ජනතාවට දැනෙන සංවර්ධනයක් අරඹන්න ශක්තිය ලබාදෙන්න

0 Sep 30, 2019 09.27am Gossip

පොදු ජනතාවට දැනෙන සංවර්ධන යුගයක් ආරම්භ කිරීමට ශක්තිය ලබාදෙන්නැයි සියලුදෙනාගෙන් ඉල්ලා සිටින බව ඇමැති සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේ ඊයේ (29) ඇල්පිටියේ පැවැති බෙන්තර ඇල්පිටිය එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩලය අමතමිනි. ඇමැති ගයන්ත කරුණාතිලක මහතා මෙම ජනහමුව සංවිධානය කැර තිබුණි.

එහිදී වැඩිදුරටත් කතා කළ සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීය.

මම ඇමැතිකම් දරපු කාලය තුළ මම පාවිච්චි කළේ මගේ පුද්ගලික වාහනයයි. මම ඒකට ඉන්ධන ගැහැව්වේ මගේ පුද්ගලික මුදල්වලින්. මම සතුටු වෙනවා ඇමැතිවරයෙක් හැටියට නිල නිවෙසක් පාවිච්චි කළේ නැහැ. මගේ ඇමැති දීමනාව හැම මාසෙකම මේ රටේ ගෙවල් හදන්නට, මගේ පියාණන් නිර්මාණය කළ සෙවණ අරමුදලට හැම මාසයකම පරිත්‍යාග කළා. මට කැබිනට් ඇමැතිකමක් ලැබුණේ හරියටම මගේ උපන් දිනය දවසේ. ජනවාරි 12 දා 2015 වසරේ.

එදා මම තීන්දු කළා රටේ ජනතාවට බරක් නොවන විධායකයේ කොටසක් හැටියට ඇමැතිවරයෙක් හැටියට කටයුතු කිරීම තුළ මේ රටේ පොදු ජනතාවට ලබාදිය හැකි උපරිම ශක්තිය ලබාදීම සඳහා රටේ බදු මුදල් ජනතාවගේ ආයෝජනය උදෙසා තැන්පත් කරන්න. මම ඔබලාට කියන්න කැමතියි මට ලොකු විශ්වාසයක් තිබෙනවා මේ රටේ ජනතාව රට තුළ කරන්නට පුළුවන් සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී දැවැන්තම ‍ෙද්ශපාලන පෙරළිය එළැඹෙන ජනාධිපතිවරණයේදී ක්‍රියාත්මක කරලා සජිත් ප්‍රේමදාසට සුවිශේෂී ජයග්‍රහණයක් ලබාදෙනවා කියන එක.

එදා මෙදාතුර මහ මැතිවරණ, ජනාධිපතිවරණ රැසක් පවත්වලා තිබෙනවා. ඔබ සියලුදෙනාම දන්නවා රටේ ප්‍රධානියා වුණාම, ජනතාව තීන්දු කරන්න ඕනෑ ජනාධිපතිවරයෙක් පත්කරන කොට රට යන දිසාව කුමක්ද කියලා. රට යන ඉදිරි ගමන කුමක්ද? රටේ ප්‍රතිපත්ති වන්නේ මොනවාද? රටේ වැඩපිළිවෙළ කුමක්ද? මම ආරම්භයේදීම තමුන්නාන්සේලාට කියන්න කැමතියි මේ අලුත් ජනාධිපති කාලවකවානුව තුළ මේ රටේ ජනතාව කිසිදාක ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ඉතිහාසයේ නොදැක්ක පරිවර්තනයක් ක්‍රියාත්මක කරන්න මම සැදී පැහැදී සිටිනවා.

මිත්‍රවරුනි, ජනාධිපතිවරයෙක් කියන්නෙ කවුද? රටේ ජනතාවගේ දුක හඳුනන, රටේ ජනතාවගේ හදගැස්ම අවබෝධ කරගෙන මේ රටේ සුවහසක් ජනතාවගේ හිස මත තිබෙන බර තමන්ගේ කර මතට, හිස මතට අරගෙන පුංචි මනුස්සයා වෙනුවෙන් දුක් විඳලා දුෂ්කර ක්‍රියාකරලා රට දැය වෙනුවෙන් ලොකුම කැපකිරීම කරන පුද්ගලයා තමයි මේ රටේ නායකයා ජනාධිපතිවරයා.

ජාතික නායකත්වය මේක තමයි, රටේ නායක වගකීම සහ යුතුකම. මම තමුන්නාන්සේලාට පැහැදිලිව පොරොන්දු වෙනවා තමුන්නාන්සේලා එළැඹෙන ජනාධිපතිවරණයේදී තමුන්නාන්සේලාගේ ජවය, සවිය, ශක්තිය මා වෙත ලබාදෙනකොට ඔබලාට පොරොන්දු වෙනවා පූර්ණකාලීනව විසිහතර පැයම තුන්සිය හැටපස් දවසම පොදු ජනතාවගේ දුක නිවන නායකයා බවට සජිත් ප්‍රේමදාස පත්වෙනවා.

මෙම ජනහමුව අමතා ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ගයන්ත කරුණාතිලක, ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන හා පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන්ද කතා කළ අතර ඇමැතිනි තලතා අතුකෝරළ, හිටපු ඇමැති පියසේන ගමගේ, බන්දුලාල් බණ්ඩාරිගොඩ, විජේපාල හෙට්ටිආරච්චි, ඇමැති හැරිසන් නානායක්කාර යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post