25 දා ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන ශ්‍රී ලාංකික නිලධාරිණියක් පැහැර ගැනීමේ සිද්ධියක් සිදුව තිබෙන බවට 26 දා ජාත්‍යන්තර මාධ්‍ය මඟින් වාර්තා කර තිබෙන නමුත් ඒ අනුව 27 දා මෙරට පිහිටි ස්විට්සර්ලන්ත තානාපතිවරයා විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත කැඳවා කරුණු විමසීමට පියවර ගෙන තිබෙනවා. මෙහි සත්‍ය අසත්‍යතාවය සොයා බලන මෙන් එදිනම වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දුන්නා. ඒ අනුව අදාළ නිලධාරිණිය ජීවත්වන ස්ථානයට හෝ තානාපති කාර්යාලයට ගොස් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගන්නට උත්සාහ කළා. කෙසේ වෙතත් එම සිද්ධිය දැන්වූ දිනයේම අගමැති මහින්ද රාජපක්ෂ මහතා තානාපතිවරයා හමුවී මේ සිද්වීම සම්බන්ධයෙන් විමසා සිටියා. ඒ අවස්ථාවේ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් කිසිඳු වරප්‍රසාදයක් උල්ලංඝනය නොකර කටයුතු කරන්න රජය පියවර ගෙන තිබෙනවා.

මෙහිදී අදාළ නිලධාරිණිය වධහිංසාවට ලක්ව තිබෙන්නේ නම් වහාම නීතිමය පියවර ගන්නා ලෙස අගමැතිවරයා අදාළ අංශවලට නියෝග දුන්නා. අඛණ්ඩවම පොලීසිය මේ වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. කෙසේ වෙතත් මෙම සිදුවීමට මුහුණ දුන් කාන්තාව ඇයගේ පදිංචි ස්ථානයේ නොමැති බවට වාර්තා වුණා. කෙසේ වෙතත් මේ පරීක්ෂණ කරගෙන යද්දී ඇයගෙන් ප්‍රකාශයක් ඉල්ලා සිටියා. එසේ වුවද අද දක්වා කිසිඳු ප්‍රකාශයක් ලබාදී නැහැ. ඒ වුණාට මේ වනවිටත් පොලීසිය අදාළ නිලධාරිණිය සම්බන්ධයෙන් තොරතුරු සොයාගෙන තිබෙනවා. තානාපති කාර්යාලය උත්සාහ කළේ මේ කාන්තාවට රෝගී තත්ත්වයක් තිබෙනවා කියා කියන්නටත් ඒ අනුව ප්‍රකාශයක් ගන්නට නොහැකි බව පවසන්නටත්ය. මේ නිලධාරිණිය වෛද්‍ය පරීක්ෂණ සඳහා ස්විට්සර්ලන්තයට ගෙන යන්න අවසර ලබාදෙන්න කියා ඉල්ලා සිටියා.

කෙසේ වුවත් මේ නිලධාරිණියගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා තෙක් රටින් පිටවිය නොහැකි ලෙස අධිකරණ නියෝගයක් නිකුත්කර තිබෙනවා. ලංකාවේ නීතියට අනුව මෙවැනි සිදුවීමක දී රටින් පිටවන් හැකියාවක් නැහැ. මේ සිදුවීම සම්බන්ධයෙන් ජර්මනියේ සේවය කරන ශ්‍රී ලංකා තානාපතිවරයා ස්විට්සර්ලන්තයේ බර්න් නගරයේ පිහිටි විදේශ අමාත්‍යාංශය වෙත පැමිණ ප්‍රකාශයක් කර තිබෙනවා. එහිදී හැකියාවක් තිබෙන්නේ නම් මේ කාන්තාවට ස්විට්සර්ලන්තයට යන්ට ඉඩ ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් වන පරීක්ෂණ අවසන් වියයුතු වෙනවා.

අපේ රටේ ගෞරවය සම්බන්ධයෙන් මෙන්ම මේ වෙනුවෙන් අද දක්වා ගෙන තිබෙන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තානාපතිවරුන් දැනුවත් කළා. ජාත්‍යන්තරව අපිට වැරැදි, ද්වේශ සහගත රටට, ජනාධිපතිට එරෙහිව ගෙන යන ප්‍රචාරයක් ලෙස මේ කටයුතු සිදුවන්නේ. පදනමක් නොමැතිව යමක් ප්‍රකාශ කරනවිට අපි වගකීමක් ඇති ක්‍රියාදාමයක යෙදී තිබෙනවා. නීතිය අනුව කටයුතු කිරීමේ ක්‍රියාදාමයක යෙදී සිටිනවා. අපේ රටවල් දෙක අතර මිත්‍රත්වයට කිසිඳු හානියක් නොවන ආකාරයෙන් ස්විට්සර්ලන්ත තානාපතිවරයා සමඟ සාකච්ඡා කරමින් කටයුතු කරගෙන යනවා.

ජාත්‍යන්තර සහයෝඟීතා රාජ්‍ය ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා,

මේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය විසින් නියෝග දෙකක් ඉදිරිපත් කර තිබෙනවා. රටින් පිටවීම තහනම් කර තිබෙනවා. වහාම ප්‍රකාශයක් ලබාදෙන ලෙසට නියෝගයක් නිකුත්කර තිබෙනවා. පැහැදිලි ජනවරමක් ලබාගත් ජනාධිපතිවරයෙකු දිවුරුම් දීලා දින කිහිපයක් ඇතුළත මෙවැනි සිදුවීමක් සිදුව තිබෙනවා. මෙවැනි සිදුවීමක් සිදුවූ පමණින් එම නිලධාරිණියට ලඟම පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න හෝ දුරකතන ඇමතුමක් දෙන්න තිබුණා. නමුත් එවැනි කිසිඳු පැමිණිල්ලක් පොලීසියකට ඉදිරිපත් කර නැහැ. මේ සිදුවීම සම්බන්ධයෙන් ස්විට්සර්ලන්ත තානාපතිවරයා විසින් විදේශ අමාත්‍යාංශයට ලබාදුන් තොරතුරු හැර වෙනත් කිසිඳු තොරතුරක් නැහැ.

මේ සම්බන්ධයෙන් ප්‍රවේශමෙන් රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කළයුතු වෙනවා. අද ඇතැම් දේශපාලනඥයන් විපක්ෂයේ සිට විවිධ කාර්යයන් සිදුකරනවා. මේ සියලු දෙනා පසුගිය කාලයේ දේශපාලනය කළේ රටගැන සිතලා නොවෙයි. නමුත් වත්මන් රජය රට ගැන සිතා මේ සියල්ල රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් විසඳා ගන්න යනවා. මෙය රටේ නීතියට අනුව සහ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් විසඳා ගන්න අවශ්‍යයි.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ, අතිරේක ලේකම් ඒ.එම්.ජේ සාදික්, අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන රුවන්ති දැල්පිටිය, මහේෂා ජයවර්ධන, එස්.ඩී.කේ සේමසිංහ මහත්ම මහත්මීන් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post