උපාලි තෙන්නකෝන්ට පහරදීම: යුද හමුදාවේ දෙදෙනකුට අධිචෝදනා

0 Aug 08, 2019 09.37am Gossip

රිවිර පුවත්පතේ ආරම්භක කර්තෘ ප්‍රවීණ මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට සහ ඔහුගේ බිරිය ධම්මිකා මල්කාන්ති තෙන්නකෝන් මහත්මියට තියුණු සහ මොට ආයුධවලින් පහරදී බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් යුද හමුදාවේ බලලත් නිලධාරි ප්‍රේම ආනන්ද උදුලාගම සහ බුද්ධි නිලධාරි ලලිත් රාජපක්ෂ යන චුදිතයන්ට එරෙහිව නීතිපතිවරයා ගම්පහ මහාධිකරණයේ අධිචෝදනා ගොනු කළේය. නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරි රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය මේ බව පවසමින් තවදුරටත් මෙසේ සඳහන් ක‍ළාය. මෙම චුදිතයින් දෙදෙනා යුද හමුදාවේ ට්‍රිපොලි බුද්ධි කඳවුරේ සේවයේ නිරතව සිටි අයයි. මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් යන අයට තියුණු හා මොට ආයුධවලින් පහරදී බරපතල තුවාල සිදුකිරීමෙන් දණ්ඩනීති සංග්‍රහයේ 32 වන වගන්තිය සමඟ කියවිය යුතු 317 වන වගන්තිය යටතේ දඬුවම් සිදුකළ හැකි වරදක් සිදු කළ බවය.

ධම්මිකා මල්කාන්ති තෙන්නකෝන් යන අයට තියුණු ආයුධවලින් පහරදී බරපතල තුවාල සිදු කිරීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 32 වන වගන්තිය සමඟ කියවිය යුතු 315 වන වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදු කළ බවය.

තෙන්නකෝන් යුවළ ගමන් කළ WP KG 9977 දරන මෝටර් රථයට පහරදීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 32 වන වගන්තිය සමඟ කියවිය යුතු 410 වන වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදු කළ බව චෝදනා පත්‍රවල දක්වා තිබේ.

වසර 2009 ජනවාරි 23දා ඉඹුල්ගොඩ කඩවත ප්‍රදේශයේදී තෙන්නකෝන් යුවළ ගමන්ගත් කාර් රථය ප්‍රධාන මාර්ගයට පිවිසෙද්දී අතුරුපාරකින් පැමිණි මෝටර් සයිකල් හතරක් කාර් රථය අවහිර කළේය. උපාලි තෙන්නකෝන් යන අය වාහනය නතර කළේය. හෙල්මට් පැළඳ ජැකට්වලින් සැරසුන පුද්ගලයන් දෙදෙනකු පාර අයිනේ සිටින බව තෙන්නකෝන් යන අය දැක තිබේ. කාර් රථයේ ඉදිරිපස වීදුරුවට එම දෙදෙනා පහරදී තිබේ. එක් අයකු තෙන්නකෝන් යන අයගේ හිසට සහ මුහුණට පහරදී ඇත. තියුණු පිහියක් අතැතිව සිටි අනෙක් තැනැත්තා තෙන්නකෝන් යන අයගේ අතට එයින් හානි කළේය. බිරිඳ ධම්මිකා, සැමියා බේරා ගැනීමට තැත්කරද්දී චුදිතයින් ඇයටත් තුවාල සිදු කර තිබේ. තෙන්නකෝන් යුවළ කොළඹ ජාතික රෝහලේ මේ සම්බන්ධව නේවාසික ප්‍රතිකාර ලැබීය.


( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post