මධූෂ්ගේ සමීපතමයෝ 2ක් සූරියවැව දී දැලේ

0 Feb 11, 2019 09.31am Gossip

පාතාල නායක මාකඳුරේ මදූෂ්ගේ සමීපතමයන් දෙදෙනෙකු තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ සූරියවැවදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මාකඳුරේ මධූෂ්ගේ සහ රොටුඹ අමිල යන අයගේත් සමීපතමයෙකු වන මාතර තෙලිජ්ජවිල තල්ගස්වත්ත පදිංචිකරුවකු වන විසිතුන් හැවිරිදි හෙට්ටිආරච්චිගේ අසේල එරංග නොහොත් ගෙසා සහ 38 හැවිරිදි මාතර මැද්දවත්තේ පදිංචිකරුවකු වන යක්දෙනියේ නාලක සුසන්ත කුමාර යන අයයි.

මොවුන් දෙදෙනාම මීට මාස දෙකකට පෙර සිදුවූ මාකඳුරේ මධූෂ්ගේ පියාගේ අවමංගල්‍ය උත්සවය සංවිධාන කටයුතු භාරව ක්‍රියා කර ඇතැයි අනාවරණය වේ. නවදගස්වැව පාලම අසලදී අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ අසේල එරංග සන්තකයේ ගමන් මල්ලක තිබී ටී 56 වර්ගයේ ගිනිඅවියක්, එහි ජීව පතරොම් 20ක් මැගසින් 01 සහ හෙරොයින් ග්‍රෑම් 1ක් සහ මිලිග්‍රෑම් 190ක්ද සොයාගෙන ඇත.

මොහුට එම ගිනිඅවිය ලබා දී ඇත්තේ රොටුඹ අමිල නමැති සංවිධානාත්මක අපරාධකරු බවද විමර්ශනවලදී හෙළිවී ඇත.

සූරියවැව බස් නැවැතුම්පලේදී අත්අඩංගුවට පත් නාලක සුසන්ත කුමාර සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 02යි මිලිග්‍රෑම් 480ක් තිබී ඇති අතර මොහුට එරෙහිව මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු 03ක් නිකුත් කර ඇත.

තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් මහතාට ලැබුනු තොරතුරක් අනුව සිදු කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවටපත් සැකකරු ටී 56 ගිනි අවිය හා ජීව උණ්ඩ 29 සමග වැඩි දුර පරීක්ෂණ කටයුතු සදහා සුරියවැව පොලිසියට බාරදීමට නියමිත අතර සැකකරු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරී ලක්සිරි ගිතාල් මහතාගේ උපදෙස් පරිදි තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශණ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දයානන්ද, තංගල්ල කොට්ඨාස සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කුමාර දඩල්ලගේ, පොලිස් සැරයන් වරුන් වන (10581) මුණසිංහ, (25437) චන්දනායක, (53724) ගාමිණී, පොලිස් කොස්තාපල් වරුන් වන (44974) මංජුල, (40694) චමින්ද, (40753) හෙට්ටිආරච්චි, (78435) චමින්ද, (68664) දේශාන්, (62427) සිරිවර්ධන, (35599) නාමල්, (74923) හේරත්, (86328) ශිරන්ත හා (79437) ප්‍රතාපසිංහ යන නිලධාරීන් එක්ව වැටලීම සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post