රාජපක්ෂ කණ්ඩායමේ උත්සාහය ජාතිවාදයෙන් බලය ගන්නයි

0 Nov 06, 2019 09.02am Gossip

ශ්‍රී ලාංකීය අනන්‍යතාවය තහවුරු කරලීම අප සියල්ලන්ගේම අපේක්‍ෂාව වුව ද, රාජපක්ෂ කණ්ඩායම උත්සාහ ගන්නේ ජාතිවාදය තහවුරු කොට බලය ලබා ගැනීමට බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

මඩකලපුව දිස්ත්‍රික්කයේ ඊයේ (5) පැවැති පොකුරු රැස්වීම් මාලාවක් අමතමින් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කෙළේය. සිංහල, දෙමළ, මුස්ලිම් ආදී සෑම ජාතියකගේම එකමුතුවෙන් හා එකඟත්වයෙන් ශ්‍රී ලංකාව පෙරට ගෙන යෑම එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ සන්ධානයේ ප්‍රතිපත්තිය බව පෙන්වා දුන්නේය. ඒකීය රාජ්‍යයක් තුළ බලය බෙදා හැරීමේ දේශපාලන විසඳුමක් සඳහා තමන් කැප වී සිටින බවත්, එම විසඳුම සකස් කිරීමේ දී රණසිංහ ප්‍රේමදාස, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ මහින්ද රාජපක්‍ෂ යන ජනාධිපතිවරුන් සකස් කර ඇති යෝජනා පදනම් කර ගන්නා බවත් අගමැතිවරයා පෙන්වා දුන්නේය.

මෙවන් පොදු එකඟතාවකින් යුතුව ශ්‍රී ලංකාව අනාගතය වෙත රැගෙන යැම සඳහාත්, නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය හා සංහිදියාව ආරක්‍ෂා කර ගැනීම සඳහාත් ලබන නොවැම්බර් 16 වැනිදා හංසයා ඉදිරියේ කතිරය ගසා සජිත් ප්‍රේමදාස මහතා බලයට පත් කර ගන්නා ලෙස වික්‍රමසිංහ මහතා මඩකලපුව ජනතාවගෙන් ඉල්ලා සිටියේය.


( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post