මහ වැස්සෙන් 79959ක් අවතැන්

0 Sep 25, 2019 09.56am Gossip

* පවුල් 20805කට පීඩා
* පැ.කි.මී. 70-80 තද සුළං
* නිල්වලා, ගිං, කළු පිටාර මට්ටමේ
* කටුනායකට මිලි මීටර් 219ක වැඩිම වර්ෂාපතනයක්

දින කිහිපයක සිට පවතින ධාරානිපාත වර්ෂාවත් සමඟ මේ වන විට එක් කාන්තාවක් මිය‍ෙගාස් තවත් අයෙක් තුවාල ලබා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ වන විට පවුල් 20805ක් ද පුද්ගලයන් 79959ක් අවතැන්ව ඇතැයිද එම මධ්‍යස්ථානය පවසයි.

පස් කඳු කඩා වැටීමෙන් පූර්ණ හානි නිවාස 22ක් හා අර්ධ නිවාස හානි 282ක් ද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකස්ථාන 10ක් හානියට පත්ව ඇතිබව වාර්තා වෙන බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. පෙරේදා (23) වැඩිම වර්ෂාපතනය මිලිමීටර් 219.1ක් කටුනායක ප්‍රදේශයෙන් වාර්තා වෙන බවත් පවසන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය 25වැනි දා රාත්‍රී කාලය දක්වා තවදුරටත් පවතිනු ඇතැයිද කියයි.

බස්නාහිර, දකුණ සහ සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර, දකුණ, සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.200ක පමණ ඉතා තද වර්ෂාපතනයන් ඇති විය හැකි බවත් කියන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වයඹ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලටමි.මී. (100 – 150) ක පමණ තද වර්ෂාපතනයන්ද ඇති විය හැකියැයිද කියයි.

දිවයිනේ සෙසු පළාත්වල, විශේෂයෙන් සවස්කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කැර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙන බවත්, මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල තද වැසිද ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත සිට දකුණ දක්වා වන දිශාවලින් හමා එන අතර සුළ‍ඟේ වේගය පැ.කි. මී. (30 – 40)_ පමණ වනබවද එම දෙපාර්තමේන්තු කියයි. හම්බන්තොට සිට ‍ෙපාතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශයේ සහ පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා මුලතිවු දක්වා වන මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50 – 55) දක්වා ඉහළ යාමට හැකියාවක් පවතින අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

ගිගුරුම් සහිත වැසිඇති වන විට එම මුහුදු ප්‍රදේශවල (පැ.කි.මී. 70 – 80 දක්වා) තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. ධීවර සහ නාවික ප්‍රජාවගෙන් මේ පිළිබඳව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙසද එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්ත සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ස්වයංක්‍රීය වර්ෂාමාන දත්ත පදනම් කැර කළුතර, කෑගල්ල සහ ගාල්ල යන දිස්ත්‍රික්ක සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරන ලද අතර දැනට වර්ෂාවේ ඇති වැඩිවීම හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, නියාගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයාම් අවදානම් නිවේදන නිකුත් කැර ඇත. එසේම කණ්ඩි කඩා වැටීම් ගැන සැලකිලිමත් වන ලෙස පැවති මාධ්‍ය හමුවේ දන්වා සිටින ලදී. දිය උල්පත් මතුවිම, පවතින දියපාරවල් ක්ෂණිකව සිඳී යාම, ගස්, විදුලි කණු වැනි සිරස් ව විහිදී ඇති දෑ ඇලවි ඇතිනම්, නිවාස සිරස් ආකාරයට පුපුරා ඇති නම් එවැනි නායයාම් පූර්ව අනතුරු ලක්ෂණ පිළිබඳව සැළකිලිමත් වන ලෙසත් එවැනි ලක්ෂණ හඳුනාගත හැකිනම් සුරක්ෂිත ස්ථාන කරා යෑමට කටයුතු කරනලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය පද්මකුමාර ජයසිංහ මහතා පැවසීය.

නිල්වලා, ගිං, කළු ගංඟාවල ජල මට්ටම පිටාර මට්ටමට පැමිණ ඇති බැවින් එම ගංඟා ආශ්‍රිතව සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි. පවතින වැසි තත්ත්වය හමුවේ කළුතර කුකුලේගඟ වාන් දොරටුවක් විවෘත කැර ඇත. මාතර, තිහගොඩ, හක්මන, මාලිම්බඩ පස් කණ්ඩි කඩා වැටීම් ගණනාවක් වාර්තාවෙන අතර ඒ අවට ජනතාව ආරක්ෂිත ස්ථානවෙත ගෙන ගොස් තිබේ.

නායයෑම් අවදානම් කලාප ලෙස කළුතර, රත්නපුර, ගාල්ල, කෑගල්ල, දිස්ත්‍රික් වෙත රතු නිවේදන නිකුත් කැර ඇත. මේ නිසා කඳුවැටි ආසන්නයේ සිටින ජනතාවට ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙසද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා කියයි. එසේම පැය 24 තුළම ක්‍රියාත්මක දුරකථන අංක 117 වෙත ඕනෑම ආපදාවක් දන්වන ලෙසද ඒ මහතා කීය. සියලු ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත මුදා හැර ඇතිබව කියන ඒ මහතා සහන සේවය සඳහා ආපදා කළමනාකරණ දිස්ත්‍රික් නිලධාරීන් ත්‍රිවිධ හමුදාව, පොලිසිය කටයුතු කරමින් සිටින බවද කීය.


( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post