අගමැති මහින්ද

0 Nov 22, 2019 10.25am Gossip

මහින්ද රාජපක්ෂ මහතා මෙරට 23 වැනි අගමැතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඊයේ (21) දහවල් දිවුරුම් දුන්නේය.

ශ්‍රී ලාංකේය දේශපාලනයේ නොමැකෙන සටහන් රැසක හිමිකරුවා වන මහින්ද රාජපක්ෂ මහතා ඊයේ ඉතිහාසයට එක් වූයේ මෙරට විධායක ජනාධිපති ධුරය දෙවතාවක් සහ අගමැති ධුරය තෙවතාවක් ඉසිලූ පළමුවැන්නා ලෙසිනි.

ශ්‍රී ලංකා ඉතිහාසයේ ජනාධිපති සහ අගමැති තනතුරු දෙක සහෝදරයන් දෙදෙනකු උසුලන ප්‍රථම අවස්ථාව ලෙසද මෙය සනිටුහන් වේ.

වසර තිහක රුදුරු ත්‍රස්තවාදය නිමා කරලීමේ මෙහෙවරේ දී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙසත්, ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයා ලෙසත් කටයුතු කළ අතර ඉන් වසර දහයකට පසුව නැවතත් ජාතික ආරක්ෂාව අනතුරේ වැටී ඇති අවස්ථාවක ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙසත් මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙසත් කටයුතු කිරීම දෛවෝපගත සිද්ධියකි.

1970 වසරේ දී එවකට පාර්ලිමේන්තුවේ ලාබාලතම මන්ත්‍රීවරයා ලෙසින් ප්‍රථමවරට පාර්ලිමේන්තුවට පිවිසි රාජපක්ෂ මහතා 2004 වසරේ දී ප්‍රථම වතාවට අගමැතිවරයා ලෙසින් පත් වූ අතර 2005 සහ 2010 වර්ෂවල දී විධායක ජනාධිපතිවරයා ලෙසින් දෙවතාවක් පත්වීමෙන් අනතුරුව 2018 වසරේ දී දෙවැනි වතාවටත් අගමැති ධුරයට තේරී පත්විය.

නව අගමැතිවරයාගේ දිවුරුම් දීමේ අවස්ථාව වෙනුවෙන් චාම් එහෙත් අභිමානවත් උළෙලක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඊයේ සංවිධාන කර තිබුණේය.

මහින්ද රාජපක්ෂ මහතාගේ සම්ප්‍රාප්තියත් සමඟ දහවල් එකට උත්සව ඇරැඹුණේය. ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උත්සව සභාවට පැමිණියේය.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ඉදිරියේ අගමැති වශයෙන් දිවුරුම් දුන්නේ පස්වරු 1.7ට පමණය. අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා නව අගමැතිවරයාට සුබපැතුවේය.

ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව නව අගමැතිවරයා දිවුරුම් දීමේ උත්සව සභාව නිමාවට පත්විය.

උත්සව සභාවට එක්ව සිටි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ නව අගමැතිවරයාට සුබපැතූහ.

අනතුරුව පක්ෂ නායකයන් සහ සෙසු මන්ත්‍රීවරුන්ගේ සුබපැතුම් එක්කෙරිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් සහ මහාචාර්ය ජී. එල්. පීරිස්, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, ඩග්ලස් දේවානන්ද, නිමල් සිරිපාල ද සිල්වා, උදය ගම්මන්පිල මහත්වරුන් ප්‍රමුඛ මැති ඇමැතිවරුන් ද අයෝමා රාජපක්ෂ සහ ශිරන්ති රාජපක්ෂ මහත්මීන් ප්‍රමුඛ පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post