අභ්‍යන්තර ප්‍රශ්නවලට විදෙස් බලපෑම් ඇතිනොවන්න ක්‍රියා කරනවා

0 Nov 29, 2019 10.15am Gossip

ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය සහ ස්වෛරීත්වය ආරක්ෂා කරමින් අභ්‍යන්තර ප්‍රශ්න සඳහා ලෝකයේ වෙනත් කිසිඳු රටකට මැදිහත් වියනොහැකි ආකාරයෙන් ක්‍රියාමාර්ග  ගන්නා බව ජාත්‍යන්තර සහයෝඟීතා රාජ්‍ය ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා අවධාරණය කරයි. අපේ රට ලෝකයේ කිසිඳු බලකඳවුරක පාර්ශ්වකරුවන් බවට පත්නොවී සියලු රටවල් සමඟ මිත්‍රත්වයෙන් කටයුතු කිරීමට සූදානම් බව පෙන්වාදෙන ඒ මහතා කලාපීය රටවල් සමඟ ද මිත්‍රත්වයෙන් කටයුතු කිරීමට අවශ්‍ය බවද පසුගිය කාලයේ විවිධ විදේශ සමුළුවල දී එළඹි යම් යම් එකඟතාවයන් සම්බන්ධයෙන් යළි සළකා බැලීමට සිදුවන බවද පෙන්වාදෙයි.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ රාජ්‍ය අමාත්‍යධූරයේ රාජකාරි කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීම වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී ඊයේ (28) පෙරවරුවේ පැවැති උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ ජාත්‍යන්තර සහයෝඟීතා රාජ්‍ය ඇමැතිධූරයේ වගකීම තමා වෙත පැවරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන් වෙත ප්‍රණාමය පිරිනමන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළ පරිදි මේ තනතුරු සියල්ල වරප්‍රසාදයක් නොව ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව රජයේ ඉදිරි වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා ලබාදෙන්නා වූ වගකීමක් බවත්ය. මේ තනතුරු බාර ගැනීම තුළ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හා රජය වෙනුවෙන් වගකීමක් බාරගෙන තිබෙන අතර එය රටේ සමස්ත ජනතාවවෙනුවෙන් ඉටුකළ යුතු බවද හෙතෙම කීවේය.

විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ සහයෝඟයෙන් කටයුතු කිරීමට තමා සූදානම් බව පැවසූ ඒ මහතා මේ අවස්ථාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ රජයට අභියෝගාත්මක අවස්ථාවක් බවද ඒ අනුව ජාත්‍යන්තර කටයුතුවල දී ක්‍රියා කළයුතුව තිබෙන බවද පැවසීය. අපේ රටේ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලි ලෙස සදහන්කර තිබෙන බවද ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් බවද කී ඇමැතිවරයා කිසිඳු බල කඳවුරකට එක් නොවී ස්වාධීන, නිදහස්, ස්වෛරී රාජ්‍යයක් ලෙස හා අපේ රටේ ස්වාධීනත්වය සහ ස්වෛරීත්වය ආරක්ෂා කර ගනිමින් වෙනත් කිසිඳු රටකට අපේ රටේ අභ්‍යන්තර ප්‍රශ්නවලට මැදිහත් නොවන ආකාරයෙන් කටයුතු කළයුතු බවද ප්‍රකාශ කළේය.

අපි සෑම රටක් සමඟම මිත්‍රත්වයෙන් කටයුතු කරන බවද ජාත්‍යන්තරය සමඟ කටයුතු කළයුතු ආකාරයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාව සූදානම් බවද කී සුසිල් ප්‍රේමජයන්ත මහතා සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය ලෝකයේ පළමු අගමැතිවරිය වශයෙන් පත්වූ අවස්ථාවේ ආරක්ෂක අමාත්‍යධූරයේ කටයුතු කරමින් ඉන්දියාව සමඟ සුහඳව නොරැටියන් සම්බන්ධ ප්‍රශ්නය විසඳා ගන්න කටයුතු කළ බවද සදහන් කළේය.

අපේ රටේ ආර්ථිකය නංවන්න, විදේශ සබඳතා ශක්තිමත් කරන්න, මිත්‍ර රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කරන්න, සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න අවශ්‍ය වන අතර ඒ නිසා සෑම රටක් සමඟම මිත්‍රත්වයේ දෑත දිඟුකරමින් කටයුතු කිරීම රජයේ ප්‍රතිපත්තිය වන බවද ඒ ප්‍රතිපත්තිය මත ඉදිරියටත් කටයුතු කරගෙන යන බවද හෙතෙම පෙන්වා දුන්නේය. ජිනීවා යෝජනා සම්බන්ධයෙන් අපේ රටට ප්‍රශ්න ඇතිව තිබෙන බව සිහිපත් කළ සුසිල් ප්‍රේමජයන්ත මහතා එමඟින් අපේ රටේ අභ්‍යන්තර ප්‍රශ්න පිළිබඳව මත, අදහස් ප්‍රකාශ කරන්න විදේශ බලවේගවලට ප්‍රවේශයක් ලැබී තිබෙන බවද ප්‍රකාශ කළේය.

ජනතාවගේ නිදහස, ස්වාධීනත්වය සහ ස්වෛරීත්වය ආරක්ෂා කරගනිමින් සෑම ජන කොටසකටම මේ රටේ එක හා සමානව සළකන සහ සෑම අයෙකුගේම මානව අයිතිවාසිකම් ආරක්ෂා කරන රාජ්‍ය පාලනයක් පවත්වාගෙන යාම රජයේ ප්‍රත්තිය වන බවද එවිට විදේශ බලවේගවලට ප්‍රශ්නයක් ඇති නොවන බවද 2015 වසරේ දී ජිනීවාහි ජගත් මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් කරන ලද යෝජනාව එම කාලයේ පැවැති දේශපාලන වාතාවරණය අනුව ඒ අය ගත් තීන්දුවක් වුවද අද වනවිට ලෝක දේශපාලනයත් ජාත්‍යන්තර දේශපාලනයත් අපේ රටේ දේශපාලනයත් වෙනස් මඟකට යොමුව තිබෙන බවද පෙන්වා දුන්නේය.

මේ රටේ ජනාධිපතිවරණයේ දී සියයට 52 ට වැඩි ජනවරමක් ලබාදුන්නේ මේ රටේ විධායකයට බව පෙන්වාදුන් ජාත්‍යන්තර සහයෝඟීතා රාජ්‍ය ඇමැතිවරයා විධායකය එම ප්‍රතිපත්ති මාලාව ඉදිරිපත් කොට අනුමත කිරීමක් සිදුකළ බවද ඒ නිසා ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ රජය කටයුතු කළයුත්තේ එම ජනවරමත් සමඟ බවද පෙන්වා දුන්නේය. අපේ රටට අවශ්‍ය කරන ආකාරයට රටේ ජනතාවගේ මතය සමඟ කටයුතු කළයුතු ආකාරය අප විසින් තීරණය කරන අතර ජාත්‍යන්තර ගිවිසුම් වලදී යම් පරස්පරයක් තිබෙනවා නම් සුහඳව සාකච්ඡා කොට විසඳා ගැනීමට කටයුතු කරන බවද පැවසීය.
( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post