සියලු පුරවැසියන්ගේ විශ්වාසය තහවුරු කරනවා

0 Oct 08, 2019 09.45am Gossip

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට සියලු ආධාරකරුවන් හා පුරවැසියන්ගේ සහාය අවශ්‍යයි:  මෙයට පුරවැසියන් මෙහෙයවන්න

මැතිවරණ කොමසාරිස් කියයි

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැපවී සිටින කොමිෂන් සභාවක් ලෙස සියලු අභියෝග ජයගනිමින් අවශ්‍ය සියලු කටයුතු නිසියාකාරව සිදු කරන බවත් සියලු දෙනාටම විශ්වාසය ඇතිවන අයුරින් ක්‍රියා කරන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

සමානාත්මතාව , සමාජ සාධාරණත්වය සහ වාර්ගීක දේශපාලන බැඳීම්වලින් තොරව විශ්වාසනීයව සහ විනිවිදභාවයෙන් යුතුව නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා සියලුම ආධාරකරුවන් හා පුරවැසියන්ගේ සහාය අවශ්‍ය බවත් මේ සඳහා පුරවැසියන් මෙහෙයවන ලෙස ඉල්ලා සිටින බවත් ප්‍රකාශ කළ සභාපතිවරයා ඒ සඳහා අයහපත් ක්‍රියාවලින් වැළකී සිටිමින් කටයුතු කරන්නැයි ඉල්ලා සිටින බවත් ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව පැවසුවේ මැතිවරණ කොමිෂන් සභාවේදී ඊයේ (07) නාමයෝජනා බාරදීමේ අවස්ථාවේදීය.

එහිදී වැඩිදුරටත් මහින්ද දේශප්‍රිය මහතා මෙසේ ද කීය.

නාමයෝජනා පත්‍ර 35ක් බාරදුන්නා. ඇප තැන්පත් කළ සංඛ්‍යාව 41ක්. නාමයෝජනා 06ක් බරදුන්නේ නැහැ. 2019 ජනාධිපතිවරණයේ නාමයෝජනා පිළිබඳ තීරණ දැනුම්දීමේ නිවේදනය නිකුත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ජනාධිපතිවරයා තෝරාගැනීම සඳහා වූ ඡන්ද විමසීම ජනාධිපතිධූරය දරන ජනාධිපතිවරයාගේ ධූරකාලය ඉකුත් වීමට පෙර මාසයකට අඩු නොවන හා මාස 02කට නොවැඩි කාලසීමාවක පැවැත්විය යුතුයැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31 වැනි අනු ව්‍යවස්ථාවේ නියමිතව ඇති හෙයින්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ආ වැනි ව්‍යවස්ථාව අනුව කියවෙන 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳ පනතේ දෙවැනි වගන්තියේ මැතිවරණ කොමිෂන් සභාවට පැවරී ඇති බලතල අනුව අංක 2141/ අංක 25 සහ 2019 සැප්තැම්බර් 18 වැනි බදාදා දින ප්‍රසිද්ධියට පත්කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් 2019 ඔක්තෝම්බර් 07 වැනිදා ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා නාමයෝජනා දින ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. නොවැම්බර් 16 වැනිදා උදේ 7 සිට පස්වරු 4 දක්වා ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව තිබෙනවා.

අද ඉදිරිපත් වන අපේක්ෂකයන්ට ඡන්ද මධ්‍යස්ථානයකට නියෝජිතයන් දෙදෙනා බැගින් එවන්න පුළුවන්. එහිදී නියෝජිතයන් 70ක් පමණ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට එකතු වෙනවා. ඒ නිසා මේ ඡන්ද මධ්‍යස්ථානවලට නියෝජිතයන් එවීමේදී ඒ පිළිබඳව සැලකිලිමත් වෙනවා නම් එය සහනයක්.

මේ මැතිවරණය සඳහා අප වියදම් කරන්න බලාපොරොත්තු වූ මුදල මිලියන 4000ක්. එහෙත් අපේක්ෂකයන් වැඩි වූ නිසා වියදම හිතුවාට වඩා වැඩි වෙනවා. ඡන්ද පත්‍රිකාව දෙගුණයක් දිගු වුණා. ඡන්ද පෙට්ටි හදන්න අවශ්‍යයි. ඒවා ආනයනය කරන්න වෙනවා. නාමයෝජනා බාරදීම අයිතියක්. නමුත් ඡන්ද ගණන් කරන ස්ථානවලට ඔබ එවන නියෝජිතයන්ගේ ප්‍රමාණය සීමා කරන්න පුළුවන් නම් එය ස්ථාන තෝරා ගැනීමේදී අපට පහසුයි.

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය කැපවී සිටින කොමිෂන් සභාවක් ලෙස අභියෝග ජයගනිමින් ඒ සියලු කටයුතු සිදු කරනවා. සියලු දෙනාටම අපගේ විශ්වාසය ලබාදෙනවා.

මැතිවරණ ආරවුල් හා පැමිණිලි ඉදිරිපත් කිරීම පිළිබඳව ගත්විට මාධ්‍ය හැසිරීම පිළිබඳවත් , රාජ්‍ය නිලධාරීන් දේශපාලන කටයුතුවල නිරතවීම සම්බන්ධව පැමිණිලි ලැබෙනවා. මෙවැනි පැමිණිලි මැතිවරණ ආරවුල් කළමනාකරණයට පවතින අංශයක් වන මැතිවරණ ආරවුල් කළමනාකරණ අංශය දිස්ත්‍රික් මට්ටමින්ද පවතිනවා. ඒ හරහා තොරතුරු ඉදිරිපත් කිරීමට හැකියාව පවතිනවා. විරෝධතා , ඡන්ද විමසීම්වලට අදාළ වැරදි තිබෙනවා නම් ඒවා කොමිෂන් සභාවට දැනුම් දෙන්න. මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සිටිනවා.

සිවිල් පුරවැසියන් , පක්ෂවල ආධාරකරුවන් , ජනමාධ්‍යවලට , වෘත්තීයවේදීන්ට තනි තනි පුද්ගලයන් වශයෙන් නිරීක්ෂකයන් ලෙස ක්‍රියාකරමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා තොරතුරු ලබාදීමට පුළුවන්. ඒ දුරකථන අංක වන්නේ 011 286 8212 , 011 286 8214 , 011 286 8217 ෆැක්ස් අංක ලෙස 011 286 8529 , 011286 8526 , වයිබර් වට්ස්අප් හරහා 071 9160 000 භාවිතා කරන්න පුළුවන් . ඊමේල් compalin.pre2019@election.gov.lk , ෆේස්බුක් election commission of sri lanka , දිස්ත්‍රික් මට්ටමේ පැමිණිලි නිරාකරණ කාර්යාල සම්බන්ධව තොරතුරු නිලධාරීන්ගේ නම් පක්ෂවල නියෝජිතයන්ට මේ තොරතුරු යොමු කරන්න.

පැමිණිලි ගෙන්වා ගන්නේ පැමිණිලි ක්‍රියාත්මක කරනවා කියූවිට දඩුවමට වඩා කොමිෂන් සභාව ක්‍රියාකරන ආකාරය ගැන කොමිෂන් සභාව පිළිබඳව යම් ආකාරයක අවබෝධයක් ඇති වෙනවා . ජනතාව අවධියෙන් සිටිනවා. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා මැතිවරණය කොමිෂන් සභාවටවත් , පොලීසිටවත් මේ අපේක්ෂකයෝ සියලු දෙනාටවත් බැහැ. සියලුම ආධාරකරුවන් හා පුරවැසියන්ගේ සහාය අවශ්‍යයි. මේ සඳහා පුරවැසියන් මෙහෙයවන ලෙස ඉල්ලා සිටිනවා.

නාමයෝජනා බාරදීමේ සිට ජනාධිපතිවරණය අවසන් වී සතියක් ගතවන තුරු පෙළපාළි පැවැත්වීම තහනම්. ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කළ යුත්තේ පොලීසියේ අවසරය ඇතිව පමණයි. ඡන්දය ලබාගැනීම සඳහා සංග්‍රහ කිරීම් , අල්ලස් ලබාදීම් , අයුතු බලපෑම් දූෂණ ක්‍රියා සේ සැලකෙනවා . ආගමික වැඩසටහන් හරහා හෝ පූජනීය ස්ථානවල පවත්වන රැස්වීම් හරහා පක්ෂ අපේක්ෂක ප්‍රවර්ධන බලපෑම් යටතට ගැනෙනවා.

මාධ්‍ය උපමාන රාජ්‍ය මාධ්‍ය ඇතුළුව , පෞද්ගලික මාධ්‍ය කිසිදු අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය වන ආකාරයට හෝ අගතියක් වන ආකාරයට තම ප්‍රචාරණ කටයුතු සිදු කිරීමෙන් වැළකී සිටින්න කියා ඉල්ලා සිටිනවා. මෙය පෞද්ගලික මෙන්ම මුද්‍රිත මාධ්‍යවලටද වලංගු වෙනවා. ස්වකීය අපේක්ෂකයන් හෝ දේශපාලන පක්ෂ ප්‍රවර්ධනය වෙනවා හෝ අගතියට ලක්වෙනවා නම් ඒ බව දැනුම් දෙන්න කියා සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටිනවා.

සමාජ මාධ්‍ය ජාලා හරහා අසත්‍ය හෝ වෛරී ප්‍රකාශන ප්‍රචලිත කිරීමෙන් වැළකී සිටින්න කියා සියලුම පුරවැසියන්ගෙන්(දේශීයව මෙන්ම විදේශීයව ජීවත්වන) ඉල්ලා සිටිනවා. වගකීමෙන් යුක්තව සමාජ මාධ්‍ය ජාලා භාවිතා කරන්න කියා ස්වකීය ආධාරකරුවන් දැනුවත් කරන ලෙසත් සියලු අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටිනවා. ඡන්දය දෙන අවස්ථාව ඡායාරූපගත කිරීම , ප්‍රසිද්ධ කිරීම , ඡන්ද පත්‍රිකා ප්‍රසිද්ධ කිරීම නොකළ යුතුයි.

සමානාත්මතාව , සමාජ සාධාරණත්වය සහ වාර්ගීක දේශපාලන බැඳීම්වලින් තොරව මේ ජනාධිපතිවරණය විශ්වාසනීයව , විනිවිදබාවයෙන් යුතුව කරන්න අවශ්‍යයි. ඒ සඳහා අයහපත් ක්‍රියාවලි වලින් වැළකී සිටිමින් කටයුතු කරන්න කියා ඉල්ලා සිටිනවා.

ජනාධිපති අපේක්ෂකයන්ගේ නාමයෝජනා භාරදීමේ වැඩකටයුතු සිදුකිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත සභාපතිවරයා මෙසේ අදහස් පළ කළේය.

මැතිවරණය නිසි ආකාරයට සාර්ථකව සිදුකිරීමට පුළුවන් වන්නේ ජනමාධ්‍යයේ හැසිරීම මතයි. ජනමාධ්‍ය මධ්‍යස්ථව ක්‍රියාකරනවා නම් ලැබෙන පැමිණිලි , තොරතුරු එවන්නැයි කියා ජනතාවට කියනවා නම් , නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා ඇති අවශ්‍යතාව ජනතාවට දැනුවත් කරනවා නම් ඡන්දය සාර්ථකව සිදුකර ගත හැකි වෙනවා. ඒ සඳහා නූතන මාධ්‍යයි , සම්ප්‍රදායික මාධ්‍යයි වෛරී ප්‍රකාශන හා අසතය ප්‍රකාශන, තොරතුරු වළක්වා හැමදෙනාටම සම අයිතිය තිබෙනවා කියන දේ ජනතාව අතරට ගෙනයන්න අවශ්‍යයි. අපේ මත ඉදිරියට ගෙන යන වාහකයෝ වන්නේ ජනමාධ්‍යයයි .

දේශපාලනය කරන යම් අයෙකුට තිබෙන අයිතියම අනික් අයටත් තිබෙනවා කියන දේ හිතුවොත් මේ මැතිවරණය සාධාරණ හා සාමකාමී අයුරින් පැවැත්වීමට හැකි වෙනවා. හැම අපේක්ෂකයෙකුටම තමන්ගේ මතය දැරීමට අයිතියම අනික් අයටත් තිබෙනවා කියන දේ කිව්වා. තමන්ගේ හැඟීම් අනික් අයටත් තිබෙන බව හිතා කටයුතු කරන්න අවශ්‍යයි. සමාජ සාධාරණත්වය , වාර්ගීක හැඟීම්වලින් තොරව කටයුතු කරන්න අවශ්‍යයි. බොරු ප්‍රවෘත්ති ප්‍රචාරය කරන්නේ නැතිව කටයුතු කරන්න.
( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post