රටේ ආරක්ෂාව 99%ක් යහපත්

0 May 28, 2019 09.10am Gossip

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විදෙස් තානාපතිවරුන් අතර හමුවක් ඊයේ (27) ජනාධිපති නිල නිවසේ දී පැවැත්විණි.

ත්‍රස්ත අභියෝගයට එරෙහි සාර්ථක මෙහෙයුම් පිළිබඳ එහි දී තානාපතිවරුන් දැනුවත් කළ ජනාධිපතිවරයා කියා සිටියේ මේ වන විට රටේ වත්මන් ආරක්ෂක තත්ත්වය සියයට අනූ නවයක් යහපත් බවට තමාට සහතික විය හැකි බවයි.

ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ කළ සාර්ථක මෙහෙයුම් ඊට හේතු වූ බව සඳහන් කළ ජනාධිපතිවරයා විදෙස් බුද්ධි අංශවලින් ද මෙරට අරක්ෂක අංශ වෙත ලැබුණු සහාය ඇගැයීමට ලක් කළේය.

එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, කැනඩාව, ජපානය, ජර්මනිය, ඔස්ට්‍රේලියාව සහ යුරෝපීය සංගමයට අයත් තානාපතිවරු මෙම හමුවට එක්ව සිටියහ.

ජාතික ආරක්ෂක වැඩපිළිවෙළේ දී එම සියලු රටවල් ලබා දෙන සහාය මෙන්ම ආර්ථික සංවර්ධනය සඳහා ලබාදෙන සහාය ද අඛණ්ඩව අපේක්ෂා කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා පාස්කු ඉරිදා සිදුවීමත් සමඟ සංචාරකයන් සඳහා පනවා ඇති බාධක කඩිනමින් ඉවත්කර ගැනීමට සහාය වන ලෙස ද තානාපතිවරුන්ගෙන් ඉල්ලා සිටියේය. රටේ වත්මන් ආරක්ෂක තත්ත්වයට අදාළ කරුණු පැහැදිලි කිරීම පිළිබදව මෙහි දී ජනාධිපතිවරයා වෙත සිය ස්තූතිය පළ කළ තානාපතිවරු, ශ්‍රී ලංකාවට පැමිණිමේ දී තම රටවල් සංචාරකයන් සඳහා පනවා ඇති බාධා කඩිනමින් ඉවත්කිරීමට අවශ්‍ය මැදිහත්වීම සිදුකරන බවට ද ප්‍රතිඥා දුන්හ.

එමෙන්ම හදිසි නීතිය දීර්ඝ කිරීම පිළිබඳ ද මෙහි දී සාකච්ඡාවට බඳුන් වූ අතර ජනාධිපතිවරයා කියා සිටියේ ආරක්ෂක අංශවල සාර්ථක මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් එම පියවර ගත් නමුත් නැවත වතාවක් හදිසි නීතිය දීර්ඝ කිරීමේ අවශ්‍යතාවක් මතු නොවනු ඇතැයි තමා අපේක්ෂා කරන බවයි.

ආරක්ෂක මෙහෙයුම් පිළිබඳ මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා පුද්ගලයන්, පුපුරන ද්‍රව්‍ය, අවි ආයුධ අත්අඩංගුවට ගැනීම් පිළිබඳ ද විස්තර කළේය.

එමෙන්ම ජනාධිපතිවරයා මෙහි දී වැඩිදුරටත් කියා සිටියේ මෙවැනි සාහසික ප්‍රහාර යළි ඇති නොවන බව සහතික කිරීම සඳහා ආරක්ෂක සේවාවන්හි ප්‍රතිසංවිධානයක් සිදුකරමින් පවතින බවත්, නව නීති සම්පාදනය සහ නව ආයතන ව්‍යුහයක් ස්ථාපිත කිරීමට කටයුතු කරගෙන යන බවත් ය.

ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවීනාත් ආරියසිංහ, ජනාධිපති අතිරේක ලේකම් ඇසළ වීරකෝන් යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.


( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post