ප්‍රතිපත්ති ප්‍රකාශනය යථාර්ථයක් කරන්න මටත් අගමැතිටත් සහාය දෙන්න

0 Nov 23, 2019 09.08am Gossip

ජනාධිපතිවරණයේ දී ජනතාව වෙත ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කරුණු ඒ අයුරින් ඉටු කිරීමට මට හා අගමැතිවරයාට සම්පූර්ණ සහයෝගය ලබා දෙන්නැයි සියලුම මැති ඇමැතිවරුන්ගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ ( 22) පැවැති නව ඇමැති මණ්ඩලය දිවුරුම් දීමේ උත්සවයෙන් පසු ජනාධිපතිවරයා මේ බව සඳහන් කෙළේය.

එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේද පැවැසීය.

අන්තර් කාලීන කැබිනට් මණ්ඩලය කැපවීමෙන් කටයුතු කළහෙත් දේශපාලඥයා පිළිබද ජනතාව තුළ තිබෙන අප්‍රසාදය නැති කරගත හැකියි. බොහෝ රාජ්‍ය ආයතන යටතේ ඇති සංස්ථා හා ව්‍යවසාය ආයතන පාඩු ලබන තත්ත්වයට පත්ව ඇති අතර ඒවා ලාභ ලබන ආයත බවට පත් කිරීමට කැප විය යුතුව තිබෙනවා.

අද දින ඇමැතිවරුන් වශයෙන් දිවුරුම් දුන්න ඔබ සියලු දෙනාට මගේ සුබ පැතුම් මුලින්ම එකතු කර සිටිනවා. අපි සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කළ ආකාරයෙන් ම එහි සඳහන් කළා අපිට හැකි ප්‍රථම අවස්ථාවේදීම මහ මැතිවරණයක් පවත්වලා අපේ ආණ්ඩුවක් පිහිටුවනවා කියන කාරණය. ඒ වෙනුවෙන් අපි ජන වරමක් ඉල්ලුවා. ඒ නිසා අපිට ව්‍යවස්ථාවෙන් ලැබෙන ප්‍රථම අවස්ථාවේදී ම මහජනතාවගේ කැමැත්ත අනුව මහ මැතිවරණයකට යන්න සූදානම්. මේ කාලය තුළ පිහිටුවල තිබෙන්නේ අන්තර්කාලීන ආණ්ඩුවක්. ඒ නිසා මේ කාලය තුළ අපි පිහිටවපු ආණ්ඩුවෙන් ප්‍රධාන වශයෙන්ම ඉටු විය යුත්තේ,අපි ඉදිරිපත් කළ මූලික සැලැස්ම ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමයි. ඒ නිසා තමයි අපි 15 දෙනෙකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක් පත් කර ගත්තේ.

විශේෂයෙන් ම ජනතාව විශාල බලාපොරොත්තුවකින් තමයි අපිට මේ මැතිවරණයේදී විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා දුන්නේ. ඒ නිසා අපිට විශාල අභියෝග තිබෙනවා. ඒ අභියෝග ජය ගන්න මහජනතාවගේ ඒ බලාපොරොත්තු සම්පූර්ණයෙන් ම ඉටු කරන්න ඕනෑ. අපි දන්නවා පසුගිය වකවානුව තුළ මේ රටේ මහජනතාව පැවැතුනු දේශපාලන සංස්කෘතියට විශාල අප්‍රසාදයක් පළ කළා. අපි සියලු දෙනා ම දන්න කරුණක් තමයි නව ආණ්ඩුව එම සංස්කෘතිය සම්පූර්ණයෙන්ම ඉවත දැම්මා. දැන් අපි කළ යුත්තේ ජනතාව බලාපොරොත්තු වෙන යුගයකට ගමන් කිරීමයි.මෙන්න මේ නිසා මේ කාලය තුළ අපි අපගේ උපරිම හැකියාවන් යොදා ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට ඔබ සැමගේ සහාය මම මේ අවස්ථාවේදී බලාපොරොත්තු වෙනවා.

විශේෂයෙන්ම අපි ඇමැති මණ්ඩලය 15 කට සීමා කරන්න කටයුතු කළා. පසුව එම ඇමැතිවරුන් යටතේ රාජ්‍ය ඇමැතිවරුන් පත් කිරීමට නියමිතයි.ඒ නිසා ඇමැතිවරුන් පත් කිරීමේ දී ඒ ඇමැතිකම්වලට ලේකම්වරුන් පත් කෙළේ රාජ්‍ය ඇමැතිවරුන්ටත් තමන්ගේ සේවය මැනවින් ඉටු කරන්න පුළුවන් වෙන පරිදියි. එම නිසා මම ඇමැතිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා රාජ්‍ය ඇමැතිවරුන්ට ඔවුන්ට නියමිත රාජකාරිය කරන්න ඔබ සියලු දෙනාගේ සහාය ලබා දෙන්න කියලා. කවුරුත් දන්නවා මීට පෙර පත් කළ රාජ්‍ය ඇමැතිවරුන්ට සිදු වුණේ මුළු දවසේම අස්සන් කිරීම විතරයි. ඒ කියන්නේ ඔවුන් අස්සන පුහුණු වුණ එක විතරයි කරලා තිබුණේ. ඒ චෝදනාවට ලක්වෙන්න එපා. රාජ්‍ය ඇමැතිවරුන්ටත් ඔවුන්ට හිමි රාජකාරීය කරන්න සම්පූර්ණ සහාය ලබාදෙන්න කියලා ඉල්ලා සිටිනවා.

විශේෂයෙන්ම තරුණ මන්ත්‍රීවරුන් ඉල්ලා සිටියා කුඩා ඇමැති මණ්ඩලයක් පත් කරන්න කියලා. ඒ අයට මගේ ස්තූතිය පුදකර සිටිනවා. විශේෂයෙන් ම ඔවුන්ගේ ඉල්ලීම සාධාරණයි කියා මම හිතනවා. ඒ වගේම ඔවුන්ටත් අන්තර් කාලීන ආණ්ඩුවට සම්බන්ධ වෙලා වැඩ කරන්න අවස්ථාවක් දෙන්න කියලත් ඉල්ලා සිටියා. මම ඇමැතිවරුන්ගෙන් සහ ඉදිරියේදී පත් වෙන රාජ්‍ය ඇමැතිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා අපි ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව වැඩ කරන්න කියලා.

ඒ එක්කම තවත් වැදගත් කරුණු කිහිපයක් තියෙනවා කියන්න. එකක් තමයි ඇමැතිවරුන් යටතේ පවත්නා රාජ්‍ය ව්‍යවසාය සහ සංස්ථා බොහෝ පාඩු ලබන ආයතන බවට පත් වෙලා තිබෙනවා. අපි මේවා ලාභ ලබන, රාජ්‍ය භාණ්ඩාගාරයට බරත් නොවන ආයතන විදියට පවත්වා ගෙන යන්න අවශ්‍යයි. මේ දේ කරන්න පුළුවන්. මේ ආයතනවලට සභාපතිවරු සහ අධ්‍යක්ෂක මණ්ඩලය පත් කිරීමේදී ඒ කාර්යය කරන්න පුළුවන් සුදුසුකම් තිබෙන වෘත්තීමය වගේම දැනුමක් තිබෙන සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කළ යුතුයි. මේ සඳහා අපි ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර තිබෙන අයුරින් තේරීම් මණ්ඩලයක් හරහා මේ අය තෝරා ගත යුතුයි. ඇමැතිවරුන්ගෙන් මම ඉල්ලා සිටිනවා ඒ ඒ ආයතනවලට සුදුසු අය ඉන්නවා නම් ඒ අයගේ නම් තේරීම් මණ්ඩලයට ඉදිරිපත් කරන්න කියලා. එතකොට පුළුවන් ඒ අය ඒ කාර්යයට සුදුසු ද යන්න සොයා බලන්න. ඉතාම වැදගත් වෙන්නේ මේ ආයතන කාර්යක්ෂමව, ලාභ ලබන ආයතන බවට පත්කර ගැනීමයි.

ඒ වගේම තවත් වැදගත් කාරණයක් තමයි, ඇමැති මණ්ඩලයේ තිබෙන විශේෂයෙන් ම නිපුණත්වයක් අවශ්‍ය නොමැති රැකියා ඇබෑර්තු සියලුම මැති ඇමැතිවරුන්ට බෙදී යන විදියට ලබා දිය යුතුයි. අවාසනාවකට පසුගිය කාලයේ දැක්ක දෙයක් තමයි ඒ ඒ අමාත්‍යාංශවල තිබෙන ඇබෑර්තු බොහෝ වේලාවට ඇමැතිතුමාගේ ආසනයේ තිබෙන අයගෙන් විතරයි පත්කර ගත්තේ. එය දිය යුත්තේ දුප්පත්කමෙන් පහළ ම පිරිස්ගෙන් සමන් විත පවුල්වලටයි. ඒ මඟින් තමයි දුප්පතකම නැති කර ගන්න පුළුවන් වෙන්නේ. ඒ රැකියාවලට ඉහළ අධ්‍යාපන සුදුසුකමක් තිබෙන අය පත්කළොත් ඒ රාජකාරීය ඒ අයගෙන් හරි හැටි වෙන්නේ නැහැ.

සෞඛ්‍ය, අධ්‍යාපන, පාසල්වල හෝ වේවා නිපුණත්වයක් නැති අවශ්‍යතාවලට ඒ ඒ ප්‍රදේශවල ඇති දුප්පත්ම පවුල්වලට තමයි අපි ලබා දිය යුත්තතේ . ඒ නිසා එවැනි පුරප්පාඩු ඇමැතිවරයා විසින් ම කෙලින්ම පුරවන්නේ නැතුව රටේ සෑම ප්‍රදේශයකම සෑම මන්ත්‍රීවරුයකුටම සමාන අයිතියක් ලබාදිය යුතුයි ඒ පුරප්පාඩු පුරවන්න. එවැනි පුරප්පාඩු තිබෙනවා නම් ජනාධිපති ලේකම්කාර්යාලයට දැනුම් දුන්නොත් අපිට පුළුවන් සෑම මන්ත්‍රීවරයකුටම ඔවුන්ගේ ප්‍රදේශයෙන් පුරප්පාඩු පුරවන්න. ඒ වගේම අපි සඳුදා දිනයේ ඉතිරි රාජ්‍ය ඇමැතිවරුන් පත් කරන්න කටයුතු කරනවා. ඒ සියලු පත්කිරීම් සිදුකරන්නේ 19 වැනි ආණ්ඩුක්‍රම වළ්‍යවස්ථා සංශෝධනයට අනුවයි. එහි යම් සීමාවක් පනවලා තිබෙනවා. ඒ අනුව තමයි ඇමැතිකම් ලබාදෙන්න පුළුවන් වෙන්නේ. අද ඇමැති මණ්ඩලය පත් කිරීමේදී පවා 15 දෙනෙක් තෝරා ගැනීම ඉතා අපහසුතාවයක් තිබුණා. අපි අද හැම දෙනෙක්ට ම වැදගත් වෙන්නේ අපි ඉදිරියේ තිබෙන අභියෝග ජය ගන්න. ඒ නිසා මේ කාර්ය සඳහා මටත් අගමැතිවරයාටත් සම්පූර්ණ සහයෝගය ලබාදෙන්න කියා ඉල්ලා සිටිනවා. ඒ වගේම ඉදිරියේදී එන්න තිබෙන මැතිවරණයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගන්න අවශ්‍යයි. ඒ කාර්ය සඳහා සියලු දෙනාගේම සහයෝගය ඉල්ලා සිටිනවා.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමැතිවරුන් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.
( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post