තෝරාගත යුත්තේ සංවර්ධනයට කැපවූ ආණ්ඩුවයි

0 Aug 05, 2019 09.48am Gossip

අගමැති රනිල් වික්‍රමසිංහ

අනාගතයේ රටට අවශ්‍ය බොරු පොරොන්දු හා හීන මවන බංකොළොත් ආණ්ඩුවක්ද නැතිනම් බැනුම් අහ අහ හරි රට සංවර්ධනය කිරීමට හැකි ආණ්ඩුවක්ද කියා රටේ ජනතාව බුද්ධිමත්වව තීරණය කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

පහළ මල්වතුඔය ව්‍යාපෘතිය සහ රජරට වැව් 700ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති ආරම්භ කළේ රජරට ජනතාවට ගොවිතැන් කිරීමට අවශ්‍ය ජලය ලබාදීමේ අභියෝගයට මුහුණ දීමට බව පැවැසූ අගමැතිවරයා වැඩිදුරටත් පැවසුවේ වත්මන් රජය හීන මවමින් නොසිට අභියෝග වලට සාර්ථකව මුහුණ දිය හැකි රජයක් බවය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ පසුගියදා (02) අනුරාධපුරය දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘතීන් කීපයක් ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

ලෝක බැංකු ණය ආධාර යටතේ ක්‍රියාත්මක වන දේශගුණ සුහුරු වාරි ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවයට සමගාමීව ඔයාමඩුව වැව ප්‍රතිසංස්කරණය කිරීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී විය.

අනතුරුව අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ පැවති ඉඩම් ඔප්පු දසලක්ෂයක් ලබාදීමේ වැඩසටහනේ අනුරාධපුර දිස්ත්‍රික් වැඩසටහන සඳහාද අගමැතිවරයා සහභාගී විය. එහිදී ඉඩම් ඔප්පු 12000ක් ජනතාවට ලබා දුන්නේය.

අනතුරුව අනුරාධපුර යොවුන් නිකේතනයේ වගා හානී වූවන් සඳහා වන්දි ලබාදීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහභාගී විය.

අනතුරුව මල්වතුඔය පාලම ඉදිකිරීම සඳහාද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී විය.

එහිදී වැඩ්දුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා:

අද ඔයාමඩුව වැවේ වැඩකටයුතු සියල්ල ආරම්භ කළා. රජරට ජීවත්වන්නට නම් ඉඩම් සහ ජලය අවශ්‍යයි. ඒ දෙක සපයන්න තමයි අද අපි ක්‍රියා කරන්නේ කියා මා කියන්න කැමතියි. ඒ නිසා නිරවුල් ඉඩම් ඔප්පු අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවට අද අපි ලබා දෙනවා. රජරට ශිෂ්ටාචාරය ඇතිවුණේ ඉඩම් සහ ජලය තිබූ නිසයි. අද ඊට වඩා වෙනස් තත්ත්වයක් තිබෙන්නේ. අද නියඟය සහ අනෙකුත් ප්‍රශ්න විසදන්න තිබෙනවා. පසුගිය වසර 10,15 තුළදී අවශ්‍ය වැව් ප්‍රතිසංස්කරණය කළේ නෑ.

අද නියඟය වැඩිවෙලා. ලෝකයේ දේශගුණික විපර්යාසය අපට බලපානවා. ඒ නිසා අනුරාධපුර ප්‍රදේශය , මෙම වර්ෂයේ වැව් 700ක් ප්‍රතිසංස්කරණය කරන්න අපි ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ මගින් මෙම ප්‍රදේශයට ජලය ලැබෙනවා, ගොවිතැන් කරන්න අවස්ථාව ලැබෙනවා. ගමේ වැව් කුඩා වැව් වලට අමතරව අගෝස්තු මාසයේ අවසානයේ පහළ මල්වතුඔය ජලාශයේ වැඩකටයුතු ආරම්භ කරනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයට අවශ්‍ය ජලය ලබාදෙන්න අපි ක්‍රියාකරගෙන යනවා.

ජල හිගය නිසා අද අපට විශාල ප්‍රශ්න ඇතිවි තිබෙනවා. එක අතකින් වැසි ජලය අඩුවෙනවා අනෙක් පැත්තෙන් ජීවත්වන ජනගහනය වැඩිවෙනවා. මේ අර්බුදයට අපි මුහුණ දුන්නත් කෙසේ හෝ ගොවිතැන් කළ යුතුයි. ආහාර ලබාදිය යුතුයි. මෙම අභියෝගයට ආණ්ඩුවක් ලෙස මුහුණ දී එය විසදීමේ කටයුත්ත තමයි පහළ මල්වතුඔය සහ වැව් 700 ඉදිකිරීමේ ව්‍යාපෘතිය අපි ආරම්භ කලේ. අපි අභියෝග වලින් පැනල යන්නේ නෑ. අපි අභියෝග වලට මුහුණ දෙනවා.

අපි නියඟයට මුහුණ දුන්නා, දේශගුණික විපර්යාසය වලට මුහුණ දුන්නා. ඒ වෙද්දි බොහෝ ආණ්ඩු කෘෂිකර්මය අතහැර තිබුණා. මේ රජය එන්න කලින් මෙම දියුණුව තිබුණේ නෑ. එපමණක් නෙමෙයි. නියඟය, පොහොර නොමැතිවීම නිසා ගමේ ආර්ථිකය කඩා වැටුණා. අතේ තිබෙන මුදල් අඩු වුණා. යලිත් ගමට මුදල් ලබාදෙන්න වැඩසටහන් ගණනාවක් ආරම්භ කළා. ළගම පාසල හොදම පාසල මගින් ගොඩනැගිලි ඉදිකළා, ගම්උදාව, උතුරු නැගෙනහිර ජනතාව යලි පදිංචි කිරීමේ ව්‍යාපෘතිය මගින් නිවාස ලබාදෙනවා, ඉදිකිරීම් දියුණු කරනවා. ගම්පෙරැළිය මගින් ගමට අවශ්‍ය යටිතල පහසුකම් දියුණු කළා, මංමාවත් වැඩසටහන යටතේ ගමේ පාරවල් ඉදිකරනවා, විමධ්‍යගත අරමුදල්, ගමට කෝටිය වැඩසටහන මගින් ගමේ ආර්ථිකය වෙනුවෙන් අපි මුදල් ලබාදෙනවා.

එදා ඔබේ ආදායම අඩුවුණා. ගමේ ආර්ථිකය අපි ශක්තිය කර ගමේ ජනතාවගේ මුදල් පරිහරණය ශක්තිය කරනවා. අපි ප්‍රශ්න වලදී පැනලගිය ආණ්ඩුවක් නෙමෙයි. සෑම ප්‍රශ්නයකටම අපි මුහුණ දුන්නා, සෑම අභියෝගයකටම මුහුණ දුන්නා.

බොහෝ ආණ්ඩු හීන මවනවා, පොරොන්දු දෙනවා, එහෙත් ඒවා ඉටුකරන්න හැකි අභියෝග වලට මුහුණ දෙන්න පුළුවන් ආණ්ඩු ලෝකයේ තිබෙන්නේ අල්පයයි. ඉන් එකක් තමයි ලංකාවේ වත්මන් ආණ්ඩුව.

අපේ ආණ්ඩුව කාලයේ සුදු වෑන් ආවේ නෑ, ප්‍රචාරක ව්‍යාපාර ආරම්භ නොකර බැනුම් අසමින් හරි අභියෝග වලට විසදුම් හෙව්වා. ඒ නිසා පුළුවන් ප්‍රශ්න සියල්ල විසදිය යුතුයි. මා ආණ්ඩුවේ මැති,ඇමතිවරුන්ට කියා තිබෙනවා ජනතාවගේ ප්‍රශ්න වලට ඉක්මනින් විසදුම් ලබාදෙන්න කියා. ඒ නිසා විශාල ප්‍රගතියක් පසුගිය වසර හතර තුළ ලබාදී තිබෙනවා. මේ සියල්ල කිරීමට හැකිවුණේ අපි මුදල් සොයාගත් නිසා. අපි ආණ්ඩුව භාරගත් අවස්ථාවේ මුදල් තිබුණේ නෑ. රට ණය බරින් මිරිකී තිබුණේ. කොහොමහරි අපි රටේ ණය ගෙවා තිබෙනවා. අපි මුදල් ඉපැයුවා, ආර්ථිකය කඩාවැටුණා කියා අපි පැනල ගියේ නෑ. අපි රටේ ආර්ථිකය ආපසු හැදුවා. අපි ඉදිරියට ගියා අභියෝගවලට මුහුණ දුන්නා. අපි මුදල් හොයන්න පුළුවන් ආණ්ඩුවක් බවට පත්වී තිබෙන්නේ.

අපිට ණය ගෙවන්න පුළුවන් ආර්ථිකයක් හදන්න ආයෝජන රැස්කිරීමට තිබෙනවා. මුදල් හොයන්න පුළුවන් ආයෝජන රැස්කිරීමට හැකි ආණ්ඩුවකට තිබෙන්නේ මේ ආණ්ඩුව කියා මා ආඩම්බරයෙන් කියනවා. ඒ නිසා අනාගතය දෙස බැලුවාම තමාගේ අනාගතයට අවශ්‍ය බංකොලොත් ආණ්ඩුවක්ද? බැනුම් අහල හරි රට සංවර්ධනය කිරීමට හැකි ආණ්ඩුවක්ද කියා ඔබ තීරණය කළ යුතුයි. අන්න එයයි අනාගතය.

අපිට සටන්පාඨ කියන්න පුළුවන්, සිංහල දෙමළ ජනතාව ගැන කියමින් විවේචනය කරන්න පුළුවන්. නමුත් අපි ඒවා කළේ නෑ. අපි හැමවෙලේම හිතුවේ ජනතාවගේ ආර්ථිකය දියුණු කරන්නේ කෙසේද කියායි. මුදල් හොයාගන්න හැකි ආණ්ඩුවක් තිබෙන්නේ. අනාගතයේ ආයෝජන රැස්කරමින් රට දියුණු කරන ආණ්ඩුවක්ද, කතාවට සීමාවූ ආණ්ඩුවක්ද අවශ්‍ය කියා රටේ බුද්ධිමත් ජනතාව සිතිය යුතුයි.

පී. හැරිසන් ඇමතිතුමා -අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමණක් නොවෙයි රට පුරාම වාරි කර්මාන්තය දියුණු කිරීමට පියවර ගෙන තිබෙනවා. එතුමා මේ වැව් හදන එක පමණක් නෙමෙයි, බෝග වගාකිරීම, අස්වැන්න දියුණු කිරීම, නිෂ්පාදනය වැඩිකිරීම සහ ගොවීන්ට සහන ලබාදීම යන සෑම එකක්ම කරගෙන යනවා.

එතුමා යෝජනා කළා පහළ මල්වතුඔය ව්‍යාපෘතිය ආරම්භ කරමු කියා. අපිට එය කරන්න හැකිවුණා. එතුමා එය කිරීමට උත්සාහ කළේ නැතිනම් අද පහළ මල්වතුඔය ව්‍යාපෘතිය ආරම්භ වන්නේ නෑ. මේ ප්‍රදේශය දියුණු කරන්න විශාල වෙහෙසක් එතුමා ගෙන තිබෙනවා.

චන්ද්‍රානි බණ්ඩාර ඇමතිතුමිය රජරට දියුණු කිරීමට විශාල පියවර ගෙන තිබෙනවා.

තන්තිරිමලේ විහාරාධිපති තන්තිරිමලේ චන්ද්‍රරතන හිමි- අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුර දිස්ත්‍රික්කයට පැමිණ සංවර්ධන ව්‍යාපෘතීන් රැසක් ජනසතු කිරීම පිළිබඳව ජනතාව වෙනුවෙන් එතුමාට ස්තූතිවන්න වනවා. එතුමාගේ දැනුම ක්‍රියාශීලී බව නිසා වර්තමානයේ තිබෙන ගැටලුළු විසදාගෙන නොසැලී කටයුතු කරන නායකයෙක්. එම නායකත්වය රජරටට සම්පතක්.

මීට මාසයකට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම ප්‍රදේශයට පැමිණ ගමේ ජනතාවට ඉඩම් අයිතිය ලබාදෙන්න කටයුතු කළා. අද දවසේත් මෙම ප්‍රදේශයේ ජනතාවට වසර 30ක කාලයක සිට නොතිබුණු ඉඩම් ඔප්පු ලැබෙනවා.

මෙම ප්‍රදේශවල සිටින නැතිබැරි කෘෂිකර්මික ජනතාව ඇතිහැකි පිරිසක් කිරීමේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්ම විදිමත්ව රටතුළ ක්‍රියාත්මක වන බව අපි දුටුවා. දැන් අපි දකිනවා සැලසුම් සහගතව ක්‍රියාත්මක කරන වැඩකටයුතු වල ප්‍රගතිය. වාරිමාර්ග දියුණු කිරීමට ඔබතුමා ගෙන තිබෙන පියවර ඉතා විශිෂ්ටයි. ප්‍රදේශවාසී ජනතාව ඇතුළු මහා සංඝ රත්නය ඔබතුමා ගෙනඇති යෝධ සංවර්ධන ව්‍යාපෘතීන් තවදුරටත් රජරටට ලැබෙයි කියා බලාපොරොත්තුව්ව්න් සිටිනවා.

1954 සිට විවිධ බාධක නිසා ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ පහළ මල්වතුඔය ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ඔබතුමා පියවර ගැනීම පිළිබඳව ඔබතුමාට ස්තූතිවන්න වනවා. පීඩිත ජනතාවගේ ආර්ථිකය ගොඩනැංවීමට ඔබතුමාත් රජයත් ගෙනයන වැඩපිළිවෙළට ප්‍රශංසා කරනවා.

අමාත්‍ය පී හැරිසන් මහතා- පසුගිය වසර හතරේම ප්‍රදේශවාසීන්ට ජලය දීමට සිදුවුණේ ප්‍රාදේශීය ලේකම් තුමාටයි. ඒ නිසා කන්න හතරක් කරන්න බැරිවුණා. මෙම ප්‍රදේශය ජනතාව එල්.ටී.ටී.ඊ එකෙන් සහ වන අලින්ගෙන් බැටකෑවා. එම ගොවි ජනතාවට අස්වැසිල්ලක් ලෙස මෙම වැව් ප්‍රතිසංස්කරණය වෙනවා.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමණක් වැව් 700ක් ප්‍රතිසංස්කරණය වෙනවා. ගොවිජන සේවා එක හරහා වැව් 300ක් ප්‍රතිසංස්කරණය වෙනවා. මෙම සියලු වැව් වල වැඩ කටයුතු මෙම වසරේ අවසන් කරනවා. මෙම ව්‍යාපෘතියට ලෝක බැංකු ආධාර අපට ලැබෙනවා.

දිස්ත්‍රික් හයේම වැව් 1600ක් අලුත්වැඩියා වනවා. ඒ මගින් අනාගතයේ පානීය ජල ගැටලුව විසදෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගොවි ජනතාවගේ ගැටලු නිරන්තරයෙන් සොයාබලා කටයුතු කරනවා. සාම්ප්‍රදායික ගොවිතැනින් ඔබ්බට ගොසින් වර්තමානයේ ප්‍රදේයේ ජනතාවට ආර්ථිකමය වශයෙන් වැදගත් බෝග හදුන්වාදී තිබෙනවා. වැල්දොඩම්, කෝමාරිකා, මුරුංගා කොළ වැනි බෝග මෙම ප්‍රදේශවල බහුලව වවනවා. අපි බලාපොරොත්තු වනවා ගොවි මහතුන් හට නවීන තාක්ෂණය ලබාදෙන්නෙ. එම වැඩසටහන දිස්ත්‍රික් ගොවිජන සේවා කාර්යාල මගින් ක්‍රියාත්මක කරනවා.

උදාහරණයක් ලෙස ජපානයේ එක් වී බුසලකින් කුඹුරු අක්කර 500ක් වගා කරනවා. ඒ අයගේ තාක්ෂණය දියුණු නිසා කෘෂිකර්මය දියුණු වී තිබෙනවා. අපිත් එම තාක්ෂණයට යා යුතුයි. එවිට උතුරු මැද පළාතේ ජල හිඟයට විසදුමක්ද ලබාගත හැකියි.

අද ඔබගේ වගා හානී වූ වගාවන් සඳහා වන්දි ලබාදෙනවා. එය අපි දේශපාලන බේදයකින් තොරවයි කරන්නේ.ගොවි ජනතාවගේ යහපත වෙනුවෙන් කිසිදු රජයක් නොකළ වැඩපිළිවෙළක් වත්මන් රජය මගින් ක්‍රියාත්මක කරනවා

අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර,

වත්මන් රජය මෙරට වැව් පද්ධතිය ප්‍රතිසංස්කරණයට පියවර ගෙන තිබෙනවා. ඒ හරහා වසර ගණනාවකින් ප්‍රතිසංස්කරණය නොවූ වැව් මෙම වැඩසටහන යටතේ ප්‍රතිසංස්කරණය වෙනවා. ලෝක බැංකුව හා කෘෂිකර්ම ඇමතිවරයා එක්ව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන රටට යහපතක්. මෙම ව්‍යාපෘතිය හරහා වැව් කීපයක් ප්‍රතිසංස්කරණ කිරීමට යෝජනා වී තිබෙනවා අද ඔයාමඩුව වැවෙන් ආරම්භ වන්නේ ගොවි ජනතාව ශක්තිමත් කිරීමේ ආරම්භයයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය මගින් මෙතෙක් කිසිදු රජයකින් නොකළ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ පිළිබඳව අපි සතුටු වෙනවා.

මෙම අවස්ථාව සදහා පල්ලේගම සිරිනිවාස මහ නාහිමියන්, තන්තිරිමලේ විහාරාධිපති චන්ද්‍රරතන හිමියන්, අමාත්‍ය පී. හැරිසන්, චන්ද්‍රානි බණ්ඩාර, ගයන්ත කරුණාතිලක, ඉෂාක් රහුමාන් යන පිරිස සහභාගී වූහ.

අසේල ලියනගේ, ඌව වෙල්ලස්ස විශේෂ ඩී.එස් ගුණතිලක, මිහින්තලය විශේෂ පී මලවලාආරච්චි.
( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post